ඔබත් විලුඹේ වේදනාවෙන් පීඩා විඳිනවාද?

සැප්තැම්බර් 18, 2020

වර්තමාන සමාජයේ බොහෝ කාන්තාවන් පීඩාවට පත් කරන වාත රෝගයක් ලෙස වාත කණ්ඨකය  හෙවත් විලුඹේ වේදනාව හඳුන්වා දිය හැකිය. 

වළ ගොඩැලි සහිත බිමෙහි ඇවිදීමෙන් හෝ බොලැට ප්‍රදේශය පීඩා වන අයුරින් වෙහෙසීමෙන් හෝ පාද සන්ධිය තැලී ඉදිමී උළුක්කු වී වාතය කිපී පාදය තාවකාලිකව ක්‍රියා විරහිත වීම වාත කණ්ඨකය ලෙස ආයුර්වේදය විග්‍රහ කොට ඇත. 

සිංහල යෝග රත්නාකාරය නමැති ආයුර්වේද ග්‍රන්ථයේ වාත කණ්ඨකය මෙලෙස අර්ථ දක්වා ඇත. 

ඇකුත් කලට බොලැටේ සිට ගත්     විට 

වාත කණ්ඨකය නම් ඒ  රද    යට 

වළ ගොඩැලි සහිත බිමක පය තබා ඇවිදීම මෙන්ම බොහෝදුර පයින් ගමන් යෑම හා විවිධ පාවහන් විලාසිතා භාවිත කිරීම හේතුකොටගෙන ගුල්ප සන්ධිය පීඩාවට පත් වී කෝප වූ වාතය විසින් ඒ ආශි‍්‍රතව තද බල වේදනාවක් ඇති කරයි. මෙම ගුල්ප සන්ධිය හෙවත් බොලැට සන්ධිය වළලුකර සන්ධිය ලෙසින් ද ව්‍යවහාර වේ. 

විශේෂයෙන් උදෑසන නැගිට පළමු පියවර තැබීමේදී මෙම වේදනාව ඇති වේ. විලුඹ යට කටුවකින් අනින්නාක් වැනි රිදුමක් ඇති වේ. පසුව එය ක්‍රමයෙන් යටපත් වුවද නැවත නැවත එය සිදුවේ. 

පාදයේ ඇති අස්ථි එකට බන්ධනය කරනු ලබන කන්ඩරා , ඇදීමකට ලක්වීම හේතුවෙන් මෙකී රෝගී තත්ත්වය පහළ වේ. එපමණක් නොව මාංශ පේශි දුර්වලතා, සුනායු ආබාධ, ධමනි වල ලේ පිරීම යනාදිය නිසා ද මෙකී තත්වය ඇතිවීමට පුළුවන. 

මීට අමතරව අඩි උස පාවහන් පැලඳීම, පාවහන් නොමැතිව බොහෝ දුර පයින් ගමන් යාම, අස්ථි කැඩීම් හා බිඳීම්,උළුක්කු , ස්නායු රෝග, මර්මස්ථාන පීඩාවට පත්වීම හා අධික තරබාරුව මෙම රෝගයට හේතු වශයෙන් පෙන්වා දිය හැකිය.

අධික තරබාරුව හේතුකොටගෙන බොලැට සන්ධිය තද බල තෙරපීමකට ලක් වේ. එම නිසා එම ස්ථානයේ පවතින ගුල්ප මර්මය පීඩාවට පත්වේ. එහි ප්‍රතිඵලයක් වශයෙන් විලුඹේ තද බල වේදනාවක් ඇතිවේ. 

එසේම තුනටියේ සිට කකුලේ පහළට ගමන් කරන ගෘධ්‍රසී මහා නාඩිය පීඩාවට පත්වීම හේතුකොටගෙන ද විලුඹේ වේදනාව සමඟ කකුලේ හිරිය ද ඇති විය හැක. 

මෙම රෝගයෙහි වාතරක්ත සම්බන්ධතාවයක්ද පැවතීමට පුළුවන. එවිට පාදයේ වේදනාව සමඟ දැවිල්ලද පවතී. 

බොහෝ වේලාවක් සිටගෙන සිටීම, ශීතල ජලය ස්පර්ශ වීම, උෂ්ණාධික හා ශීතල ආහාර නිතර නිතර සේවනය කිරීම හේතුකොටගෙන ද මෙම රෝගී තත්ත්වය වැළඳීමට පුළුවන. 

ප්‍රතිකාර 

මෙහිදී ශෝථය ඉවත් වන තුරු අවට ශිරා විද ලේ හැරීම, එරඬු තෙලෙන් විරේක කිරීම, ගින්නෙන් රත් කළ ඉඳිකටුවලින් පිලිස්සීම, තෙල් ගෑම, පත්තු යෙදීම, මැල්ලුම් බැඳීම යන මේවායින් අවස්ථාවට ගැළපෙන දේ යෙදීම කළ යුතු වේ. මෙම රෝගය හඳුනා ගත් වහාම ප්‍රතිකර්ම යෙදීම නුවණට හුරුය. රෝගය කල් යත්ම ඉදිමුම ගල් ගැසෙනු ඇත. ඇල් ජලයෙන් තෙමීමද ගල් ගැසීමට හේතු වේ. පාදයට තෙල් ගා පොට්ටනිවලින් තැවීම ඉතා යහපත් වේ. 

ස්වේද කර්මය සඳහා නික,පාවට්ටා, කොහොඹ, වරා, මහ කොහොඹ, තොටිල යන ඖෂධීය පත්‍ර භාවිත කිරීම යෝග්‍ය වේ. 

නිෂ්පාදිත ඖෂධ ලෙස චිත්‍රකරංජය තෛලය ඇතුළු වාත නාශක තෛල වර්ග ද, කෂාය වශයෙන් අරත්ත අල අඩංගු ඖෂධ යෝග ද භාවිත කිරීම සුදුසුය. 

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>> 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.