වර්ෂ 2024 ක්වූ November 29 වැනිදා Friday
බාරයක් වෙනුවෙන් තැනූ පෑළියගොඩ තොරණ
ජීවිතයට කෙතරම් අසීමාන්තික හැල හැප්පීම්, හිත් රිදීම්, ඇද වැටීම් තිබුණද ඒ සියල්ල දරාගෙන ඒවායින් පාඩම් උගෙන කිසිවකුට වෛර නොකර සොම්නසින් යුතුව තමන්ගේ ඉදිරි ගමන සකසාගෙන යෑම සැබෑ ජීවන මඟයි.
අපට නොදැන අප මෙහෙයවා හසුරුවා පාලනය කරන අයෝමය බලවේගයන්ටද නිතැතින්ම මිනිසා සම්බන්ධ වී සිටියි. භෞතිකව ස්පර්ශ කළ නොහැකි එබඳු ශක්ති ධාරාවන් සහිත විවිධ බලවේග මානවයාගේ ක්‍රියාකාරකම්වලට බලපෑම් කරමින් මුළු විශ්වය පුරා පැතිර පවතී.
කොණ්ඩදෙණිය ග්‍රාමය පුරාද වස්සානය ඉසඹුලන්නට මත්තෙන් හනි හනිකට ගැමියා පෙරළූ නැවුම් පස සමඟ අතිමහත් හරඹයක යෙදී සිටියි. තම දායක කාරකාදීන්ගේ සහායද ලබාගෙන ‘අත්තම්’ ක්‍රමය යටතේ කොණ්ඩදෙණිය පන්සලට යාබද කුඹුරු යායක් අස්වැද්දීම කොණ්ඩදෙණිය සීලරතන නායක හිමියන්ගේ අධීක්ෂණය යටතේ සිදුවිය. එදත් එම කටයුතු සොයා බැලීමට පහළ කෙත් යායට වැඩම කිරීමට හිමියන් සූදානම් වූවා පමණි. පන්සලේ ගේට්ටුව අසල බඩු පුරවාගත් ෆොක්ස්වැගන් කාර් රථයක් නතර කෙරිණි.
“ඩිංගිරි බණ්ඩෝ ඔය කාර් එක ඇතුළට ගන්නට ගේට්ටුව ඇරල දුන්නානම්...”
“එහෙමයි හාමුදුරුවනේ”
“අවසරයි අපේ නායක හාමුදුරුවනේ මම කොළඹ ඉඳලයි ආවේ...”
“මහත්තයා... මම අර පහළ වෙල් යායට ගිහින් එහි කටයුතු බලන්නයි උන්නෙ.. දැන් ඉතින් ලෑස්ති වුණ එකේ ඒ කටයුතු සහසුද්දියෙන්ම බලල හනිකට නැවත පන්සලට එන්නම් කෝ.”
පන්සලේ මුළුතැන්ගෙයින් කුඹුරේ වැඩ කරන ඇත්තන්ට උදේට සප්පායමට බැඳගත් කදමලුත් සමඟ තේ පෝචිචි කිහිපයක් රැගෙන යාමට දායක ඇත්තත් ද සූදානමින්ය.
“ආහ්... ඩිංගිරි බණ්ඩෝ.... මේ ඇත්තට පහළ වැවෙන් ඇඟපත හෝදාගෙන පිරිසුදුවෙලා නෙලුම් මලුත් කඩාගෙන බුදු මැදුරටයි, බෝමළුවටයි පූජා කරලා ආපු කාරණාව ඉෂ්ඨ සිද්ධ වෙන්න ප්‍රාර්ථනා කරල එන්න කියන්න. සාමනේර හාමුදුරුවන්ට කියන්න ඒ මහත්මයාට පන්සලේ ඓතිහාසික වැදගත් තැන් පෙන්වන්න කියල.
අනික උන්දැට උදේට හොඳට සංග්‍රහ කරන්න ඕනි. කුරහන් තලපත් එක්ක හොඳ ව්‍යාංජන කිහිපයක් හනික හදල ගන්න. කිතුල් පැණි එක්ක මුදෝපු කිරියි, හබල පෙතියි අතුරු පසට දෙන්න.”
