ජය මඟ හඹා යන ඔබත් ධනු ලග්න හිමියකුද?

ඔක්තෝබර් 11, 2024

ඡ්‍යොතිෂ ශාස්ත්‍රය හා මිනිසා අතර පවතින්නේ සමීප සබඳතාවක්. වර්තමානයේ එය පෙරදිග හා අපරදිග කොයි කා අතරත් ජනප්‍රිය විෂයය කේෂ්ත්‍රයක් බවට පත් වී තිබෙනවා.

ලාංකේය සිංහල සමාජය තුළ නම් තැබීම, ඉඳුල් කට ගෑම, ගෙට ගෙවැදීම ආදී මිනිසාගේ බොහොමයක් සුබ කටයුතු සඳහා ඡ්‍යොතිෂ ශාස්ත්‍රය යොදා ගන්නවා. ඒ අතර තමාගේ ලග්නයේ සුබ අසුබ අනාවැකි විමසා බලා තම දෛනික කටයුතු ඇරඹීමටත් බොහෝ දෙනා පුරුදු වී සිටිනවා. අද තරු ගැන කියන තරු තුළින් කියන්නේ, ධනු ලග්න හිමි ඔබ ගැනයි.

පුරුෂ රාශියක් වූ ධනු ලග්නයෙන් උපන් අය ත්‍යාගවන්ත පුද්ගයන්. මොවුන් උසස් වීමේ බලාපොරොත්තු ඇති ගුණගරුක අයයි. බොහෝ අවස්ථාවල යුක්තිය ඉටුකර දීමටද ඉදිරිපත් වන ධනු ලග්න හිමියන් උසස් දේ ඉගෙනීමට ආශා කරනවා. ඒ වගේම චාම් නිහතමානී සන්සුන් දිවියකට ප්‍රිය කරනවා. ඒ වගේම ඍජු ලෙස අදහස් ප්‍රකාශ කරන්නන් ද වනවා. ලොව ප්‍රකට බොහෝ පුද්ගලයන් ධනු ලග්නයෙන් ජන්මය ලබා තිබෙනවා.

දකුණු අප්‍රිකාවේ ප්‍රථම කළු ජාතික ජනාධිපතිවරයා වන නෙල්සන් මැන්ඩෙලා 1918 ජූලි මස 18 වැනිදා ධනු ලග්නයෙන් ජන්මය ලැබූවෙක්. සාමය, සංහිඳීයාව සඳහා වැඩ කළ මෙතුමා ලොව පුරා ප්‍රසිද්ධියට පත් වන්නේ එවකට පැවති වර්ණභේදවාදයට එරෙහිව නැඟී සිටි ජනතාවාදී නායකයකු ලෙසයි. ලොව වෙනත් බොහෝ නායකයන් තුළ දක්නට නොමැති අයුක්තියට, අසාධාරණයට එරෙහිව නැඟී සිටීමේ ධනු ලග්න හිමියකු සතු ගුණාංගයන් නෙල්සන් මැන්ඩෙලා තුළින් විදහා දැක්වුණා. ඔහුගේ දිගු කාලීන නායකත්වයට ජන්ම ලග්නයේ ආලෝකය පිහිට වූවා නිසැකයි.

මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ විශේෂ චරිත බිහි කිරීමටත් ධනු ලග්නයට හැකි වී තිබෙනවා. සම සමාජ පක්ෂයේ පුරෝගාමියකු වූ ආචාර්ය එන්.එම් පෙරේරා මහතා 1905 ජූනි 06 වැනිදා උත්පත්තිය ලබන්නේ ද ධනු ලග්නයෙන්. ශ්‍රී ලංකා ඉතිහාසය තුළ බිහිවුණු දක්ෂ මුදල් අමාත්‍යවරයෙකු ලෙස නමක් තබාගෙන සිටි ඇන්. එම් පෙරේරා මහතා සිය ධූර කාලය තුළ සැලකි යුතු සේවයක් කළ පුද්ගලයකු වනවා. විශේෂ ගණයේ දේශපාලනඥයකු ලෙසින් දුර ගමනක් යෑමට තමා උපන් ධනු ලග්නයේ ආලෝකය ලැබූ බව නිසැකයි.

