ජුනි මාසයේ 01 සිට 07 දක්වා උපන් ඔබත් මෙහෙමද?

මැයි 31, 2024

 

ජුනි 01 වැනිදා

 

මෙදින උපත ලද ඔබගේ පෞද්ගලික අංකය 1ය. එය රවි ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදුවූයේ ජුනි මාසයේ නිසා ඔබ මිථුන රාශි අධිපති බුධගේත් රවි ග්‍රහයාගේත් බලපෑමට යටත් වේ. ඔබ වඩාත් ශක්තිමත් ගතිගුණ හිමි පුද්ගලයකු වන අතරම ඕනෑම අභියෝගයකට මුහුණ දීමට ශක්තිමත් මනසක් ද ඔබ සතුවේ. ඔබ සතු අනුකම්පා සහගත බව නිසාම ඔබ යම් ආකාරයේ රැවටීම්වලට ද භාජනය වේ. නමුත් අන් අයගේ කිසිදු බලපෑමකට ඔබ යටත් නෙවේ. දියුණු වීම සඳහා සියලු උත්සාහයන් ගැනීම සිදු කරන අතර රැකියාවන් කිහිපයක එකවර යෙදෙනු ඇත. විවාහ ජීවිතය සම්බන්ධයෙන් ගැටලු ඇතිවිය හැකි බැවින් පරෙස්සමෙන් කටයුතු කළ යුතුය. සෞඛ්‍යමය වශයෙන් ශක්තිමත් වුවත් මනස වෙහෙසීම නිසා හෘදය ආශ්‍රිත රෝග සහ ස්නායු රෝග ඇති විය හැකිය.

 

ජුනි 02 වැනිදා

 

ඔබගේ පෞද්ගලික අංකය 2 වන අතර එය සඳු ග්‍රහයාට අයත් වේ. එසේම උපත සිදුවූයේ ජුනි මාසයේ නිසා ඔබ මිථුන රාශ්‍යාධිපති බුධ ග්‍රහයාගේත් සඳු සහ නෙප්චූන් ග්‍රහයන්ගේත් බලපෑමට යටත් වේ. ස්වභාවයෙන්ම ඔබ නිර්මාණශීලි පුද්ගලයකු වන අතර ඉතිහාසය සාහිත්‍යය යන විෂයයන් සඳහා වැඩි කැමැත්තක් දක්වනු ඇත. කාර්ය බහුලත්වය ප්‍රිය නොකරන අතර ආර්ථික ප්‍රතිලාභයන් සඳහා ව්‍යාපාරවල යෙදෙන්නේ ද නැත. එම නිසාම දුර්වල ආර්ථිකයක් ඇතිවිය හැකි බැවින් අවබෝධයෙන් කටයුතු කළ යුතුය. නිර්මාණශීලිබව නිසා කලා ක්‍ෂේත්‍රය ආශ්‍රිත රැකියාවන් තෝරා ගැනීම යහපත් වේ. සංචාර ප්‍රිය කරන අතර පදිංචි ස්ථාන ද නිතරම වෙනස් කිරීම ඔබගේ ක්‍රමය වේ. එම ස්වභාවය රැකියාව සම්බන්ධයෙන්ද දැකිය හැකිය. සෞඛ්‍යමය වශයෙන් සතුටුදායක නොවන අතර ආමාශය ආශි‍්‍රත රෝගයන් ඇතිවිය හැකිය.

