වලස්-මිනිස් පිල්ලි මට්ටු කළ කොණ්ඩදෙණියේ හිමිවරු

ජූලි 5, 2024

 

ඇසළ සඳ කෙමෙන් මෝදුවන්නට පටන්ගත් සුන්දර සන්ධ්‍යාවේ අවසන් හෝරාවේ එවකට කොණ්ඩදෙණියේ පන්සලේ නායක සීලරතන හිමියන් තමන්වෙත පැමිණ උදව් උපකාර පැතූ මේ ජීවන රඟමඩලට පැමිණියා වූ අනේකවිධ ආතුරයින්ගේ සියලු දෝෂාන්ධකාරයන් දුරු කිරීමට කරුණාබරිතව පිළියම් යොදා දවසේ රාජකාරි අවසන් කළා පමණි.

මොහොතක් විවේක සුවයෙන් පසු වූ හිමියන් ගිලන්පස වලඳා දවසේම වැඩකර විඩාව නිවාගනු පිණිස පහළ වැවට වැඩම කොට ජලස්නානය කර නැවත ආවාස ගෙට පිළිපන්න සේක.

හමාගිය සුළඟින් දේව මන්දිරයේ සියලු පහන් සිලු නිවීගොස් තිබිණි. එසේ නමුදු විටින් විට නොකඩවා විවිධ වර්ණයන්ගෙන් සමන්විත දේවතාඑළි වැටී මුළු දේව මණ්ඩලයේම දේව ප්‍රතිමා ප්‍රභාස්වර වන්නට විය. එය ඝන අන්ධකාරයේ මොහොතක් අහස් අඹරේ රැඳුණු රිදී රේඛාවන් බඳුවිය. ආගන්තුකයන්ට එය විස්්මයාර්ථයක් ගෙන දෙනු නියතය.

කොණ්ඩදෙණියේ නායක හිමියන්ට නම් එය අරුමයක් නොවිණි. එය අන් කවරෙක්වත් නොව දේව මණ්ඩලයෙන් තමන් වහන්සේට ලැබෙන දෙවියන්ගේ පණිවිඩයක් බවට ඉඟිකර දැක්වීමක්මය.

කඩිමුඩියේම තම අතවැසි ඩිංගිරි බණ්ඩා සමඟ දේව මන්දිරයට පිවිසි හිමියන් දේව මන්දිරයේ දේව ප්‍රතිමා ඉදිරිපිට තැන්පත් කර ඇති පහන් සිලු සියල්ල දැල්වු සේක. හිමියන් ප්‍රථමයෙන් සෙත් පිරිත් සජ්ඣායනා කොට දේව ආරාධනයද සිදුකර බලගතු මන්ත්‍රයක් මහ හඬින් ජප කළ සේක.

රාත්‍රිය එළඹ තිබුණ ද තඩි කලු බළලකු දේව මන්දිරය තුළට පැන හිමි පාමුල දැවටෙන්නට විය. ගතවූයේ මොහොතකි. ඒත් සමඟ දෑසමන්, පිච්ච මල් සුවඳක් මුළු දේව මන්දිරය පුරා පැතිර යන්නට විය.

සීලරතන හිමියන්ගේ පියාගේ බාල සොහොයුරු වූ සුද්දහාමිද එදා අහඹු ලෙස කොණ්ඩදෙණිය පන්සලේ නවාතැන් ගෙන තිබිණි. නායක හාමුදුරුවන්ගේ වැඩරාජකාරිවලට උදව්, පදව් කර ඉඳහිට පන්සලේ දින කිහිපයක් ගත කිරීම ඔහුගේ පුරුද්දක් වී තිබිණි.

එදා සිදුවූ විස්මය ජනක වර්ණවත් දේව එළි දුටු සුද්ද හාමි දේව මන්දිරයේ තිර රෙද්ද මදක් විවර කොට එහි කුමකින් කුමක් වන්නේදැයි කුතුහලෙන් යුතුව බැලුවා පමණි.

ඒ දුටු නායක හිමියන් අතින් සංඥා කොට සුද්දහාමිව ළඟට කැඳවූ සේක.

