වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
මළවුන්ට සැනසීම ගෙනෙන මමිකරණය
ඊජිප්තුව දැවැන්ත පිරමිඩ ඇතුළු පුරා විද්‍යාත්මක ස්ථාන හේතුවෙන් ලොව පුරා ප්‍රකට වුවද, ඊජිප්තුවට ඒ සා ප්‍රසිද්ධියක් ගෙන ඒමට වසර 5000ක් වයසැති මළවුන්ගෙන් ඉටු වු සේවය ද කිසිසේත්ම සුළු පටු නොවේ.
අනාදිමත් කාලයකට පෙර තිබූ විශිෂ්ට ගණයේ ශිෂ්ටාචාරයක්, සංස්කෘතියක් සහ තාක්ෂණයක් ගැන අපට කියා දෙන මෙකී මළගිය ප්‍රාණකාරයින් අද අපට දක්නට ලැබෙන්නේ “මමි” ලෙසය. ඔවුන් ඒ සඳහා භාවිත කරනු ලැබූ තාක්ෂණය අදටත් සම්පූර්ණයෙන්ම වටහාගත නොහැකි අතර, ඒ සා බැඳුණු ලොමු දැහැගැන්වෙන ගුප්ත විද්‍යාත්මක සිද්ධීන් විසින්ද මේවා කෙරෙහි ඇති ආකර්ෂණය තවත් වැඩි දියුණු කර ඇත.
වර්තමානයේදී මළ සිරුර කල් තබා ගැනීමේ තාක්ෂණයේ විශිෂ්ටතම උදාහරණය ලෙස පෙන්වා දිය හැක්කේ මොස්කව්හි රතු චතුරශ්‍රය මධ්‍යයේ පොළෝ අභ්‍යන්තරයෙ වූ කුටියක තැන්පත් කර ඇති වී.අයි, ලෙනින්ගේ සිරුරය. මීට අමතරව මා ඕ සේතුං, ස්ටාලින් ආදීන්ගේ සිරුරුද මේ ආකාරයට සුවිශේෂ බෙහෙත් ගැල්වීම්වලට ලක් කරන ලදැයි පැවසේ.
ඉතිහාසය ඔස්සේ විමසා බලන කල මහා ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයාගේ සිරුර මී පැණිවල බහා ආරක්ෂ කරනු ලැබූ බව වාර්තාවේ. ඊට බොහෝ කලකට පසු මෑත ඉතිහාසයේ සුප්‍රකට චරිතයක් වන නෙල්සන් සාමිවරයාගේ සිරුර බ්‍රැන්ඩිවල දමා ආරක්ෂා කළ බවට කතාවක්ද පැතිර ඇත.
භෞතිකවාදී දේශපාලන දර්ශනයක් ඇදහූ ලෙනින්ගේ සිරුර ඔහුට ගෞරවයක් වශයෙන් ආරක්ෂ කර ඇති නමුදු, පුරාණ මිසර රජ දරුවන් මේ ආකාරයට මළවුන්ගේ සිරුරු මමිකරණය කරනු ලැබුවේ ඔවුන්ගේ ඊළඟ ආත්මයට සැනසීමක් ළඟාකර දෙනු පිණිසය.
මේ පිළිබඳ ඉතිහාසයේ සටහන් කර ඇති ජීවමාන සාක්ෂීයක් අපට සපයනු ලබන්නේ ක්‍රි: පූ: 5 වන සියවසෙහි ජීවත්වූ හිරුඩොටොස් නම් ග්‍රීක ඉතිහාසඥයා විසිනි. රාජකීයකුගේ අවමඟුල් උත්සවයකදී ඒ පුද්ගලයාගේ සිරුර මමිකරණයට භාජනය කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කරන අයුරු ඔහු තම ග්‍රන්ථවල සටහන් කර ඇත.
ඒ අනුව පළමුවෙන්ම කරනු ලබන්නේ රාජකීයයාගේ සිරුර උත්කර්ෂවත් අයුරින් අවමඟුල් පෙරහැරකින් නයිල් ගංඟාවේ බටහිර ඉවුරේ වූ එක්තරා තොටුපොළක් වෙත රැගෙන ඒමය. ඉන් පසු මේ ස්ථානයේ මළ සිරුරු සැකසීම සඳහා තනා ඇති කුටියක් වෙත දේහය රැගෙන යයි. එතනදී පැමිණ සිටි පූජක පක්ෂය විසින් ගයනු ලබන ස්තෝත්‍ර ගායනා මධ්‍යයේ මළ සිරුර නාහවා පිරිසිදු කරනු ලැබේ.
