වර්ෂ 2024 ක්වූ November 01 වැනිදා Friday
අතුරුදන් වූ ගල් පිළිම
මෙතෙක් කතාව
චිත්‍ර ශිල්පියෙකු හා ලේඛිකාවක වූ තරුණ අඹු සැමි යුවළක් තම සිතැඟිවලට මනාව ගැළපෙන ආකාරයේ සුන්දර නිවසක් ගම්බද පළාතකින් මිලට ගෙන එහි පදිංචිය අරඹති. එහි සේවයට බැඳුණු ගුණ යහපත් දක්ෂ ගෘහ සේවිකාවක වූ ඩෝර්මන් නැමැති කාන්තාව තුන් මසක් ගත වීමට ඔන්න මෙන්න කියා තිබියදී හිටිවන ම රැකියාවෙන් අස්විය යුතු බව පවසයි. එයට හේතුව සොයා බැලීමේදී පෙනී යන්නේ පල්ලියේ ඇති නයිට්වරුන්ගේ ප්‍රතිමා දෙක එක්තරා දිනක ප්‍රාණය ලබා මෙම නිවස ඇති බිමට එන බවට පැතිර ඇති ජන ප්‍රවාදයකි.
තවත් පැත්තකින් නයිට්වරුන් අරබයා වූ පුරා වෘත්තයට අප සිටින ස්ථානය සෘජුවම සම්බන්ධ නිසා මේ ගැන ලෝරා දැනගැනීම තත්ත්වය ඉතා බරපතළ කරන්නක් විය හැකි බව මම දැන සිටියෙමි.
මීට පෙර මා මිතුරු වෛද්‍යවරයා සමඟ ඇවිදීමට ගිය අවස්ථාවලදී දේවස්ථානයේ වූ මේ ප්‍රතිමා මම දැක ඇත්තෙමි. ඒත් දැන් මේ මොහොතේ යළිත් එම ප්‍රතිමා ගැන සිහිපත් වෙද්දී හැඟෙන්නේ ඔය කියන ආකාරයේ ඔවුන්ගේ දුෂ්ට ආත්මයන් ඒවායින්ද නිරූපණයවන බව ය.
එහෙත් ඒවා තම තමන් රඳවා ඇති පුවරුවලින් බැස සිය පැරැණි නිවහන තිබූ ස්ථානයට පැමිණෙනු ඇතැයි යන ඩෝර්මන් මහත්මියගේ කතාව නම් කිසිසේත්ම විශ්වාස නොකෙළෙමි.
දැන්වූ පරිදිම ඩොර්මන් මහත්මිය සියලු ශාන්තුවරයන්ගේ දිනයට පෙර දින එනම් බ්‍රහස්පතින්දා උදැසනින්ම පිටත්ව ගියාය.
නයිට්වරුන්ගේ ප්‍රතිමා පිළිබඳ පුරා වෘත්තය සිතින් අමතක කර දැමූ මම ලෝරා සමඟ ගෙදර වැඩ කටයුතුවලට යොමු වූයේ මෙම අත්දැකීම අපට විවිධත්වයක් ගෙන දෙන බව පෙන්වන්නට උත්සාහ දරමිනි.
එහෙත් දවස ගෙවී යත්ම එය ව්‍යාජ උත්සාහයක් නොව, සතුට ගෙන දෙන්නක් බවට පත්වීම සැනසීමට කරුණක් විය. පිඟන්, කෝප්ප, හැඳී, ගෑරුප්පු සෝදා පිළියෙළ කර ගැනීම අපට තෘප්තිය දනවන කරුණක් විය. එම වැඩ කටයුතු ලෝරාට මානසික පීඩනයක් නොවීම ගැන මම සැනසුම් සුසුමක් හෙළුවෙමි.
මේ ආකාරයට ඊළඟට එළඹුණු සිකුරුදා දිනය සඳහා ඊටත් වඩා පිළිවෙළකට මුහුණ දෙන්නට මම තීරණය කළෙමි. වේලාසනින්ම අවදි වූ මම උඳුන දල්වා ගේ දොර පිරිසිදු කිරීම් සියල්ල නිම කළේ නිවෙස තුළ ප්‍රසන්න වටපිටාවක් ඇති කරමිනි. එදින අප දෙදෙනාටම එකතුව මස් හා අර්තාපල් යොදා රසවත් ආහාරයක් ද පිළියෙළ කර ගත්නටද හැකි විය. එදින අපගේ ආහාර පාන රසවත් වූවා සේ ජීවිතයද තව දුරටත් රසවත් වුවා යයි මට සිතුණි.