අපේ ශ්‍රී ලාංකේය කලා ක්ෂේත්‍රය තුළ තම නාමය බැබළ වූ අද්විතීය කලාකරුවන් රැසක් ධනු ලග්නයෙන් උපත ලබා ඇති බව ඔබත් දන්නවා ඇති. කෘතහස්ත රංගවේදී කලාශූරී සතිස්චන්ද්‍ර එදිරිසිංහ ජන්මය ලබන්නේත් ධනු ලග්නයෙන්. ඒ 1941 පෙබරවාරි 10 වැනිදා. වේදිකා නාට්‍යවලින් රංගනයට පිවිසෙන සතිස්චන්ද්‍ර එදිරිසිංහයන් පසුව චිත්‍රපට, ටෙලි නාට්‍ය ආදි ක්ෂේත්‍ර ගණනාවක විවිධ දස්කම් පෑ කාලකරුවෙක්. බොහෝ සමාජසේවා කටයුතුවලට ද දායක වෙමින් සරල දිවිපෙවෙතක් ගත කරන ඔහුට ජීවිතයේ බොහෝ කඩඉම් සාර්ථකව පසු කරන්නට ධනු ලග්නයේ ආලෝකය හේතු වූ බව ඡ්‍යොතිෂවේදීන් පවසනවා.

හෙළ සිනමාවේ අහිංසකාවිය ලෙස හඳුන්වන ප්‍රවීණ රංගනවේදිනී ශ්‍රියාණි අමරසේන 1944 ජූලි 14 වැනි දා උපත ලබා ඇත්තේ ද ධනු ලග්නයෙන්. වේදිකාවෙන් ඇරැඹි ඇගේ ගමන සිනමා හා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය දක්වා විහිදුවමින් මෙරට රසික හදවත් වල රැඳුණු චරිතයක් ලෙස වෘත්තීය මෙන්ම පෞද්ගලික ජීවිතයද සාර්ථකත්වය කරාගෙන යෑමට ඇයට ඇගේ ලග්නයේ ආශිර්වාදය ලැබුණු බව විශ්වාසයි.

ලොව සුන්දරම සිනමාවකට හිමිකම් කියන ඉන්දියාව ද ඡ්‍යොතිෂ ශාස්ත්‍රය සමඟ සමීපව කටයුතු කරන රටක්. 60, 70 දශකයේ යෞවන යෞවනියන් අතර වඩාත් ජනප්‍රිය නළුවෙකු වූ ධර්මේන්ද්‍ර උපත ලබන්නේ ද ධනු ලග්නයෙන්. ඒ 1935 දෙසැම්බර් මස 08 වැනිදා. හින්දි සිනමාවේ විශිෂ්ටතම රංගන ශිල්පියෙකු ලෙස නම් දරා ඇති ධර්මෙන්ද්‍රගේ ජීවිතයේ සාර්ථකත්වය උදාකර ගන්නට ධනු ලග්නය බලපෑ බව ඔහුගේ විශ්වාසයයි. නිර්මාණශීලී රංගන ශිල්පියෙකු ලෙස ඉන්දීය සිනමාව ආක්‍රමණය කිරීමට මෙන්ම දක්ෂ රංගන පරම්පරාවක් බිහි කිරීමට එහි ගුණය බලපෑ බව ඡ්‍යොතිෂවේදීන්ගේ විශ්වාසයයි.

හින්දි මෙන්ම දෙමළ සිනමා ඉතිහාසයේ ද වඩාත් සාර්ථක මෙන්ම ජනප්‍රිය නළුවකු තමයි රැජිණි කාන්ත් කියන්නෙත්. මොහු 1950 දෙසැම්බර් මස 12 වැනි දින ධනු ලග්නයෙන් ජන්මය ලැබුවා. රැජිණි කාන්ත් දෙමළ, හින්දි පමණක් නොව කන්නඩ, බෙංගාලි සහ මලයාලම් චිත්‍රපට170ක පමණ රංගනයෙන් දායක වී තිබෙනවා. රසික රසිකාවන්ගේ නොමඳ ආදරයට පත් රැජිණි කාන්ත්ගේ ධනු ලග්නය හිමි ජන්ම පත්‍රය බලවත් එකක් බවයි පැවසෙන්නේ.