හෝරාවක් ගතවන්නටත් මත්තෙන් කොණ්ඩදෙණියේ සීලරතන හිමියන් පන්සලට නැවත වැඩම කළේ ආගන්තුක මහතා දුර බැහැර කොළඹ ප්‍රදේශයේ සිට පැමිණ සිටි බැවිනි.
“අවසරයි නායක හාමුදුරුවනේ උදේ සප්පායම නම් පංකාදු පහයි.”
“එහෙම තමයි අපි ආගන්තුක කොයි කාටත් සලකන්නේ.”
“ඔබ වහන්සේ පන්සලේ උපාසක ඇත්තන්ටයි ගමේ දරුවන්ටයි ඇඳුම් පැලඳුම් සිල් රෙදි එහෙමත් අරන් දෙනවා කියලා ආරංචි වුණා. ඉතින් මමත් ඒ පින්කමට හවුල් වෙන්න හිතාගෙන උපාසක ඇත්තන්ට සිල් රෙදියි ගමේ දරුවන්ට ඇඳුම් පැලදුම් ගොන්නකුයි ගෙනාවා හාමුදුරුවනේ.”
“බොහොම හොඳයි මහත්තයා මේ කොණ්ඩදෙණියෙ ඇත්තන්ට මේවා බොහොමත්ම වටිනවා. මහත්තයා ආපු කාරණාව කීවා නම්.”
ආගන්තුක මහතා තම ෆොක්ස්වැගත් කාර් රථය පුරවාගෙන ආ බඩු, රෙදි තොගය සහ ඇඳුම් පැලඳුම් තොගය ආවාසගෙයි තැන්පත් කිරීමට ඩිංගිරි බණ්ඩාද යුහුසුළුව සහාය විය.
“අනේ නායක හාමුදුරුවනේ මගේ කතාව ඉවසල අහන්නකෝ... මගේ ගම දකුණු පළාතේ කඹුරුගමුවේ, පුංචි සන්දියේදී අපි නැති බැරි අසරණ මිනිස්සු. හරියට දුක්වින්දා. ඉගෙන ගත්තේ හයවෙනි පන්තියට පමණයි. ඒ අවදියේ අපේ වත්ත පිටිය ඉඩකඩ තිබුණ හින්ද මම එළවළු කොරටුවක් එහෙමත් දැම්මා. මම ඒවා මුළු ගමටම අඩුමිලකට වික්කා.... ඒකට අනික් ගමේ, ටවුමේ වෙළෙඳුන් මා එක්ක විරසක වුණා. මගේ ඥාතීන් මට හැමතිස්සේම කෙනෙහිලිකම් කළා. ඒ අය මම දියුණු වෙනවට කොහොමත්ම කැමැති වුණේ නැහැ.... අන්තිමට මට ගම එපාවෙලා, ගමෙන් පිටමං වෙලා කොළඹට ආව...”
“ඒ ඇවිදින් මහත්තයා මොනවද කළේ...”
“කොළඹ ඇවිත් අපේ ඥාතියකුගේ කඩේ හැම වැඩක්ම කළා.... ඒ අය පොහොසත් අය. මම කොහොමහරි මහන්සිවෙලා සල්ලි ටිකක් ඉතිරි කරගත්තා. ඊට පස්සේ පෑලියගොඩ මගේම කඩ කාමරයක් හදාගෙන පුංචි හෝටලයක් කළා. තනියම කකුල් ගෙවෙනකල්, බයිසිකලේ පැදගෙන තොටළඟට ගිහින් එළවළු, මාළු ගෙනල්ලා හෝටලේ කළේ.
ඒත් ඒක දියුණුවෙලා එනකොට ඒ පැත්තේ මැරයෝ ඒ හෝටලය කරගෙන පාඩුවේ ඉන්න දෙන්නේ නැහැ. හැමදාම කප්පන් දෙන්න වෙනවා. මහන්සියෙන් උපයන මුදල් නිරපරාදෙ අනුන්ට පුදන්න වෙනවා. මට දැන් කඩ කෙරුවාවත් එපා වෙලා. අනික ෆොක්ස්වගන් කාරය ගත්තට පස්සේ ටවුමේ මුදලාලිලා මට ඉරිසියා කරනවා. චණ්ඩි පිරිස් එවලා හෝටලයේ බඩු මුට්ටු පොඩි කරලා විනාශ කරල යනවා හාමුදුරුවනේ...”