 

ජුනි 03 වැනිදා

 

ඔබගේ පෞද්ගලික අංකය 3 වන අතර එය ගුරු ග්‍රහයාට අයිතිය. එසේම ඔබ මිථුන රාශි අධිපති බුධ මෙන්ම ගුරු යන ග්‍රහයන්ගේ බලපෑමට යටත් වේ. සියලු වැඩකටයුතුවල සාර්ථක අවසානයක් ඔබ බලාපොරොත්තුවන මුත් කිසිම කටයුත්තකින් ඔබ සැහීමකට පත්වන්නේ නැත. සියලු කටයුතු සංවිධානය කිරීමේ හැකියාව ඔබ සතුවන අතර අනිත් පාර්ශ්වයන් අභිබවා යාම නිතැතින්ම සිදුකරයි. සියලු විෂයයන්හි ශාස්ත්‍රීය හා විද්‍යාත්මක හැදෑරීම් සිදු කරනු ලබන අතරම ගුවන් යනා රේඩියෝ, ටෙලිවිෂන් වැනි උපකරන සම්බන්ධව මෙන්ම නව නිපැයුම් කිරීමට සහජ හැකියාවක් සතු හෙයින් ආර්ථික දියුණුව සඳහා එම විෂයන් තෝරා ගැනීම යහපත් වේ. සමාජ සේවා සඳහා ඔබේ දායකත්වය නිරන්තරයෙන් හිමි වේ. තදබල හිසේ අමාරු ශ්වසන පද්ධතියේ අසනීප ඇතිවිය හැකි බැවින් පරෙස්සම් වන්න.

 

ජුනි 04 වැනිදා

 

ඔබගේ පෞද්ගලික අංකය 4යි. එය යුරේනස් ග්‍රහයාට අයිති අංකයකි. ජුනි මාසයේ උපන් ඔබ මිථුන රාශි අධිපති බුධ ග්‍රහයාගේ මෙන්ම රවි, යුරේනස් ග්‍රහයන්ගේ බලපෑමට යටත් වේ. සම්ප්‍රදායෙන් පිට වැඩ කිරීම ඔබගේ ක්‍රමය වන අතර එම නිසාම නව නිර්මාණයන් කෙරෙහි ඔබගේ අවධානය යොමු වේ. ආගම දහම කෙරෙහි වෙනස් වූ ආකාරයේ මතයන් දරන ඔබට සියලු දේ කලින් දැනගැනීම හෙවත් ඉව පිහිටා ඇත. සෑම මතයකටම විරුද්ධ මතයක් ඉදිරිපත් කර තර්කයක් ගොඩනැඟීම ඔබගේ ක්‍රමය වේ. මේ තත්ත්වය විවාහ ජීවිතයේ අසාර්ථකත්වයටද හේතුවක් වනු ඇත. එම නිසා ඔබගේ අදහස්වලට ගැළපෙන පුද්ගලයකු විවාහයට තෝරාගත යුතුය. ආර්ථික කළමනාකරණය සම්බන්ධයෙන් සැලකිල්ලක් දැක්විය යුතුය. සූදුවේ යෙදීමට කැමැත්තක් ඇතැත් එයින් මිදිය යුතුය. ආර්ථික දියුණුව සඳහා ටෙලිපෝන්, රේඩියෝ, විදුලි මෙවලම් ආදිය නිපදවීම කෙරෙහි අවධානය යොමු කරන්න.

 

ජුනි 05 වැනිදා

 

මෙදින උපත ලද ඔබගේ පෞද්ගලික අංකය 5වන අතර එය බුධ ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදුවූයේ ජුනි මාසයේ බැවින් ඔබ මිථුන රාශි අධිපති බුධ ග්‍රහයාට ද්විත්ව ආකාරයෙන් බලපෑමට යටත් වේ. ඔබ සියලු කටයුතු කෙරෙහි වේගවත් පුද්ගලයකු වන අතර සූදු දැමීම කොටස් වෙළෙඳපොළ ආයෝජනය වැනි අවදානම් මුදල් ඉපයීම සඳහා යොදා ගනී. ව්‍යාපාරකෙරෙහි යොමු වන ඔබට අවස්ථානුකූලව ලාබ පාඩු ඇති වේ. සංචාරයේ යෙදීමට ඔබ වඩාත් ප්‍රිය වේ. මනසේ ගුප්ත ස්වභාවයක්ද ඇති අතර එකවර කටයුතු දෙකක් කිරීමේ හැකියාව ද පවති. මේ තත්ත්වය විවාහ ජීවිතයට ද බලපාන අතර විවාහ දෙකක් වීමට පැහැදිලි ඉඩකඩක් පවති. සෞඛ්‍යය සම්බන්ධව ගැටලු රාශියක් ඇතිවන අතර ජීවිතය සැලසුම් නොවීම එයට හේතුවයි. ස්නායු පද්ධතිය ආශ්‍රිත රෝග, ගොතගැසීම සමෙහි තුවාල ආදිය ඇතිවිය හැකි බැවින් පරෙස්සම් විය යුතුය.