1955 දෙසැම්බර් මස 01 වැනිදා ජන්මය ලද උදිත් නාරායන්ට ද තමන් උපන් ධනු ලග්නය ජීවිතයේ බොහෝ කටයුතු සාර්ථක කර ගැනීමට හේතු වී තිබෙනවා. ඉන්දියානු සුප්‍රසිද්ධ ගායන ශිල්පියකු වූ මොහු දෙමළ, බෙංගාලි, කන්නඩ ආදී විවිධ භාෂාවලින් ගීත ගායනා කර තිබෙනවා. සම්මානලාභී ගායකයකු වූ උදිත් නාරායන්ගේ හ‍‍ඬෙන් රසවත් වූ ගීත බොහොමයක් ඔබ රසවිඳ ඇතුවාට සැක නැහැ.

ඉන්දීය සිනමාවේ නර්ථනයෙන්, ගායනයෙන්, රංගනයෙන් මෙන්ම දේශපාලනයෙන් ද නමක් දිනූ ගෝවින්දා චිත්‍රපට 165 කට වැඩි ගණනකට රංගනයෙන් දායක වී තිබෙනවා. 1963 දෙසැම්බර් මස 21 වැනි දින ධනු ලග්නයෙන් උත්පත්තිය ලැබීම මොහුගේ ජීවිතයේ කඩඉම් සාර්ථකව පසු කරන්නට හේතු වී තිබෙනවා. අයුක්තියට, අසාධාරණයට එරෙහිව කුඩා කල සිටම නැඟී සිටි ගෝවින්දාටත් ජීවිතයේ බොහෝ අවස්ථා ජය ගන්නට ධනු ලග්නයේ බලපෑම නොඅඩුව ලැබී තිබෙන බව ඡ්‍යොතිෂවේදීන් පවසනවා.

බොලිවුඩ් සිනමාවේ නළුවකු මෙන්ම චිත්‍රපට නිෂ්පාදකයකු වන ජෝන් ඒබ්‍රහම් 1972 දෙසැම්බර් 17 වැනි දින ජන්මය ලබන්නේ ද ධනු ලග්නයෙන්. සම්මානලාභී රංගන ශිල්පියෙකු වන ජෝන් ඒබ්‍රහම්ගේ ජීවිතය සාර්ථක කර ගන්නට ධනු ලග්නයේ ආලෝකය ඔහුට ලැබී ඇති බව නොඅනුමානයි.

වර්තමානයේ බොහෝ දෙනාගේ ආදරයට පාත්‍රවන තවත් දෙමළ රංගන ශිල්පිනියක් තමන්නාහ් බාටියා. ඇය ද ධනු ලග්න හිමිකාරිනියක්. දෙමළ මෙන්ම තෙළිඟු, හින්දි චිත්‍රපට රාශියකටම රංගනයෙන් දායක වන ඇය අද දෙමළ සිනමාවේ ඉහළම වැටුප් ලබන නිළියක්. 2005 සිට මේ දක්වා වෘත්තීය ජීවිතයේ ආ ගමනට හේතුව ධනු ලග්නයෙන් ලද ආලෝකය බවයි ඡ්‍යොතිෂවේදීන්ගේ මතය. ඔබත් ධනු ලග්න හිමියකු නම් ඔබේ ලග්නයේ තිබෙන බලවත්කම් හඳුනාගෙන උත්සාහයෙන්, කැපවීමෙන් කටයුතු කළ හොත් ජීවන ගමන සාර්ථක කරගත් ලොවම දන්නා පුද්ගලයකු වන්න ඔබටත් පුළුවන්.

(ඡායාරූප අන්තර්ජාලයෙනි)

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.