ඒරාෂ්ටකය බලවතුන්ට හා දුබලයන්ට සලකන්නේ දෙවිදියකටද?

උදම් පෙරේරා පාරින්ද්‍ර සුගතදාසගෙන් විමසයි
මැයි 31, 2024

සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට අෂ්ටම ඒරාෂ්ටක අපල සපල සීමාව තුළදී රාජ්‍ය බලය ලැබීමට හේතු වූයේ උප්පත්තියේ යෙදී තිබුණු විමල නම් විපරීත රාජයෝගය ගෝචරයෙන් සක්‍රිය වීම නිසාය.

උපත 1916.04.17 ප.ව. 5.00ට සිත නැකතේ පළමු පාදයෙන් උපත ලබා ඇති හෙයින් අඟහරු මහ දශාව ඉදිරියට වර්ෂ 06 මාස 02යි දින 14ක් ශේෂව තිබුණි.

පාරින්ද්‍ර සුගතදාස මහතා විසින් 2024.05.01 වැනි දින සුබසෙත පුවත්පතට ලියන ලද ලිපියේ බණ්ඩාරනායක මැතිණියගේ කන්‍යා ලග්න කේන්දරයේ සඳු 7 වැන්නේ උප්පත්තියේදී පතිතව ඇති බවත් සෙනසුරු ග්‍රහයාට 8 වැන්නේ නීචව ගමන් කරන විට අතිප්‍රබල අෂ්ටම ඒරාෂ්ටක අපලයක් ලබා එම කාලසීමාවේදි එනම් 1969/03/07 වෙනිදාත් 1971 /04/29 දාත් අතර කාලයේදී ඇය දෙවෙනිවරටත් මෙරට අගමැතිණිය වූ බව සඳහන් කර ඇතත්, එසේවීමට හේතු භූත වූ ග්‍රහ බල ගැන කිසිවක් සඳහන් කොට නැත. ඇත්ත වශයෙන්ම සඳුගෙන් සහ ලග්නයෙන් අෂ්ටම ඒරාෂ්ටක ඉතා බලගතුය. එනමුත් මෙකී අෂ්ටම ඒරාෂ්ටකය උදා කළ ශනි ගෝචරය වූ මේෂ රැසෙහි රවි උච්ච මයුරපාල යෝගය උදා කරමින් ලග්න චන්ද්‍ර අධි යෝගයකට සම්බන්ධ ලග්නාධිපති බුධ සිටීම මේ රාශියේ දෙපස රාශිවල ස්වක්ෂේත්‍ර ගුරු, සිකුරු සිටීම යන කරුණුූ ගැන කල්පනා කර බලන කල සෙනසුරු අපලය උදාකළ 8 වැන්න වූ මේෂ රාශිය අතිශයින්ම බලවත් නිසා 8 වැන්නවූ මේෂයේ නීචව ගෝචරය වූ සෙනසුරුට අපල විපත් ඇති කිරීමට කොහෙත්ම ඉඩක් නොලැබුණු බව පෙනී යන කරුණක් වන්නේය.

