වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
මුරණ්ඩු දරුවන් යහමඟ යැවූ බලගතු මන්ත්‍රය
ඇසළ සමයේ එක් සති අන්තයක හිමිදිරියෙන් අවදි වූ කොණ්ඩදෙණිය සීලරතන නායක හිමියන් බෝමළුව සහ පන්සල් භූමිය ඇමද සියලු වත්පිළිවෙත් අවසන් කර හීල්දානය ද අරුමැක්කේම වැළඳූ සේක.
හිමියන් මදක් විවේක සුවයෙන් හාන්සි පුටුවේ වැඩහිඳ පන්සලේ එවකට වැඩ විසූ සාමනේරයන්වහන්සේගේ ගාථා සජ්ඣායනාවේ කටපාඩමට ඇහුම්කන්දී අවසන් වූවා පමණි.
විශාල සුදු බෙන්ස් කාර් රථයක් කොණ්ඩදෙණිය පන්සල් ගේට්ටුව ඉදිරිපිට නතර විය. වංශවත් පවුලක මනා පෞරුෂයෙන් හෙබි දෙමහල්ලන් සහ පාසල් යන වයසේ දරුවකු එහි තුළ විය.
“ඩිංගිරි බණ්ඩෝ - ඔය ගේට්ටුව ඇරල ඔය කාරය ඇතුළට ගන්න ඉඩ සලස්වන්න. ඒ නෝනා මහත්වරුන්ට අලුත හදපු මගේ නාන කාමරයෙන් මුහුණ කට හෝදාගෙන පිරිසුදු වෙලා. ඊයේ පූජාවට ගෙනාපු නෙළුම් මලුත් දීල බෝමළුවටයි, විහාරගෙටයි වන්දනාමාන කරල එන්න කියන්න. අනික තමන් ආපු කාරණය ඉෂ්ඨ සිද්ධ වෙන්න කියල ප්‍රාර්ථනා කරලම එන්න කියන්න.” හිමි උපදෙස් එලෙසම ක්‍රියාත්මක විණි.
“අවසරයි අපේ නායක හාමුදුරුවනේ”
“මේ ඇත්තන්ල දුර බැහැර සිට නොවැ ආවේ.”
“එහෙමයි අපේ හාමුදුරුවනේ...අපි ඊයේ රෑ ඉඳන් බණ්ඩාරවෙල ඉඳලයි ඔබ වහන්සේ මුණ ගැසෙන්න ආවේ.”
“ඩිංගිරි බණ්ඩෝ - මේ නෝනා මහත්වරුන්ට උදේට තේපැන් ටිකක් හදල දෙන්න. මුදවපු කිරි එක්ක කුරහන් පිට්ටුයි. කිතුල් පැණියි සප්පායම් වෙන්ඩ දීලම මාව මුණගස්වන්නකෝ”
හිමි අණ පිළිපැදිණි.
උදයේ ආහාර ගැනීමෙන් පසු මේ වංශවත්, ධනවත් දෙමහල්ලන් විසින් දේව මන්දිරය අබියසදී හිමියන් බැහැ දකින ලදී.
“නායක හාමුදුරුවනේ අපේ දුක්ඛ දෝමනස්සය අහන්න, අපි වංශවත් ධනවත් අය, අපට මිනිරන් පතල්, මැණික් පතල් එහෙමත් තියෙනවා. මගේ තාත්තා තවමත් ජීවතුන් අතර සිටිනවා. එයාට දැන් අවුරුදු අසූවක් පමණ වෙනවා. මල්ලිටයි, මටයි ගෙවල් දොරවල් ඉඩකඩම් ලියල දීල, තවත් විශාල දේපළක් අපේ තාත්තා ඔප්පු නොලියා ඉන්නවා. තාත්තා කියන්නේ මල්ලිටයි මටයි ඉන්න දරුවන්ගෙන් හොඳට ඉගෙන ගන්න පුළුවන් දරුවට ඉතිරි මුලු බූදලේම ලියල දෙනවා කියලා... මල්ලිගේ දරුවා උපතින්ම මන්දබුද්ධිකයි. ඒ දරුවා විශේෂ අවශ්‍යතා ඇති දරුවන් රඳවා ගන්නා පන්තියක ඉගෙන ගන්නවා.
මගේ පුතා මුලදී හරි දක්ෂයි. හැමදාම පන්තියේ පළමු වැනියා. හරි හොඳ දක්ෂ දරුවෙක් කියලයි ගුරුවරුත් කීවේ. ඒත් මෑතක ඉඳන් එයා සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා. හරිම මුරණ්ඩුයි.”
