ඡ්‍යොතිෂ සම්ප්‍රදාය රැකීම මෙන්ම සත්‍යය හෙළි කිරීමද සමාජ මෙහෙවරකි

ජුනි 7, 2024

 

පාරින්ද්‍ර සුගතදාසගෙන් උදම් පෙරේරාට පිළිතුරක්

මා විසින් ලියමින් පවතින ඒරාෂ්ටක කාලවකවානු පිළිබඳ ලිපි පෙළට විවේචනාත්මක ලිපියක් 2024 වසරෙහි මැයි 31 වනදා දිනය දරන “සුබසෙත” පත්‍රයෙහි පළ වී තිබුණු බව දක්නට ලැබුණි. එම ලිපිය නිසා ඒරාෂ්ටක ලිපි පෙළ කෙරෙහි ඇති ජනතා අවධානය තවදුරටත් වැඩිවන්නට ඇතැයි සිතුණ බැවින් එම ලිපිය දැකීමෙන් පසු මා හට විශාල සතුටක් ඇති විය. එම ලිපියට අභියෝගයක් ලෙස නොව එම ලිපියට පිළිතුරු සැපයීම මගේ යුතුකමක් ලෙස සිතුණ බැවින් අද දිනයේදී එයට ප්‍රමාණවත් පිළිතුරක් ලබා දීමට බලාපොරොත්තු වෙමි.

කාසියක දෙපැත්ත මෙන් ඒරාෂ්ටකයක හොඳ සහ නරක දෙපැත්තක් ඇති බව එම ලිපිය මඟින් පෙන්වා දී ඇත. සැබවින්ම මා හට අවශ්‍ය වූයේද එම අදහස ජනගත කිරීමටය. ඒරාෂ්ටකවල අයහපත් බලපෑම අලුතින් ජනගත කිරීමට අවශ්‍යතාවක් නැත. එයට හේතුව ඒරාෂ්ටකවල අසුබ බලපෑම පිළිබඳව මේ වන විටද සමාජය තුළ ඉහළ කථිකාවක් තිබීමය. වෙනකක් තබා පාසල් ශිෂ්‍යයන් පවා ඒ පිළිබඳව දන්නා බව මගේ අදහසයි. තවද විවිධ ඡ්‍යොතිෂ්‍ය ලිපි මඟින්ද ඒරාෂ්ටකවල අසුබ බලපෑම පිළිබඳව සාකච්ඡා වන බව පෙනේ. ඒ නිසා නැවතත් පැවසිය යුත්තේ ඒරාෂ්ටක කාලවකවානුවල අසුබ ප්‍රතිඵල ඇති වන බවට තවදුරටත් විශේෂිත ලෙස ජනගත වීම අත්‍යවශ්‍ය නැති බවය. එනම් ඒරාෂ්ටක කාලවකවානුවල සිදුවන අසුබ සිදුවීම් කෙතරම් ජනගත වී ඇතිද යත් ජනතාවගෙන් බහුතරයක් සිතා සිටින්නේ ඒරාෂ්ටක කාලවකවානුවල අසුබ සිදුවීම් පමණක්ම සිදු වන බවය. එහෙත් 2024 වසරෙහි මැයි 31 වැනිදා පළ වූ විවේචනාත්මක ලිපියෙහි දැක්වෙන පරිදිම කාසියක දෙපැත්ත මෙන් මෙය ප්‍රායෝගික වේ. ඒරාෂ්ටක කාලවකවානුවල අසුබ සිදුවීම් මෙන්ම සුබ සිදුවීම්ද සිදු වේ. මීට කලින්ද සඳහන් කළ පරිදි, ඒරාෂ්ටක කාලවකවානුවල සිදුවන අසුබ සිදුවීම් ඇති තරම් ජනගත වී ඇති බැවින් ඒරාෂ්ටක කාලවකවානුවල ඇති වන සුබ සිදුවීම් ද ජනගත කර ඒරාෂ්ටක කාලවල සුබ සිදුවීම්ද සිදු විය හැකි බව පෙන්වා දීම මගේ ලිපි පෙළෙහි අරමුණ වෙයි. එය ඒරාෂ්ටක භීතියෙන් පීඩා විඳින සුවහසක් ජනතාවට දිවඔසුවක් වේ යැයි සිතමි.