එදින සන්ධ්‍යා භාගයේ එළිමහනේ ඇවිදිමට ගිය අප දෙදෙනා අත්වැල් බැඳ ගනිමින් ආපසු පැමිණියේ පෙම්වතුන් යුවළක් මෙන් ආදරයෙන් ළං වෙමිනි.
අප පසු කරගෙත පැමිණි ළඳු කැළෑ බිම දෙස බැලූ මා දුටුවේ ඒ පෙදෙස සිසාරා ඝන සුදු මීදුමක් පැතිර ඇති අයුරු ය. මට එක්වරම දැනුණේ එම මීදුම අප පිටුපසින් ගලා එන්නාක් මෙනි. අප්‍රමාණ ශීතලක් ජනිත කළ එකී මීදුම අප වෙලා ගත්තේ දවස මුලුල්ලේම අප වටා රැඳුණු උණුසුම් වාතාවරණය විනාශ කර දමමිනි.
නිවෙස වෙත ළං වෙද්දී ලෝරා මා සමඟ කතාබහ අඩුකොට නිහඬතාවයක ගිලුණා ය.
“ඔයා ඉන්නෙ දුකෙන් වගේ ?”
මම ඇයගෙන් විමසුවේ සුව පහසු අසුනකට බර වෙමිනි. එයට පිළිතුරු දෙනු පිණීස මදෙසට හැරුණු ඇය එසැණින් ගැස්සී වෙව්ලා ගියේ තදබල ශීතලයකට ලක්වු කලෙක මෙනි.
“ඔව් ඩාලිං මම ඉන්නේ දුකෙන්. මට හරිම අපහසුවක් දැනෙනවා. ඔයා දැන් දැක්ක වගේ මම තුන් හතර වතාවක්ම වෙව්ලන්න ගත්තා. හරියට තද ශීතලක් දැණුණා වගේ. ඒත් අද ශීතල දවසක් නොවෙයි නේද?” ඇය පැවසුවේ දුබල හඬකිනි.
“නැහැ, ලෝරා අද ශිතල දවසක් නොවෙයි”
මා සිතුවේ මිටියාවත සිසාරා ගලා ආ සුදු මීදුම් කැරැල්ලක් දොරෙන් ඇතුළුව ඇයට ස්පර්ශ වන්නට ඇතැයි යන්නය.
ඇයගේ සන්තාපය බෝ වුණාක් මෙන් මම ද කිසිවක් නොදොඩා, සිටීම නිසා අප අතර මොහොතක නිහඬතාවයක් ඇති වී තිබිණි.
“නපුරු දෙයක් සිද්ධ වෙන්න කලින් කවද හරි ඔයාට ඒ ගැන කලින් දැන ගන්න ලැබිල නැද්ද?”
හිටිවනම ලෝරා මගෙන් විමසුවා ය.
“ඇත්තෙන්ම නැහැ” මම පිළිතුරු දුන්නේ සිනාවෙමිනි.
“බැරි වෙලා හරි එහෙම හැඟීමක් ඇති වුණොත් මම ඒ ගැන විශ්වාස කරන්නේ නැහැ. මොහොතකින් අමතක කර දමනවා”
“ඒ වුණාට මට ඒක විශ්වාස කරන්න සිද්ධ වෙලා තියෙනවා”
“ඒකට හේතුව තමයි මගේ තාත්තා මිය යන්නට කලින් ඒ බව මට දැණුන එක‘ මට ඒ හැඟීම දැනෙන වෙලාවෙ තාත්තා හිටියේ ස්කොට්ලන්තයේ...
මේ මොහොතේත් ඇය තුළ එවැනි හැඟීමක් ඇති වී තිබේද නැතිද යන්න පිළිබඳ සැකමුසු හැඟීමක් මා තුළ ඇති වුවද, මම ඒ පිළිබඳව තර්ක විතර්කවල යෙදීමෙන් වැළකි සිටියෙමි. මේ අතර ඉතාමත් මෘදු ලෙස මගේ සුරතින් අල්ලා ගත් ලෝරා ඉතා දයාන්විත ලෙස ආදරණීය හාදුවක් මවෙත පුද කළා ය.