“ඔබ වහන්සේ ඇයි මට කතා කළේ....?”

“සුද්දහාමිට හෙට කරන්න ලොකු රාජකාරියක් පවරන්න තියෙනවා මගේ දේව මණ්ඩලය කියනවා හෙට හිමිදිරි පාන්දර තුනයි හතළිස් පහට මේ පන්සලේ අබලන්ව ඇති ගේට්ටුව කඩාගෙන වලහෙක් රිංගලා මේ ආවසගෙය විනාශ කරන්න මාන බලනවා කියලා”

“ඉතින් නායක හාමුදුරුවනේ මට මොනවද කරන්න කියන්නේ”

“සුද්දහාමිට හොඳට හයිය හත්තිය තියෙනව නොවැ. මේක ජීවම් කරපු මුවත් කැත්තක්, ඒ එන්නේ සාමාන්‍ය සතෙක් නම් නොවෙයි. මට විරුද්ධව එවපු පිල්ලියක් යහපත් චේතනාවකින් සතෙක් මැරුවට එතරම් පවක් වෙන්නේ නැහැ නොවැ....”

මේ වලහගේ බෙල්ල කඳින් වෙන් වෙන්න එකකැති පහරින් කපලා දමන්න. ඉතිරිහරිය මම බලාගන්නම්. හිමි අණ එලෙසින්ම ඉටුකළ යුතු බැවින් දෝ එදා සුද්දහාමිට නින්දක් පිළිබඳ නිනව්වක්වත් සිතට ආවේ නැත. ඔහු විටින් විට නැගිට වේලාව බලන්නට විය. තමාගේ ඇඳ ළඟ තැබූ ජීවම් කළ කැත්ත පහන් ආලෝකයට හොඳින් දිස්විය.

කොණ්ඩදෙණිය පන්සල වටා පැතිර පැවැති වන රොදෙන් විටින් විට අලි ඇත්තු කෑ මොර ගසති. නරි හූකියති. වැහි අන්ධකාරයෙන් ඝනදුර තව තවත් තීව්‍ර කරමින් පැවතිනි.

මේ හඬට කන් දී සිටි සුද්දාහාමිට නායක හිමියන් පැවසූ වේලාව ආසන්න බව දැනිණි. සුද්දහාමි කැත්ත අමෝරාගෙන පන්සලේ ගේට්ටුව අසල ඇති අඹ ගසට වහන්ව සූදානමින් සිටියේ ය. හිමියන් දේව මන්දිරය තුළ නොකඩවා මහ හඬින් බලගතු මන්ත්‍රයක් ජප කළ සේක.

නියමිත වේලාව එළඹුණා පමණි. එක පාරටම මහාකළු වලස් තඩියෙක් අබලි ගේට්ටුව කඩාගෙන ඉදිරියට පැමිණෙත්ම සුද්දහාමි වහා ක්‍රියාත්මක විය. මොහොතින් බෙල්ල ළඟින් වලහා දෙකට කැපී වෙන් විය. ලේ පෙරාගත් වලස් ඔළුව අතින් ගෙන සුද්දහාමි ආවාස ගේ දෙසට දිව එද්දී ඉදිරියට වැඩි හිමියන්

“සුද්දො නුඹ හරියටම වැඩේ තිතටම කළා නොවැ.... මේ සතාගෙන් අපට දැන් කරදරයක් නෑ. ඊයේ මුළු රාත්‍රියම මම දිෂ්ටි කරල පිල්ලිය සම්පූර්ණයෙන්ම අඩපණ කරන්න කටයුතු කළා. කට්ටඬියෝ මට විරුද්ධව ගුරුකම් කරනවා... මගේ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් නිසා එයාලට දැන් සෙනඟ එන්නේ නැහැලු. බඩගෝස්තරේට වැදුණලු. අද මහ දවල් 12.00 ට තවත් මිනිස් පිල්ලියක් එනවා.....

