වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
නිවැරැදි ශ්‍රී සම්බුද්ධ කේන්දරය කුමක්ද?
ගෞතම බුදුහිමියන්ගේ ජන්ම කේන්දරය පිළිබඳව ලේඛකයා ප්‍රථම වරට කියවන්නේ හෙන්ද්‍රික් සිල්වා හෙට්ටිගොඩ මහතාගේ ‘ජීවිතය හා ග්‍රහයෝ’ කෘතියේ 22 පරිච්ඡේදයේ පලාපල කීම කොටසේ දක්වා ඇති සටහනෙනි.
එම විස්තරය අනුව වෙසක් පුර පසළොස්වක දිනක කටක ලග්නයෙන් විසා නැකතේ බුදු උපත සිදුවී ඇති බව දැක්වේ. නමුත් කල්ගතවීමේ දී බුද්ධ කේන්දරයේ ග්‍රහ පිහිටීම් පිළිබඳව ජීවිතය හා ග්‍රහයෝ පොතේ සඳහන් විස්තර පරප්සර විරෝධි බව අවබෝධ විය. බුද්ධ චරිතයේ සිදුවීම් සලකා ග්‍රහයන් ඒ ඒ ස්ථානයේ සිටිය යුතු බවට තර්ක කරමින් දක්වා ඇති ග්‍රහ පිහිටීමේ විස්තර අඩුලුහුඬු සහිතය.
බුද්ධ කේන්දරයේ විස්තර පිළිබඳව අතීතයේ සිටම වරින්වර ඡ්‍යොතිෂ පුවත් පත් සඟරා ආදියේ විස්තර දක්වා ඇතත් ඒ සෑම විස්තරයකම, වෙසක් පුර පසළොස්වක කටක ලග්නය විසා නැකත ප්‍රධාන විස්තර හැරුණු විට තාත්වික වටිනා නිවැරැදි විශේෂ තොරතුරු අල්ප විය. ලංකාවේ ප්‍රධාන විහාරස්ථානයක විහාරගෙයි සිවිලිමේ මේ බුද්ධ කේන්දරය සිතුවම් කොට ඇති බවට විස්තරයක්ද කවුදෝ කොතනක දෝ ලියා තිබුණා මතකයේ ඇත.
ශ්‍රී සම්බුද්ධ කේන්ද්‍රය පිළිබඳව තාත්වික හා තාර්කික ගවේශනය කළ අය අතරින් ඉතා සාර්ථකව එම කටයුත්ත සිදුකළ පළමුවැන්නා අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රිය හිමියන්මය. උන්වහන්සේ නිවැරැදි සම්බුද්ධ උපත සිදුවූ දිනය හා නියම බුද්ධ කේන්දරය ගවේශනයට එතෙක් අන් අය නොකළ ක්‍රමයක් විමසා බැලූහ. නාඩි වාක්‍ය අනාවැකි විස්තර පිළිබඳව ඇසූ ආනන්ද මෛත්‍රිය හිමි වරක් ඉන්දියාවේ සංචාරය කළ අවස්ථාවක තල්පත්වල ලියූ විස්තර අනුව නාඩි වාක්‍ය පවසන ස්ථානයකට ගොස් පළමුව තමාගේ තල්පත විමසා නාඩි වාක්‍යය අසා බුදු හිමියන්ගේ විස්තරයද තල්පතක ලියවී ඇත්දැයි විමසා බැලූහ. උන්වහන්සේ රචිත අප්‍රකට තොරතුරු කෘතියේ දැක්වෙන ආකාරයට තමාගේ තල්පත් විස්තර විමසීමේදී “මම මෙතනට ආවේ කුමක් සඳහා දැයි” ඇසූ පැනයට තල්පත කියවන්නාගේ පිළිතුර වී ඇත්තේ “ඔබ වහන්සේ මෙතනට පැමිණියේ සර්වඥයන් වහන්සේගේ හඳහනේ ග්‍රහ පිහිටීම් දැන ගන්නටයි.” යන්නයි. ඇත්ත වශයෙන්ම උන්වහන්සේ නාඩි වාක්‍ය ස්ථානයට ගියේ එම සිතිවිල්ල ඇතුවය. කෙසේ හෝ ඉතා වෙහෙස මහන්සි වී බුද්ධ කේන්ද්‍රය යැයි අනුමාන කළ හැකි ජන්ම කේන්ද්‍ර කිහිපයක් තල්පත් අතරින් උන්වහන්සේට ලැබී ඇති අතර ඒ අතරින් කෞමාර හා කාකයර් නාඩි පත්වල සඳහන් ජන්ම සටහන නිවැරැදි සම්බුද්ධ කේන්දරය ලෙස (ග්‍රහ පිහිටීමේ එක් සංශෝධනයක් සහිතව) පසු කලෙක ආනන්ද මෛත්‍රිය හිමියන් විසින් ඉදිරිපත් කර ඇත.
නාඩි තල්පත්වලින් බුද්ධ කේන්දරය වෙන් කිරීමේ දී මතුවූ ගැටලු පිළිබඳව ආනන්ද මෛත්‍රිය හිමි විසින්ම දක්වා ඇත. බෞද්ධ ඉතිහාසයේ දැක්වෙන විස්තර අනුව බුදුන් උපන් දිනයේ ම චන්න ඇමති, යශෝදරා දේවිය, කළු දායි ඇමති කන්ථක අසු ලෙස සතර දෙනෙකු උපත ලබා ඇති අතර තිරිසන් සතෙකු වූ කන්ථක අසු පිළිබඳව තල්පතක සඳහන් නොවීම සලකා ඉතිරි තිදෙනාගේ විස්තර පිළිබඳව ආනන්ද හිමියන් සඳහන් කර නැත.