ඉන් අනතුරුව මමිකරණය සිදුකරන කණ්ඩායමේ නායකයා හිවල් වෙස් මුහුණක් පැලඳ, ඒ සඳහාම සකස් කරන පාෂාණමය ආයුධයකින් මළ සිරුරේ බඩෙහි කැපුමක් ඇති කරයි. ඉන්පසු හෙතෙම මහ හඬින් ශාපකරමින් හා කෑ ගසමින් එම කුටියෙන් ඔබ්බට දිව යයි. ඒ සමඟම රැස්ව සිටින්නෝ මේ පලා යන්නා දෙසට ගල් කැටවලින් දමා ගසන්නේ චාරිත්‍රයක් ඉටුකිරීමක් වශයෙනි.
එයින් සංකේතවත් වන්නේ මේ තැනැත්තා මළ සිරුරකට කළ හානියට දුන් දඬුවමක් වශයෙනි.
මේ හිවල් වෙස් මුහුණ ගැන විවිධ හේතූන් ඉතිහාසඥයන් විසින් ඉදිරිපත් කරනු ලැබුවද, එයට මූලික හේතුව මළවුන්ගේ ආත්මයට අධිපති දෙවියා වන අනුබිස් හිවල් හිසක් ඇති අයෙකු ලෙස පිළිගෙන තිබීමය.
මේ අයුරින් නායකයා සිය චාරිත්‍ර ඉටුකිරීමෙන් පසු ඔහුගේ සහායකයෝ වැඩ අරඹන්නේ සිරුර ඇතුළත වූ බඩවැල් ඇතුළු ඉÁද්‍රියයන් ඉවත් කරන්නට පටන් ගැනීමෙනි. මෙසේ සෙසු ඉන් ඉÁද්‍රියයන් පිටතට ගෙන ඔවුහු ඒවා ගලින් තැනූ බඳුන් හතරක තැන්පත් කරති. ඔවුන් ඉතා සියුම් ලෙස කරනු ලබන ඊළඟ කටයුත්ත වන්නේ මළ සිරුරෙන් මොළය ඉවත් කර ගැනීමය.
ඉන්පසු මළ සිරුරේ හිස්ව ඇති ප්‍රදේශ පාම් යුෂ වලින් තැනූ වයින්වලින් පුරවති. අනතුරුව සිරුරේ කපා ඇති කොටස් ඉතා සියුම් ලෙස මසා දමනු ලබන අතර, ප්‍රබල රසායනිකයක් අඩංගු ලාටු විශේෂයක් මුළු සිරුරේම ආලේප කරනු ලැබේ. ඒ කෘමී සතුන්ගෙන් සිරුර ආරක්ෂා කර ගැනීම පිණිසය.
මේ අන්දමට මූලික කටයුතු අවසන්වීමෙන් පසු සිරුර විජලනයට ලක්වීම පිණිස නිශ්චිත දින ගණනාවක් තැන්පත් කර තබනු ලැබේ. ඉන්පසුව එළැඹෙන්නේ සිරුර රෙදි පටි වලින් එතීමේ කටයුත්තයි. ඒ සඳහා විශේෂඥ දැනුමකින් යුත් වෙනමම පුද්ගලයකු සිටින අතර, ඔහු පළමුවෙන්ම සිදු කරනු ලබන්නේ මළ සිරුර වටා ලී කුඩු අතුරා ඖෂධ විශේෂයක් ගැල්වූ රෙදි පටි සිරුරෙහි ඇලවීමය. මේ කාර්යයට පෙරාතුව සිරුරෙහි වූ කැපුම් තුවාලය සිනිදු රන් තහඩුවකින් වැසීමටද ඔහු අමතක නොකරයි. ඉන්පසු කාන්තා හිස කෙස් යොදා සකස් කරනු ලැබූ පින්සලකින් මළ සිරුරේ අත්වල සහ පාදවල ඇඟිලි වර්ණ ගන්වනු ලැබේ.
මේ සමඟම එම්බාම්කරුවන්ට තවත් සුවිශේෂී වූ කාර්යයකට අත ගසන්නට සිදුවේ. එය නම් මළ සිරුරේ මුහුණ සකස් කිරීමය. එය මියගිය පුද්ගලයා ජීවත්ව සිටියදී තිබූ පෙනුම විද්‍යාමාන වන ආකාරයට සකස් කිරීම එම්බාම්කරුවන්ගේ වගකීමය.