ඉදිරියේ දී ඒරාෂ්ටක කාලවකවානුවල සිදු විය හැකි අසුබ සිදුවීම් සහ අසුබ අත්දැකීම් පිළිබඳවද සාකච්ඡා කරමින් මේ ලිපි පෙළ වඩාත් තුළිත කිරීමට බලාපොරොත්තු වෙමි. එහි පළමු පියවර ලෙස පසුගිය සතියේ පළ වූ ලිපියෙහි, ඒරාෂ්ටක කාලවකවානුව තුළ මා දන්නා තැනැත්තියකට සිදු වු හදිසි රිය අනතුරක් පිළිබඳව සහ ඒ හරහා මතු වූ බලාපොරොත්තු රහිත සුබ පල කිහිපයක් පිළිබඳව සාකච්ඡා කරන ලදි. තවද මේ ලිපිපෙළ තුළ මා කිසිදු විටෙක, ඒරාෂ්ටක කාලවකවානුවල සුබ ප්‍රතිඵල පමණක් සිදු වන බවද අසුබ ප්‍රතිඵල කිසිදු විටෙක සිදු නොවන බවද සඳහන් කර නොමැත.

ඒරාෂ්ටක කාලවකවානු තුළ සිදු වන සුබදායක සිදුවීම් පිළිබඳව සාකච්ඡා කරද්දී මා විසින් ප්‍රසිද්ධ උදාහරණ ඉදිරිපත් කරන ලද්දේ ප්‍රසිද්ධ පුද්ගලයන්ට සිදුවූ සිදුවීම් සහ එම සිදුවීම් සිදුවන කාලවකවානු සැවොම දන්නා බැවින්ය. ඒ අනුව එම සිදුවීම්වලට සහ එම සිදුවීම සිදුවන කාලවකවානුවලට අභියෝග කිරීමට කිසිවෙකුට නොහැකි වනු ඇත. එසේ නොමැතිව ප්‍රසිද්ධ නොවන උදාහරණ යොදා ගෙන ඒරාෂ්ටක කාලවකවානුවල ලැබිය හැකි සුබ ප්‍රතිඵල පිළිබඳව කතාබහ කළේ නම් ඒවා “ඒරාෂ්ටක කාලවකවානුවලද සුබ පල ලැබී ඇති බවට ව්‍යාජ ලෙස ගොතන ලද සිදුවීම් බවට වුවද කෙනෙකුට තර්ක කළ හැකි වනු ඇත. කෙසේ වෙතත් ප්‍රසිද්ධ බලගතු උදාහරණ ඉදිරිපත් කරන අතරම අප්‍රසිද්ධව සාමාන්‍ය උදාහරණද ඉදිරිපත් කරමින් මා මේ දක්වා ලිපි ලියා ඇත්තේ රාජ්‍ය නායකයන් හිටපු ඇමැතිවරුන් වැනි බලගතු පුද්ගලයන්ට අමතර ලෙස සාමාන්‍ය පුද්ගලයන්ට ද ඒරාෂ්ටක කාලවකවානුවලදී සුබ පල ලැබී ඇති බව පෙන්වා දීමටය.

මීට අමතර ලෙස ඒරාෂ්ටක කාලවකවානු ගත වන කාලවකවානුවලදී සුබපලද ලැබෙන බව පෙන්වා දෙද්දී මා විසින් මා හට සහ මගේ පවුලේ සාමාජිකයන්ට ලැබෙන ලද සුබ අත්දැකීම් පිළිබඳව කතාබහ කරන ලද්දේ එම අත්දැකීම්, ඒරාෂ්ටක කාලවකවානුවලදී සුබපලද ලැබෙන බවට මා හට ප්‍රත්‍යක්ෂයෙන්ම වැටහුණ අත්දැකීම් නිසාය.

මා ලිපි පෙළ තුළ කිසිදු විටෙක ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකත්වයට පත්ව ඇති බොහෝ චරිතවලට එසේ රාජ්‍ය නායකත්වයට පත් වීමට හේතුව එම චරිතවලට ඒරාෂ්ටක නිසා ඔවුන්ට රාජයෝග උදාවීම යැයි සඳහන් කර නැත. මා හට අවශ්‍ය වූයේ ඉතා තදබල ඒරාෂ්ටක කාලවකවානු රාජ්‍ය නායකත්වයට පත් වීමට පවා බාධාවක් නොවන බව පෙන්වා දීමටය. කෙනෙකුට ලෞකික වශයෙන් ලබා ගත හැකි ඉහළම ජයග්‍රහණය වන රාජ්‍ය නායකත්වයට පත්වීමට පවා බලගතු ඒරාෂ්ටක බාධාවක් නොවීමෙන් පෙනී යන්නේ ලෞකික වශයෙන් ඕනෑම ජයග්‍රහණයක් ලබා ගැනීමට ඒරාෂ්ටක බාධාවක් නොවන බවය. ලංකාවේ රාජ්‍ය නායකයන් බහුතරයකට තදබල ඒරාෂ්ටක කාලවකවානුවලදී රාජ්‍ය නායකත්වයට පත්වීමට පවා වරම් ලැබීමෙන් පෙනී යන්නේ ලෞකික වශයෙන් විශාල ජයග්‍රහණ ලබා ගැනීමට සමහර විට ඒරාෂ්ටක ආශීර්වාදයක්ද විය හැකි බවය.