“කාරණා කාරණා මට හොඳට දැන් තේරෙනවා. මුදලාලි මහත්තයා ඔය දේව මන්දිරය ඇතුළට එන්න.”
“ඩිංගිරි බණ්ඩො, ඔය පුංචිම කළ හතරකට මුහුදු වැලි පුරවල අරගෙන එන්න.”
එසේ ගෙනා කල සූනියම් දෙවිහාමුදුරුවන්ගේ ප්‍රතිමාව ඉදිරියේ අප හිමියන් සීරුවට තැන්පත් කළ සේක. එමෙන්ම දහස්වර පිරිත් කළ පිරිත් නූලක් ගෙන හිමියෝ බලගතු මන්ත්‍රයකින් හඬ නඟා ජප කරන්නට වූහ. ඩිංගිරි බණ්ඩා දේව මණ්ඩලය සිසාරා දේව මන්දිරය පුරා සුවඳ දුම් අල්ලන්නට විය. ආගන්තුක මුදලාලි මහතාට සූනියම් දෙවියන්ගේ ප්‍රතිමාවේ නේත්‍රා දෙස බලා වැඳගෙන සිටීමටද එම ප්‍රතිමාවට සමන්මල් මාලයක් පැලඳවීමට හිමියන් උපදෙස් දුන් සේක.
හිමියන් බලගතු මන්ත්‍රය වඩාත් ප්‍රබලව හා මහත් හඬින් ජප කරනවාත් සමඟ සූනියම් දෙවියන්ගේ ප්‍රතිමාව සෙලවෙන්නට විය. වසා තිබූ ජනේලය විවර කරමින් කොහෙදෝ සිට තඩි කළු බළලෙක් දේව මන්දිරය තුළට පැන හිමි දෙපාමුල දැවටෙන්නට විය. ඒත් සමඟ සමන්පිච්ච සුවඳ දසත පැතිරෙන්නට විය.
තම හෝටලයේම වැඩ කළ කිට්ටුවර ඥාතියකු මුදලාලි මහතාගේ කඩිනම් දියුණුවට ඉරිසියා කොට බලවත් ගුරුකමක් සිදුකර ඇති බව හිමියන්ට වහා වැටහිණ. බන්ධනය කපා දැමූ හිමියන් බලගතු මන්ත්‍රයෙන් ජපකළ පිරිත් නූල ආගන්තුක මුදලාලි මහතාගේ දකුණත බැඳ, වැලි පිරවූ පුංචි කළ පොඩි හතර හෝටලයේ වහලේ මුළු හතරේ ආරක්ෂාවට රඳවන ලෙස උපදෙස් දුන් සේක. ආගන්තුක මහතා රැගෙන ආ රන්සුරයට බලගතු තෙල් බිඳක් දමා කරේ පැලඳ වූ සේක.
“ඔන්න මගේ වැඩේ අහවරයි. අද ඉඳල මහත්තයාගේ දුක් කන්දරාව ද අහවරයි කියලා හිතා ගන්න. ලබන වෙසක් පොහොයට සියලු දොස් පහව යන්නට කියලා හිතාගෙන පෑලියගොඩ තොරණක් ඉදිකරන්න. ඒ තොරණ මැද වැඩ සිටින බුදු පිළිමයට වඳින සෑම කෙනකුගේම ආශිර්වාදය අපේ මුදලාලි මහත්තයාට ලැබෙනවා. කවදාහරි මේ ලංකාවේ සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු වෙනවා. වෙනවාමයි. විශාල ව්‍යාපාර සමූහයක අධිපතියකු වන බව පෙනෙනවා.” හිමියන් වදාළ පරිදිම එදා මෙදා තුර පෑලියගොඩ තොරණ ඉදි විය. කොළඹ බොහෝ හන්දිවල බුද්ධ ප්‍රතිමාද ඉදිවිය. එම මුදලාලිගෙන් පැවත එන පරම්පරාවේ දූ පුතුන් විසින් මේ මහගු කර්තව්‍ය වත්මන්හිදී ද ඉටු කෙරෙයි.