“දරුවා කීවෙනි වසරෙද ඉගෙන ගන්නේ.?”
“ඊළඟ අවුරුද්දේ සාමාන්‍යපෙළ විභාගයට පෙනී සිටිනව දැන් නවවැනි වසරේ. ඊයේ පෙරේදා වන විට පන්තියේ අන්තිමයා වෙලා පාසලේ හොඳට කීකරුව හිටිය දරුවා හිටිගමන් සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා.
සතියකට සැරයක් දෙකක් අපිව ඉස්කෝලෙට ගෙන්වා ගන්නවා. හරිම දඟයා. පාසලේ අනික් ළමයින්ට මේ දරුවාගෙන් කරදරයිලු. මෙහෙම ගියොත් පාසලෙන් පුතාව අස්කරන්න වෙනවා කියලා විදුහල්පතිතුමා අපට කිව්වා.”
“දරුවා ගෙදර දී පිටතැන්වලදී කොහොමද හැසිරෙන්නේ.?”
“අනේ හාමුදුරුවනේ ගෙදර කෑගහනවා. වීදුරු බිඳිනවා තුවාල කර ගන්නවා.
ගෙදර කිසිවෙක් කියන දෙයක් අහන්නෙ නැහැ. පාඩම් පොත් ඉරා දමනවා. පාඩමක් තියා පොතක් වත් අතින් අල්ලන්නෙ නැහැ. අල්ලපු ගෙදර හුරතලේට ඇතිකරන කුරුල්ලන්ගේ කූඩු සියල්ල ඇරල දාලා. උන් පියඹලා ගිහින්, පාසල් වෑන් එකේ ටයර්වල හුළං ඇරලා හැමදාම ගෝරියක් දාගෙනයි ගෙදර එන්නේ.”
“කෝ පුතාව එක්ක එන්න........දැන් එයා කොහෙද?”
“ආන්න පන්සලේ අඹගහට පොලු ගහනවා. ගෙඩි කඩන්න.”
“ඔහොම තමයි දරුවෝ, ගිහින් එක්කන් එන්නකෝ” දඟකාර දරුවාගේ ඉරියව් දෙස හිමියෝ් බලා සිටි සේක. වයසට නොගැළපෙන වස දඟ කාරකයකු බව හිමියන්ට වැටහිණි. දේව මන්දිරයට දෙමහල්ලන් සමඟ දරුවාද කැටුව වැඩි හිමියන් දරුවා ලවා සරස්වතී දෙවියන්ගේ පිළිරුව අභියස පහණක් දැල්වීමට සැලස්වීය. දෙමහල්ලන්ට කාලිමෑණියන් සහ පත්තිනි දේවමෑණියන්ගේ පිළිම අභියස පහන් දැල්වීමට ද සලස්වා ඒ පිළිමවල නේත්‍රා දිහා බලා සිටින ලෙස හිමියන් නියෝග කළ සේක.
හිමියන් මහහඬින් පුරා හෝරාවක් තිස්සේ මන්ත්‍ර ජපකරන්නට විය. එකෙනෙහිම තඩි කලු බළලෙක් දේව මන්දිරයේ ජනේලයක් තුළින් පැනවිත් හිමි පාමුල දැවටෙන්නට විය.
දරුවාගේ පියාගේ බාල සොයුරාගේ බිරිඳ විසින් මේ දරුවාට බන්ධනයක් කර ඇත්තේ තම පියාගෙන් හිමිවන ඉතිරි දේපළ අහිමි කිරීමේ චේතනාවෙන් යුතු බව හිමියන්ට වැටහිණි.
එම බණ්ධනයෙන් දරුවා මුදවාලූ හිමියන් ඔවුන් රැගෙන ආ රන්සුරයට ඉතා බලගතු තෙල් බිඳක් දමා ආරක්ෂක යන්ත්‍රයක් එම දරුවාගේ කරෙහි පැලඳ වූ සේක.
මුළු දේව මන්දිරයේ සියලු පහන් ඒකාලෝක විය. එකෙනෙහිම දෑ සමන් පිච්ච සුවඳින් මුළු දේව මන්දිරයම පිරී ඉතිරී පැතිර යන්නට විය.
හිමියෝ දහස්වර පිරිත් කළ නූලක තෙල් බිදුවක් ගල්වා දරුවාගේ දකුණුූ අතෙහි ගැට ගසා බුදු ගුණ මතුරමින් දරුවාගේ හිස පිරිමැදූ සේක.