අනෙක් කරුණ නම් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ කන්‍යා ලග්න කේන්දරයේ 5 වැන්නාධිපති සෙනසුරු කන්‍යා ලග්නයට යෝගකාරක ග්‍රහයා වෙමින් රාජ්‍ය ස්ථානය වන 10 වැන්න වූ මිථුනයේ මිත්‍රව සිටින අතර, එහි අධිපති බුධ ලැබීම් ගැන කියැවෙන එනම් 10වැන්නෙන් 11 වැන්න වූ 8 වැන්නෙහි උච්ච රාජ්‍ය කාරක රවි සමඟ යෝගව විධිමත් රවි ලග්න කේන්දරයට අනුව අනපේක්ෂිත පදවි ලාභ ලබාදෙන විමල යෝගය උදා කරමින් 8 වැන්නෙහි පතිතව සිටීම යන කරුණු ගැන සලකා බලන කල උප්පත්ති කේන්දරයේ 10 වැන්නෙහි පතිත සෙනසුරු 10 වැන්නෙන් 11 වැන්නවූ 8 වැන්නෙහි නීචව ගෝචරය වන කාල සීමාවේ රවි ග්‍රහයාද මේෂ රැසෙහි උච්චව ගමන් ගන්නා අපේ‍්‍රල්, මැයි කාලසීමාවේදි ඇයට රාජ්‍ය බලය ලැබුණේ උප්පත්තියේදී යෙදුණු විමල නම් විපරීත රාජයෝගය ගෝචරයෙන් සක්‍රිය වීම නිසාය. ඒ අනුව ඒ මහතා පවසන පරිදි 1969/03/07 න් 1971/04/29 මැතිණියට දෙවෙනිවර අගමැතිධුරය හිමිවූ කාලසීමාවේදි 10 වැන්නේ සිටියා වූ සෙනසුරු ග්‍රහයාගේ මහ දශාවේ රාහුගේ අතුරු දශාව ලබා තිබුණු අතර රාහු 5 වැන්නේ මිත්‍රව ලග්නයට යෝගකාරක සිකුරුගේ පූර්ණ දෘෂ්ටියට ලක්ව මයුරපාල සහ විමල නම් විපරීත රාජ යෝගයට සම්බන්ධ රවිගේ නැකැතක එනම් උත්‍රසල නැකතේ 4 වෙනි පාදයේ පතිතව සිටීම නිසා ඇයට එකී කාලසීමාවේදී අගමැතිධුරය දෙවැනිවරටත් හිමි විය.

එම ලිපියෙහි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියට තෙවෙනි ලග්න අෂ්ටම ඒරාෂ්ටක අපලය සහ චන්ද්‍ර අෂ්ටම ඒරාෂ්ඨකය අපලය පැවති 1998 අපේ‍්‍රල් 16 වෙනිදාත් 2000 ජුනි 5 වෙනිදාත් අතර කාලයේදී තෙවෙනි වරටත් මෙරට අගමැතිනිය වීමට හැකිවූ බව සඳහන් කොට ඇත. එසේ ඇයට එකී කාල සීමාවේදි බලය ලැබුණේ උප්පත්ති කේන්දරයේ 8 වැන්නේ යෙදී තිබුණු විමල රාජයෝගය උදා කළ රවි ග්‍රහයාගේ මහ දශාව ලබා තිබුණු නිසාය. එහෙත් එම අෂ්ටම ඒරාෂ්ඨකයේදී ඇයගේ අභාවය සිදු විය. එයට හේතුව නම් රවි 12 වැන්නට යාමත් අවසාන භාවයේ අධිපතිව මාරක ස්ථානයේ (8 වැන්නේ ) සිටීම සහ ඕනෑම ඒරාෂ්ටක අපලයක් 3 වෙනි වතාවට ලබන ඒරාෂ්ටකය මහලු කාලයේ ලැබු කල ජන්මියා ගේ අභාවය සිදුවන බැවිනි. එබැවින් මා පාරින්ද්‍ර සුගතදාස මහත්මයාගෙන් දැන ගන්නට කැමැති කරුණ වන්නේ එසේනම් පහත දැක්වෙන ධනු ලග්න කේන්දර හිමි පාලිත තෙවරප්පෙරුම මහතා අති ප්‍රබල චන්ද්‍ර අෂ්ටම ඒරාෂ්ටක කාලයේදී අකල් මරණයකට ගොදුරු වූයේ කිමද යන්න පිළිබඳවය.