කොණ්ඩදෙණිය රජමහා විහාරයේ වත්මන් විහාරාධිපති ශාස්ත්‍රවේදී කඩම්බාවේ අනුරුද්ධ හිමියන් හමුවට තරුණ ව්‍යාපාරික මහතකු පැමිණියේය. තමන්ගේ දේපළ වෙළෙඳාම් සහ ගල් කොරියේ ව්‍යාපාර කටයුතු දිනෙන් දින පිරිහීමේ ලකුණු පහළවීම නිසා ඊට කිසියම් ප්‍රතිකර්මයක් කළ හැකිද යන්න සොයා බැලීමේ අටියෙනි. ඉඩකඩම් දේපළ තම ව්‍යාපාරය සතුව පැවතියත් ඒවා අලෙවි කර ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වී තිබිණි.
ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ උපාධිධාරියකු වන හිමිකරු තම ව්‍යාපාරය දිනෙන් දින පාඩු ලබන තත්ත්වයට පත්වන නියාව දැක ඒ සඳහා ලංකාවේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාර උපදේශක ආයතන කිහිපයක උපදෙස් සහ සහාය පැතුවද ඉන් පලක් නොපිනි.
සුබසෙත පුවත්පතේ “කොණ්ඩදෙණියේ හාස්කම්” ලිපි පෙළ කියවූ තම සොහොයුරකුගේ මඟ පෙන්වීම ඔස්සේ කොණ්ඩදෙණිය රජමහා විහාරාධිපති අනුරුද්ධ හිමියන් මුණ ගැසී, කොළඹ තම පියා විසින් මහත් ප්‍රයත්නයකින් ගොඩනැඟුණු දේපළ වෙළෙඳාම් ආයතනයට වත්මන් හි අත්වීමට යන ඉරණමින් මුදවා ගැනීමට පැමිණ තිබිණි.
දහස්වර පිරිත් කළ පිරිත් නූලකට බලගතු මන්ත්‍රයක් හෝරා කිහිපයක් ජප කළ අනුරුද්ධ හිමියන් එය වත්මන් ව්‍යාපාරික හිමි තරුණ මහතාගේ දකුණතේ ගැට ගැසූ සේක. ඔහු විසින් රැගෙන ආ රන්සුරයට බලගතු මන්ත්‍රයක් ජප කළ තෙල් බිඳුවක් බහා කරට දැමූ සේක. ව්‍යාපාර ස්ථානයේ හතර කෙළවරේ මතුරන ලද පුංචි වැලි කළ හතර එල්ලීමට සැලැස්සවීමට උපදෙස් දුන් සේක. තම දියුණුව ගැන ඉරිසියා කළ තම ව්‍යාපාරයේ සේවය කළ කිට්ටුවර ඥාතියකු විසින් කළ ප්‍රබල බන්ධනයක් හේතුකොටගෙන මෙය සිදුවීමට මූලික වී ඇති බව අනුරුද්ධ හිමියන්ට පසක් විය. එම බන්ධනය කපා හැරීමට හිමියන් කටයුතු කළ සේක.
මාස ගණනාවකට පසුව ව්‍යාපාරය පැරැණි විභූතිය මතු වන්නට විය. සියලු වෙළෙහෙළදාම් ක්‍රමිකව නැවත දියුණුවිය. අනුරුද්ධ හිමියන් මුණ ගැසීමට කොණ්ඩදෙණියට පැමිණි කොළඹ තරුණ ව්‍යාපාරික මහතා මහත් සොම්නසින් යුතුව හිමියන්ට ස්තූති පූර්වක පුණ්‍යානුමෝදනාව කරන ලද්දේ හිමි දෙපාමුල වැඳ වැටී සතුටු කඳුළු වගුරුවමිනි.
හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරි (මෙහෙයුම්)
ඡ්‍යොතිෂ අවිශ්කාර්
ඡ්‍යොතිෂ ශිරෝමණී
ආචාර්ය විජය සමරසිංහ