හීලෑ සතෙකු මෙන් ඉදිරිය ඇදුනු දරුවා නායක හිමියන් පාමුල වැඳ වැටුණි. එතැන් පටන් දරුවා සුවච කීකරු දරුවකු වූවා පමණක් නොව ඊළඟ වාරයේදී පන්තියේ පළමුවෙනියා වීමට සමත්විය. ගුරුවරු සහ විදුහල්පතිතුමාද පුදුම වූහ. අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයෙන් සියලුම විෂයන් සඳහා විශිෂ්ට සාමාර්ථ්‍ය ලබාගෙන අගනුවර ප්‍රධාන පාසලකට ඇතුළත්ව එහිද හොඳින් ඉගෙන ගෙන පසුකාලීනව විශ්වවිද්‍යාලයට ද ඇතුළුව ප්‍රධාන පෙළේ ඉංජිනේරු ආයතනයක හිමිකරුවා බවට ද පත්විය.
කළගුණ දත් දෙමව්පියෝ් පන්සලේ අඩුපාඩු රැසක් නිම කළෝය. එම දරුවා තම සීයාගේ ඉතිරි සියලු දේපළවල උරුමක්කාරයා ද විය.
වත්මන් කොණ්ඩදෙණිය රජමහා විහාරාධිපති කඩම්බාවේ අනුරුද්ධ හිමියන් වෙත ද දිනෙක, කොළඹ කුරුඳුවත්තේ සිට ප්‍රාඩෝ වර්ගයේ නවීන ජීප් රථයකින් තරුණ යුවළක් සහ උසස් පෙළ හදාරන දරුවකු පැමිණියේ, තම දරුවා හිටිගමන් ඉගෙනීමට අකමැති වීමත්, පාසල් අධ්‍යාපන කටයුතු අතපසු කර නොසන්ඩාලකම්වලට හුරු පුරුදු වීමත්, සෑම දිනම තම පන්තියේ ළමයින් අතර නිතර රණ්ඩු සරුවල් ඇතිකර ගැනීම, ගහ ගැනීම, අමතර පන්ති යන මුවාමෙන් සිනමා ශාලාවලට යාමටත්, නොමනා ආශ්‍රයන්වලට යොමු වී සිටීමත් වැනි චෝදනා රැසක් ද සහිතව දෙමව්පියන් කැඳවා විදුහල්පතිවරයා අවසාන වරට අවවාද කළ නිසාවෙනි.
මේ ඇසූ අනුරුද්ධ හිමියෝ ද තම කිරි අත්තා මෙන්ම දෙමහල්ලන් සහ දරුවා දේව මන්දිරයට කැඳවා හෝරාවක් පුරා බලගතු මන්ත්‍රයකින් ජීවම්කර දහස්වර පිරිත් කළ නූලක් දරුවාගේ කරට දමා දරුවාගේ දකුණත පිරිත්නූල් ගැටගසා දෙමව්පියන්, රැගෙන ආ රන්සුරයට බලගතු තෙල් බිඳක දමා එම දරුවාගේ ගෙල පැළඳූ සේක. එකෙනෙහිම දරුවා අනුරුද්ධ හිමියන් පාමුල වැඳ වැටී අඬන්නට පටන් ගත්තේය. ගුරු වෘත්තියෙහි යෙදී සිට විශ්‍රාමිකව පසුවන බැවින් සිසු සිසුවියන්ගේ හැසිරීම් පිළිබඳ මහත් අත්දැකීම් සහිත අප හිමියන් දරුවාගේ හිස ආදරෙන් පිරිමැද අද සිට පුතා හොඳ යහපත් දරුවකු වනවා පමණක් නොව ඉගෙනුමට දක්ෂතම දරුවකු වන බව සඵත කළ සේක. දරුවාගේ ළඟම ඥාතියකු විසින් ඉරිසියාව පදනම් කරගෙන දරුවාට බන්ධනයක් සිදු කොට තිබූ බව හිමියෝ වටහා ගත් සේක. එතැන් පටන් දරුවා මනා සේ හික්මුණු කීකරු දක්ෂ දරුවකු බවට පත්ව පසුකලෙක උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට සාමාර්ථ්‍ය ලබා විශ්වවිද්‍යාලයට තේරී පත්වූයේය. මව්පයෝ ද මහත් සොම්නසට පත් වූහ. අයාලේ විනාශ වී යාමට ගිය දරුවකු යහමඟට යොමු කිරීම කෙතරම් අපූරු සමාජ සත්කාරයක් දැයි මෙය දැනගත් මට සිතුණි.
හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරි (මෙහෙයුම්)
ඡ්‍යොතිෂ අවිශ්කාර්
ඡ්‍යොතිෂ ශිරෝමණී
ආචාර්ය විජය සමරසිංහ