විවේචන ලිපියෙහි සඳහන් පරිදි, මා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ඒරාෂ්ටක කාලවකවානුවේදී රාජ්‍ය නායකත්වයට පත්වීමට හේතු වූ කරුණු සඳහන් නොකරන ලද්දේ මට අවශ්‍ය වූයේ කුමන තත්ත්වයක් යටතේ හෝ බණ්ඩාරනායක මැතිනිය රාජ්‍ය නායකත්වයට පත් වූයේ ඉතා තදබල ඒරාෂ්ටක කාලවකවානුවක් යටතේය යන්න පමණක් අවධාරණයෙන් පෙන්වා දෙන්නට පමණක්ම වූ නිසාය. වෙනත් කුමන හේතු පෙන්වා දුන්නද, කුමන හේතුවක් යටතේ හෝ ඇය රාජ්‍ය නායකත්වයට පත් වූයේ ඒරාෂ්ටක කාලයේදී නොවන බව කෙනෙකුට ඔප්පු කළ නොහැකි බව මගේ අදහසයි. මට අවධාරණය කිරීමට අවශ්‍ය වූයේ ඇය චන්ද්‍ර අෂ්ටම ඒරාෂ්ටකයේදී රාජ්‍ය නායකත්වයට පත්වීම පිළිබඳව සඳහන් කරනවාට වඩා ඇය ලග්න අෂ්ටම ඒරාෂ්ටකයකදී රාජ්‍ය නායකත්වයට පත් වූ බව සඳහන් කිරීමටය. මගේ කිසිදු වර්ෂයක වන්ද්‍ර අෂ්ටම ඒරාෂ්ටකයේ පමණක් පවතින කාලවකවානු පිළිබඳව සඳහන් කර නොමැත. පාලිත තෙවරප්පෙරුම මහතාට ද වෙනත් බලගතු ඒරාෂ්ටක නොමැති අතර දරුණු අෂ්ටම ඒරාෂ්ටකයක් පමණක් ඇත. ඇරත් ඒරාෂ්ක අපල වකවානුවලදී යම් අයෙකුගේ මරණය වැනි සිදුවීම් සිදු විය නොහැකි බව මා කිසිදු තැනක සඳහන් කර නොමැත. කෙසේ වෙතත් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය අභාවප්‍රාප්ත වී ඇත්තේ 2000 වසරෙහි ඔක්තෝබර් 10 බදාදා වන අතර ඒ වන විට ඇයගේ උත්පත්ති කේන්දර සටහනේ 9 වැනි භාවය තුළ ශනි ග්‍රහයා ගමන් කරන නිසා කිසිදු ඒරාෂ්ටකයක් නොමැති බව ඡ්‍යොතිෂයෙහි “අ” යන්න කියවු ආධුනික පුද්ගලයෙකුට වුවද ඉතා පහසුවෙන් වටහා ගත හැකිය. නමුත් විවේචන ලිපියෙහි ඇයට එම කාලසීමාව වන විට ඒරාෂ්ටකයක් පැවති ඇති බව සඳහන් කර ඇත්තේ අත් වැරදීමකින් යැයි සිතමි. කෙසේ වෙතත් නැවතත් අවධාරණය කළ යුත්තේ ඒරාෂ්ටක කාලවලදීද යම් අයෙකු මිය යා හැකි බවය.

අවසාන වශයෙන් සඳහන් කළ යුතු වන්නේ සාම්ප්‍රදායික ඡ්‍යොතිෂ සිද්ධාන්ත ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් හේතු සෙවීම සහ ඒ වෙනුවෙන් පෙනී සිටීම ජාතික මෙහෙවරක් විය හැකි වුවද එම සමහර සාම්ප්‍රදායික ඡ්‍යොතිෂ්‍ය සිද්ධාන්ත ප්‍රායෝගිකව සත්‍ය නොවන බව ප්‍රත්‍යක්ෂ වේනම් එම සත්‍ය හෙළිකිරීම ඊටත් වඩා සමාජ මෙහෙවරක් විය හැකි බවය.

 

සංවාදයට විවෘතයි

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.