ඒ අන්දමට මුහුණ සකස් කිරිමෙන් අනතුරුව අද දක්වාත් කිසිවෙකුට සොයාගත නොහැකි වූ සංයෝගයක් සහිත සුවඳ කැවූ ලාටු විශේෂයකින් යළිත් මුළු සිරුරම ආලේප කරනු ලැබේ. ඉතා සියුම් ලෙස කළ යුතු සිරුර රෙදි පටිවලින් වෙළීම ඇඹෙන්නේ ඉන් අනතුරුවය. මේ සඳහා වූ පළපුරුදු පුද්ගලයන් විසින් ඒ සඳහා අවම වශයෙන් සති දෙකක කාලයක්ද, සමහරවිට ඊට වඩා දින ගණනාවක්ද ගනු ලැබේ. මමි සඳහා සාමාන්‍යයෙන් සුදු පැහැති වර්ණවත්, රෙදි භාවිත කළ අවස්ථාද තිබේ.
සැකැස්ම අවසානයේ මියගිය තැනැත්තාට ආහාර පාන ගැනීමටත්, හුස්ම ගැනීමටත්, පහසුවීම සඳහා යයි මුව තරමක් විවෘතව තැබිය යුතුයයි විශ්වාසයක් මිසර ජාතිකයන් අතර පවතී. මමි කරණයේදී කාන්තා සිරුරුවල දෙඅත් දෙපසට වන ආකාරයටද, පිරිමින්ගේ දෙඅත් පපුව මැදට වන ආකාරයට පිහිටුවන සේ සකස් කරනු ලැබේ. මේ සියලු කටයුතු අවසන්ව මළ සිරුර මමියක් ලෙස, මියගිය තැනැත්තාගේ ඥාතීන්ට බාර දීම සඳහා සාමාන්‍යයෙන් මාස දෙකහමාරක් පමණ ගත වනු ඇත. මියගිය තැනැත්තා වෙනුවෙන් අවමංගල්‍ය උත්සවය පවත්වනු ලබන්නේ ඉන් අනතුරුවය. පූජක තැන විසින් කෙළින් සිටුවන ලද මළ සිරුර සිය ඥාතීන්ට බාරදෙනු ලබන්නේ “ඔබ තවම ජීවත් වන්නෙක්, ඔබ තරුණ වියේ පසුවෙනවා ” යයි පවසමිනි.
අහස සහ පොළොව යනු අඹුසැමි දෙදෙනාගේ දරුවෙකු ලෙස සලකනු ලබන ඔරිසිස්ගේ විනිශ්චය ශාලාව නොහොත් අන්ධකාර ලෝකයට සිරුර ගෙනයනු ලබන්නේ ඉන් පසුවය. මෙහිදී සිරුර බාරගන්නා ඔරිසිස් දෙවියා මියගිය තැනැත්තාගේ හදවත කිරා බලන බව විශ්වාස කෙරේ. එම්බාම් කිරීමේදී හදවත ඉතිරි කරනු ලබන්නේ එහෙයිනි. එම සොහොන් ගෙවල් ඉතා අලංකාරව සකස්කර ඇති අතර, මළ තැනැත්තා ජීවත්ව සිටියදී රුචි කළ සියලු දේ ඒ සමඟ තැන්පත් කරනු ලැබේ.
සියවස් ගණනාවක් මුළුල්ලේ මේ ආකාරයට සිය සොහොන් ගෙවල් තුළ සාමකාමීව සැතපුණ මළවුන්ගේ නිදහසට පළමුවෙනි තර්ජනය එල්ල වූයේ 1798 දී නැපෝලියන් අධිරාජ්‍යයාගෙනි. එම වසරේදී ඔහු විසින් ඊජිප්තුව ආක්‍රමණය කරන ලද අතර, මෙවැනි මමි දෙකක් රැගෙන ගොස් සිය ප්‍රිය බිරිඳ වූ ජොසපින්ගේ කාමරය අලංකාර කරනු පිණිස තැබුවේය.
ඒ සමගම ප්‍රංශ විද්‍යාඥයන් හා පුරාවිද්‍යාඥයන් මේ පිළිබඳව ඉතා සියුම් ලෙස පර්යේෂණවල නිරත වූ අතර, ඔවුන් මේ සිරුරු ගොඩගත් අවස්ථාවේ ඇස්, කන්, හිසකෙස් ආදිය ඉතා හොඳීන් ආරක්ෂාවී තිබී ඇත.
තිස්ස ප්‍රේමසිරි