 

ජුනි 06 වැනිදා

 

ඔබගේ පෞද්ගලික අංකය 6 වන අතර එය සිකුරු ග්‍රහයාගේ අංකයකි. එසේම උපත සිදුවූයේ ජුනි මාසයේ නිසා ඔබ මිථුන රාශි අධිපති බුධ ග්‍රහයාගේත්, සිකුරු ග්‍රහයාගේත් බලපෑමට යටත් වේ. ප්‍රබල ලිංගික ආකර්ෂණයක් සඳහා හිමිකම් කියන හෙයින් ආදර සම්බන්ධතා රාශියක් ඇතිවේ. අනෙත් අය අභිබවා දියුණු වීමේ කැමැත්තක් ඔබ සතුවන අතර ආදායම් මාර්ග රාශියක්ද ඔබ ඇතිකර ගනී. ජනතාව සම්බන්ධ කටයුතුවලදි ඔබ සාර්ථක වේ. නිර්මාණශිලි භාවය නිසා සංගීතය, ශාස්ත්‍රිය කටයුතු මෙන්ම හොඳ දේශකයින්ද මෙදින උත්පත්තියෙන් බිහි වේ. දේපළ උරුමකම් රාශියක් ඔබට හිමි අතර තෑගි බෝග ලැබීමේ වාසනාවක් ඔබ සතුවේ. නින්ද නොයාම, ශ්වසන පද්ධතියේ රෝගාබාධ, විශේෂයෙන් ඇදුම රෝගයට ගොදුරු විය හැකි බැවින් කල්පනාකාරී විය යුතුය.

 

ජුනි 07 වැනිදා

 

මෙදින උපත ලද ඔබගේ පෞද්ගලික අංකය 7 වන අතර එය සඳු ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදුවූයේ ජුනි මාසයේ නිසා ඔබ මිථුන රාශි අධිපති බුධ ග්‍රහයාගේ මෙන්ම සඳු නෙප්චූන් ග්‍රහයන්ගේ බලපෑමට යටත් වේ. නම්‍යශීලි ස්වභාවයක් නිතැතින්ම මෙදින උපන් පුද්ගලයන්ට උරුම වන මුත් ඔබ තුළ එකාධිපතියකුද ජීවත් වෙයි. ගුප්ත විද්‍යාව පිළිබඳව ප්‍රබල ඇල්මක් ඇති අතර මානසික ශක්තීන් උපයෝගි කරගෙන ලෙඩ සුව කිරීම වැනි අංශයන් කෙරෙහිද උනන්දුවක් දක්වයි. දීර්ඝ සංචාරයන් සඳහා කැමැත්තක් දක්වන අතර ජලය ආශ්‍රිතව බොහෝ විට එම කටයුතු සිදුවේ. විවාහය අසාර්ථක බව සිහිපත් කළ යුතු අතර නෑදෑයන්ගෙන් විශේෂයෙන් කරදර ඇති වේ. මුදල් හා දේපළ අස්ථානගතවීම්, සොරා ගැනීම්වලට මුහුණ දීමට සිදුවේ. ආර්ථිකයේ දැඩි අවිනිශ්චිත භාවයක් ඇති නිසා පරෙස්සම් විය යුතුය.

 

සැලසුම්ශිල්පී, වාස්තු විද්‍යා සහ මමෝවිද්‍යා උපදේශක,

හස්ත රේඛා පරික්‍ෂක,

මාතලේ, නාඋල

බී. ඒ. ජයවර්ධන

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
13 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.