මොකද වෙන්නෙ කියල බලා ඉන්නකො. ආහ්.... ඔය වලස් හිසෙන්ම පිල්ලි යවන්නත් එන පිල්ලි වලක්වන්නත් ඉදිරිකාලයේ දී පුළුවන් වේවි. ඒ හින්ද ඕක පරිස්සමට ආවාසගේ පිටුපස දුම් මඩුවේ වේලෙන්නට තියන්නකො.”

මේ වලස් හිස අද ද කොණ්ඩදෙණිය වත්මත් විහාරාධිපති අනුරුද්ධ හිමියන්ගේ කාර්යාල කාමරයේ සංරක්ෂිතව තබා ඇත. මම එය දෑසින් දුටිමි.

අප හිමියන් දෙසූ පරිදිම එදින මධ්‍යහ්න 12ට කාය ශක්තියෙන් පිරිපුන් මැදිවියේ පුද්ගලයකු එක්වරම විහාරස්ථානයේ ප්‍රාදූර්භූත විය. ඔහු අන් කවරෙකු වත් නොව යක්ෂ මායා බලවේගයක් බව හිමියන්ට වැටහිණි. සුද්දහාමිත් එතැනටම ගියේය. පැමිණි අපූරු ආගන්තුක මිනිසා එක්වරම ඔහු ඩැහැගන්නට තැත් කළේ ය. එහෙත් එම නිමේෂයෙන් නායක හිමියන් ඒ අසලට වැඩම කළ සේක. එවිට ඔහුගේ බලය අක්‍රිය විය.

“නායක හාමුදුරුවනේ, මගේ ඇඟට යක්ෂ දිෂ්ටියක් ඇවිත් මේකෙන් බේරන්න පුළුවන් නායක හිමියන්ට විතරයි කියලා අපේ යක්ෂ සේනාධිපතිය කිව්වා.”

“හොඳයි. ඒක බැරිවුණොත්”

“මගේ බලය හාමුදුරුවෝ දන්නේ නැහැ. විනාඩියකින් මෙතන සුන්නත්දූලි වෙන්න විනාශ කරන්න මට පුළුවන්.”

“හොඳයි බලමුකෝ. මේක යක්ෂ විමානයක් කියල හිතුවද?. මේක බුද්ධ භූමියක්. බලගතු දේව මන්දිරයක් මෙහි තිබෙන්නේ. හොඳයි. අපේ දේව මන්දිරය ඇතුළට එමු බලන්න.”

වහසි බස් දෙඩු කායශක්ති සම්පන්න මැදිවියේ තරුණ හාදයා දේව මන්දිරයට ප්‍රවේශවනවාත් සමඟම දෙපා පණ නැති වී පයින් ගමන් කිරීමට නොහැකිව බිම දිගා වී බිමදිගේ ඇදී යන්නට විය. ඒ සමඟ අප හිමියන්ද මුළු මහත් දේව මන්දිරයම දෝංකාර දෙවමින් බලගතු මන්ත්‍රයක් මහත් හඬින් යුතුව ජප කරන්නට වූ සේක. එවිට ආගන්තුක වූ පුද්ගලයා කෑ කෝ ගසමින් පරලවන්නට විය.

“අනේ හාමුදුරුවනේ මට ආපසු එන්න කියනවා. අනේ මගේ ඇඟ පිච්චෙනවා මට යන්න අවසරයි.”

“එහෙම බැහැ උන්නැහේ මට පෙන්නුම් කරන්න ඕන මේ හතර මායිමක ආයෙ පස් පාගන්න එන්නෙ නැහැ කියලා” එකෙනෙහිම භූතාත්මය සහිත මිනිසා පන්සලේ වාහල්කඩ අසල තිබූ දැවන්ත අඹ ගසේ විශාල අමු අත්තක් කඩා බිඳ හෙළමින් පැන යන්නට විය.

“ඕන් සුද්දහාමි... ඒ කරදරෙත් අහවරයි....”

කොණ්ඩදෙණිය වත්මත් විහාරාධිපති ශාස්ත්‍රපති කඩම්බාවේ අනුරුද්ධ හිමියන් හමුවීමට හම්බන්තොට ප්‍රදේශයේ සිට තරුණයකු වෑන් රථයක හොවා අත්පා ගැටගසා මහත් අසීරුවෙන් රැගත් ඔහුගේ යහළුවන් පිරිසක් ආහ.