එතැනදී මරණයට හේතුවූ ග්‍රහ පිහිටීම ගැන සිතා බලන්නට සිදුවනවා නේද? එහෙම සිතා බලන කල ලග්න කේන්දරයේ චන්ද්‍ර අෂ්ටම ඒරාෂ්ටක අපලයට සම්බන්ධ සඳු ශනි දෙදෙනාම නවාංශක කේන්ද්‍රයේ නීච සහ සතුරුව සිටීම ගෝචරයෙන් අෂ්ටම ඒරාෂ්ටකය සම්බන්ධ කුම්භ රාශියේ සතුරු කේතු සිටීම කේතු මරණය කාරක ග්‍රහයෙක් වීම එම කේතු මතින් ශනි ගෝචරය වීම, මහ දශා අධිපති අඟහරු රාහු, කේතු, මාරක ස්ථානාධිපති බුධ දුෂ්ට භාවයක් වූ 6 අධිපති සිකුරු යන ග්‍රහයන්ගෙන් පාප කර්තරික යෝගයකට මැදිව සිටීම කුජ ශනි ග්‍රහයන් අතර ලග්න 4 වැන්න කේන්ද්‍ර කොට ගෙන චතුරස්‍ර දෘෂ්ටියක් තිබීම මහ දශා අධිපති අන්තර් දශා අධිපති මරණයට කාරක හදිසි අනතුරුවලට කාරක කුජ, ශනි යන ග්‍රහයන් වීම යන අශුභ ග්‍රහ බලපෑම් නිසාය. ඒ අනුව එතැනදී පුද්ගලයින් දෙදෙනෙකුට අෂ්ටම ඒරාෂ්ටක අපලය දෙවිදිහකට බලපා ඇත. මේ පිළිබඳ තවදුරටත් කරුණු විග්‍රහ කළහොත් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය උසස් පෙළපතෙකින් පැවත එන කෙනෙකි. එවැනි අය ගේ උප්පත්ති කේන්දරයේ ග්‍රහයින් බලවත් නිසා ඒරාෂටක අපල බලය, ධනය අහිමි වන්නේ නැත. නමුත් එවැනි අය ඒරාෂ්ටක අපලවලින් අකල් මරණයට ගොදුරුවිය හැකිය. උදාහරණ වශයෙන් අගමැති ඩී.ඇස්.සේනානායක, එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක වැනි අය සඳහන් කළ හැකිය. නමුත් පාලිත තෙවරප්පෙරුම සාමාන්‍ය පුද්ගලයෙකි. ඔහු මියැදෙන විට ඔහුට දේශපාලන නිලතල, ධනය සියල්ල අහිමි විය. ඒ අනුව මෙහිදි පුද්ගලයන් දෙදෙනෙකුට සෙනසුරු ඒරාෂ්ටකය දෙයාකාරයකට බලපා ඇත.

ඒ අනුව සෙනසුරු ඒරාෂ්ටක අපලයකදී ජන්මියකු ලබන්නේ ශුභඵලද අශුභ ඵල ද යන්න පිළිබඳ නිගමනයකට එළඹිය හැකි වන්නේ ඒ පුද්ගලයාගේ උප්පත්ති කේන්දරයේ ලග්නාධිපති, රවි, සඳු, සෙනසුරු, ඒරාෂ්ටක ශනි ගෝචරය වන රාශියෙහි සහ එහි අධිපතිගෙන් ලබා ඇති මහ දහා අධිපති අන්තර් දශා අධිපතින්ගේ බල දුබලතා පරික්ෂා කිරීමෙන් අනතුරුවය. එනම් ශාස්ත්‍රානුකූලවය. එසේ නොමැතිව අසවල් පුද්ගලයින්ට ඒරාෂ්ටක අපල කාලවලදී කිසිම කරදරයක් හිරිහැරයක් නොවුණ බැවින් සියලු දෙනා ඒරාෂ්ටකයට බිය නොවිය යුතු බව කීම ශාස්ත්‍රීය මතයක් නොවන බව මාගේ හැඟීමයි. විශේෂයෙන්ම අෂ්ටම ඒරාෂ්ටකවලදී යටකී සාධක වලින් බලවත් පුද්ගලයන්ට කිසිදු විපතක් අනතුරක් සිදුනොවීමටත් එකී සාධක දුබල පුද්ගලයන් බරපතල අනතුරකට පත්වීමටත් ඉඩකඩ ඇති හෙයින් කෙනෙකුට යහපතකුත් තවත් කෙනෙකුට අයහපතකුත් සිදුවිය හැකි හෙයින් කාසියක දෙපැත්තක් ඇති සේ ඒරාෂ්ටකයට ද හොඳ සහ නරක යන දෙපැත්තක් ඇති බව පෙන්වා දී දෙපැත්ත ගැන කරුණු විමසා බලා කරුණු ප්‍රකාශ කිරීම සුදුසු යැයි යෝජනා කරමි. නැතහොත් ඡ්‍යොතිෂ විශ්වාස කරන අහිංසක ජනයා අපහසුවට පත් විය හැකි බැවිනි.

 

සංවාදයට විවෘතයි

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
14 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.