බුද්ධ කේන්ද්‍රය පිළිබඳව තොරතුරු සෙවීමේ දී සඳහන් නොකරම බැරි සුවිශේෂී ජන කවියක් ඇත. මෙම ජන කවියේ නිර්මාතෘ හා කාල වකවානුව අඥාතය. ඇතැම් විට මේ කවිය ආනන්ද මෛත්‍රිය හිමි විසින් බුද්ධ කේන්ද්‍රය ඉදිරිපත් කිරීමෙන් පසු නිර්මාණය වූවක් දැයි සැක පළ වන්නේ එම විස්තරය ආනන්ද මෛත්‍රිය හිමි විසින් එළි දැක්වූ කෞමාර කාකයර් තල්පතේ කේන්දරයේ ග්‍රහ පිහිටීම ඒ ආකාරයෙන්ම විස්තර වීමයි. ගල්කිස්සේ තම්බි අප්පු ගුරුන්නාන්සේ විසින් එක්තරා ඡ්‍යොතිෂ දේශනයකදී ඉදිරිපත් කර ඇති මෙම කවියේ නිර්මාතෘ කවුදැයි නොදනී.
ගුරු හාමි ගොසින් වැටුණේ කකුළු ගුලේ
හඳහාමි බඩු කිරුවයි වෙළෙඳ සැ ලේ
රතු හාමි ගතු කියමින් මෝර ව ලේ
කළු හාමි නොන්ඩි ඇන ඇන වැටුණි කලේ
මනමාලයා මාළු ගොඩකට යට වෙච්චි
සොමි පුත් එදා එළු ගාලට අසු වෙච්චි
වන මැද වඳින දෙවි බඹු මුණ ගැසිච්චි
මෙවැනි දාක ඉපදුණි අපෙ අප්පොච්චි
මේ කවියේ තේරුම අනුව ගුරුහාමි = කකුළු ගුලේ = කටක රාශිය, හඳ හාමි = සඳු වෙළඳ සැලේ = තුලා, රතු හාමි = කුජ, මෝරවළේ = මකර රාශිය, කළු හාමි = ශනි කළේ = කුම්භ, මනමාලයා = සිකුරු, මාළුගොඩ = මීන රාශිය, සොමිපුත් = බුධ, එළු ගාල = මේෂ රාශිය
කෞමාර කාකයර් නාඩි තල්පත් අනුව බුද්ධ උත්පත්තිය කලියුග වර්ෂ 2478 වෙසක් පුර පසළොස්වක ලත් රවි දින උදයාදි එකොළොස් පැය විනාඩි 4ට පමණ කටක ලග්නය, විසා නැකතිනි.
ආනන්ද මෛත්‍රිය හිමි විසින් බුද්ධ කේන්දරය ගවේශනය කරන කාල වකවානුවේ දී තාක්ෂණ දියුණුව පහළ මට්ටමක පැවතියත් වර්තමානය වන විට වසර දහස් ගණන් ඉදිරියට හා පිටුපසට ග්‍රහචාරය එක් ක්ෂණයකින් විමසා බැලිය හැකි ඡ්‍යොතිෂ මෘදුකාංග වර්තමානයේ ඇත. ජගන්නාත මෘදුකාංගය මඟින් ඉහත කෞමාර කාකයර් තල්පතේ ජන්ම වේලාව පිරික්සා බැලූ විට කි.පූ. 620 (මෘදුකාංගයට මෙය - 619 ලෙස ලබාදිය යුතුයි) අප්‍රේල් මස 4 දින උදෑසන 10.04 පමණ වේලාවට බුද්ධ කේන්දරයේ ග්‍රහ පිහිටීම ලැබෙන අතර රවි දිනය වෙනුවට බුධ දිනයක් ලැබීම හා කෞමාර තල්පතේ සඳහන් රවි 11 වෙනුවට 10 වෙනි රාශියට (මේෂ රාශියට) වැටේ. සත්‍ය ලෙසම වසර දෙදහසකදී වුවත් අයනය අනුව පුර පසළොස්වක දින රවි සඳු දෙදෙනා සප්තමව සිටිය යුතුයි. ආනන්ද මෛත්‍රිය හිමියන්ද මේ රවි 10 පිහිටීම නිවැරැදි ලෙස සංශෝධනය කර දක්වා ඇත. ඔබටද මෙය ජගන්නාථ හෝරා මෘදුකාංගයෙන් පරීක්ෂා කර බැලිය හැකිය. කෞමාර කාකයර් තල්පත අනුව බුද්ධ කේන්දරය.
කලියුග වර්ෂ 2478 වෙසක් පුර පසළොස්වක ලත් රවි දින උදයාදි 11 පැය විනාඩි 04 ට කටක ලග්නය, සිංහ නවාංශකය.
විසා නැකත 1 පාදය
ජගන්නාථ හෝරා මෘදුකාංගයෙන් අනුරූපව ලැබෙන ජන්ම කේන්ද්‍ර සටහන
ක්‍රි.පූ. 620 අප්‍රේල් මස 04 වෙනි බුධ දින උදෑසන 10.04 ට පමණ නේපාලයේ ලුම්බිණි නුවර වෙසක් පුර පසළොස්වක තිථිය, විසා නැකත, පළමු පාදය, ගුරු දශා ශේෂය වර්ෂ 08 මාස 10 දින 02කි. ඒ කෙසේ වෙතත් මේ හඳහන සුවිශේෂ බව සටහන් දෙකෙන්ම පැහැදිලි වේ.
ඉඳුරුව අතුරුවැල්ලේ
පාරම්පරික ඡ්‍යොතිෂවේදී,
බී.ඩී. චන්දන ප්‍රභාත්