තරුණයා ඒ තරමට නොසන්සුන්ය. අති කලබලකාරිය. මනස නොසන්සුන්ය. එම තරුණයා කට දෙපැත්තෙන් සෙම බේරමින් දඟලමින් කෑ කෝ ගසමින් විවිධ ආඩපාලි කියවමින් පියවි සිහියෙන් තොරව සිටියේ ය.

ඔහු පිළිබඳ සියලු තොරතුරු අප හිමියන් දැන ගත්තේ යහළුවන්ගෙනි. කුඩා කල මව්පිය දෙදෙනාම අහිමි වූ හතර දෙනෙකුගෙන් සමන්විත පවුලේ වැඩිමලා වූ මේ මැදිවියට ළඟා වූ තරුණයා පුංචි ව්‍යාපාරයක් පටන්ගෙන තම සොයුරු සොයුරියට හොඳින් අධ්‍යාපනයද ලබා දී විශ්වවිද්‍යාලයට යැවීමට සමත්වීය. මොහු කෙටිකලකින් ව්‍යාපාර දියුණුවට පත් වූ අයකු විය. හිටිහැටියේම මේ තරුණයාට මේ අසනීප තත්ත්වය ඇති විය. ඔහුගේ යහළු මිත්‍රයන් මැදිහත්ව බටහිර හා ආයුර්වේද වෛද්‍ය ක්‍රම කොතෙක් කළ ද මේ රෝගී තත්ත්වයෙන් මිදීමට නොහැකිවිය. ගාල්ලේ උණවටුනේ මානසික රෝහලේද නේවාසික ප්‍රතිකාර සැලස් වූ නමුදු කිසිදු ගුණයක් නැතිවිය.

මේ අතර “සුබසෙත” පුවත්පතේ කොණ්ඩදෙණියේ හාස්කම් විශේෂාංග ලිපිය හදිසියේ නෙත ගැටුණු යහළුවකුට මේ තරුණයා වත්මන් කොණ්ඩදෙණිය හිමියන් වෙත යොමු කිරීමට සිත්විය.

කොණ්ඩදෙණියේ අනුරුද්ධ හිමියන් වහා ක්‍රියාත්මක වී හෝරාවක කාලයකදී සෙත් ශාන්තියක් සිදුකර බලගතු මන්ත්‍රයක් ජප කොට පිරිත් නූලක් රෝගී තරුණයාගේ ඇඟට පළඳවා දකුණු අතේ පිරිත් නූලක්ද ගැට ගසන ලදී. ගතවූයේ මොහොතකි. මුවින් සෙම ගැලීම වහාම නතර විය. කෑකෝ ගැසීමද නතර විය. අත් පා බැමි ලිහා දැමිනි. තරුණයා හිමි පාමුල වැඳ වැටිණි. දේව මන්දිරයේ සියලු පිළිම මොහොතක් සෙලවිණි. වත්මන් නායක හිමියන් විසින් ඉදි කළ වැවෙන් ස්නානය කොට අලුත් ඇඳුම් හැඳ පැලඳ විහාර මන්දිරයද වන්දනාමාන කොට හිමියන්ට බලවත් ලෙස තුති පුදා පිරිස සොම්නසින් පිටත් විය. තරුණයාගේ කිට්ටුවර ඥාතියකු මේ තරුණයාගේ වේගවත් ව්‍යාපාර දියුණුවට ඊර්ෂ්‍යාවෙන් බන්ධයක් සිදුකොට තිබුණු බැව් ද එය අනුරුද්ධ හිමියන් විසින් කපා දැමූ බැව් ද පසුව ඔවුහු ස්තූති පූර්වකව කතා කොට මා වෙත දැන්වූහ.

 

හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරි (මෙහෙයුම්)

ඡ්‍යොතිෂ අවිශ්කාර්

ඡ්‍යොතිෂ ශිරෝමණී

ආචාර්ය විජය සමරසිංහ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.