“දැන් ඔක්කොම හරි”
ඇය හිත හදා ගනිමින් පැවසුවා ය.
“අපි අතර තියෙන ආදරයේ වැඩිකමට හිටපු ගමන් මම හුඟක් බොළඳ තත්ත්වයට පත් වෙනවා කියා මට හිතෙනවා. ඒකට හේතු තමයි ඒ ආදරේ අඩුවෙයි හරි නැතිවෙයි කියල හිතෙන එක” මෙසේ පැවසූ ඇය ප්‍රසන්න හිනාවක් පෑවා ය.
“දැන් අපි හොඳට එළිය වැටෙන්න ඉටි පන්දම් පත්තු කරමු. ඊට පස්සේ දෙන්නම එකතු වෙලා පියානෝව වාදනය කරමු”
දෙපැයක පමණ කාලයක් එක දිගට පියානෝව වාදනය කළ අපි දෙදෙනා පෙර පරිදි ම ඉතා සතුටින් රාත්‍රී භෝජනය අනුභව කළෙමු.
අපගේ නිර්මාණාත්මක කටයුතු හා නිවසේ කටයුතු ද නිසා වෙනදාට වඩා වෙහෙසට පත්ව සිටියද, නිදා ගන්නට ගියද, මා වෙත නින්ද ළඟා වූයේ නැත. එහෙත් ලෝරා දෙස බැලූ මා හට දක්නට ලැබුණේ ඇය දැඩි නින්දකට පිවිස ඇති බව ය.
ඇයගේ නින්දට බාධා නොවනසේ යහනින් නැගිට ගත් මා ආලින්දයට පිවිසුණේ පයිප්පය දල්වා ගනිමිනි. නිවසින් පිටත පරිසරය සඳ කැල්මෙන් දිදුළමින් තිබූ අතර, මා හට එක්වරම සිතුණේ ඩෝර්මන් මහත්මිය පැවසූ අන්දමට නයිට්වරුන් දෙදෙනාගේ කිරිගරුඬ ප්‍රතිමා පුවරුවලින් බැස ඇවිදිනවාද යන්න සත්‍යයක්දැයි පරීක්ෂා කර බැලීමට යා යුතු බව ය.
ලෝරා ගැඹුරු නින්දකට වැටී ඇති බව තහවුරු කරගත් මා පල්ලියට වෙතට ළඟා වෙද්දී 12.00 කණිසම වැදී අවසන් වූවා පමණි. පැතිර ඇති භයංකාර පුරා වෘත්තය හේතුකොට ගෙන දෝ කිසිදු මිනිස් ප්‍රාණියකු අහළ පහළක දක්නට නොවීය.
කිසිසේත්ම විය නොහැක්කක් පිළිබඳව තව දුරටත් තහවුරු කර ගැන්මේ සිතුවිල්ලෙන් පමණක් මඬනා ලද සිතැති මම පල්ලියට ඇතුල් ව මඳ අඳුරේම අල්තාරය දෙසට ළං වූයෙමි.
සර්වබලධාරී දෙවිඳුනි! විය නොහැක්කක් සිදුවී තිබිණි. දූවිලි කැටයක් පමණ හෝ නොවැටෙන පරිදි දුෂ්ට නයිට්වරුන් දෙදෙනාගේ ප්‍රතිමා අතුරුදන්ව තිබිණි. ඉක්බිති මා මේ දකින්නේ මායාවක්දැයි තහවුරු කරගනු පිණිස පුවරු දෙකම හොඳීන් අතගා බැලීමි. සියුම් කඩතොල්ලක් පවා ඉතිරි නොකරමින් ප්‍රතිමා දෙක අතුරුදන් වී ඇත.
ඉතා කෙටියෙන් පැවසිය යුතුව ඇත්තේ මා අසීමිත භීතියකට පත් වූ බව ය. හිතවත් පාඨකය, මෙහිදී මා ඔබට අවංකවම පැවසිය යුතුව ඇත්තේ, මෙවැනි සිදුවීම් ගැන විශ්වාසය තබන පුද්ගලයෙකුට වඩා මේ අද්භූත අතුරුදහන්වීම ගැන මා බියට පත් වු බව ය.
(තවත් කොටසක් ලබන සතියේ)
(එව්ලින් නෙස්බිට්ගේ නැමැති කෙටිකතාව ඇසුරිනි)
තිස්ස ප්‍රේමසිරි