වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
බය වුණාම දෙවියන් සිහිවන්නේ ඇයි?
වානරයාගෙන් ආරම්භ වූ මනුෂ්‍යයා ක්‍රමයෙන් දියුණුවන කොට ඇදහිලි ටික ටික පුරුදු වුණා. දෙවියෝ, දෙවියා දේවත්වය ද ලුහු බඳින්න වුණා විතරක් නොවේ දේව සංකල්පයද ඇති වුණා මනුෂ්‍යයාට කිසියම් දෙයක් දෙන අදෘශ්‍යමාන කෙනා දෙවියා බව තමයි අදත් හිතේ තිබෙන්නේ.
කවුරු හරි යමක් ලබාදෙන කොට ඔහු නම් දෙවියෙක්ම තමයි කියල කියනවා. මනුෂ්‍යයාට බය ඇතිවන විටත් දෙවියන් සිහිවනවා. කෙටියෙන් සඳහන් කළොත් අදෘශ්‍යමාන දෙවියන්ට මුල් තැනක් හිමිවනවා. මනුෂ්‍යයාට අත්‍යවශ්‍යම පංච මහා භූතයන්ගෙන් එකක් වන ගින්දර කිසියම් හෝ පීඩාවක් ඇති කරන කොට ගිනි දෙවියාට පූජෝපහාර කරන සමහර ඉන්දියානුවන් අදටත් දකින්ට හැකියාවක් තිබෙනවා. මනුෂ්‍යයා කොච්ච්චර දියුණු වුණත් මානසිකව මේ එල්බ ගෙන ඉන්න ඇදහීම් ලෙහෙසියෙන් ඉවත්වන්නෙ නැහැ. එය මනසට තදින් ඇතුළු වූ විශ්වාසය නිසාමයි විහාර මහා දේවිය පා කර හැරියේ.
සුනාමිය, ඉඩෝරය, ගිනිකඳු පිපිරීම් යනාදිය ස්වාභාවික කාලගුණික විපර්යාස බව කොපමණ පැහැදිලි වුණත් ඔප්පු වුණත් බොහෝ ජනයා මේවා දේව කෝප ලෙසට තවමත් සලකනවා. පසුගිය කොරෝනා වසංගතයේ දී පිරිත් කළ ජලය ගංගාවලට දැමුවෙත් එයත් දේවකෝපයක් දෝ කියා සිතු නිසා විය හැකියි.
සියලුම ඇතිවීම්, පැවතීම් හා නැතිවීම් නුවණින් මෙනෙහි කරලා, සත්‍ය අවබෝධ කරලා සියලු සත්ත්වයන්ට දේශනා කළ බුදුන් වහන්සේ වෙනුවෙන් කතරගම කිරිවෙහෙර වැඳ පුදා නොගෙන සමහරු ප්‍රථමයෙන් දේවාලය වන්දනා කරන්නෙ මේ මිථ්‍යා භක්තිය නිසා වන්ට ඇති. බොහෝ දෙනා එසේ නොකරන බවත් කියන්ටම ඕනෑ. දෙවියන් යැදීම අන්ධ භක්තික ක්‍රියාවක් කියල සමහරු තීන්දු කළත් කිසියම් හෝ සත්‍යතාවයක් නැත්තෙම නැහැ කියලත් හිතෙනවා. මානසිකව හෝ දෙවියන් පිදීමෙන් මානසිකව තෘප්තියක් ලබන බොහෝ අය වර්තමානයේ සෑහන ඉන්නවා.
සමාජය ක්‍රමයෙන් දියුණු වීමේදී මේ විශ්වය තුළ කිසියම් ශක්තියක් ඇති බවත් එය ‘විශ්ව ශක්තිය’ බවත් එහි තුළ ග්‍රහයන් නැත්නම් ග්‍රහලෝක නමයකින් කිරණ ශක්තීන් නමයක් පෘතුවිය දෙසට විහිදෙන බවත් සොයා ගත්තා. එනිසාම මේ ග්‍රහ කිරණ පෘථිවියේ සිටින ජීවත්වන සත්වයාට, ගහකොළට, සිවුපාවාට බලපාන බවත් සොයා ගත්තා. මේ සම්බන්ධව කරුණු විස්තර කිරීම ඡ්‍යොතිෂ විද්‍යාවෙන් කෙරෙන බවත් එම ග්‍රහ අපල දුරු කිරීමට කිසියම් විෂයයක් ඇති බවත් එය යන්ත්‍ර විද්‍යාව බවත් පොත පතේ සඳහන් වනවා.
යන්ත්‍ර විද්‍යාවේ පැහැදිලි කරන ආකාරයට යන්ත්‍ර පැලැඳීම විද්‍යාත්මක බව ඔප්පු කර තිබෙනවා. එනම් නිවෙස් තුළ පාවිච්චි කරන ලද ආලෝක ධාරාවන්ට ස්වභාවිකව ඇතිවන විදුලි කෙටීම්වලදී නිතර විදුලි ආපදා ඇතිවීම ස්වභාවික කරුණක්. ඉන් නිවැසියන්ට හා පරිහරණය කරන භාණ්ඩවලට හානි පැමිණවීමේ තත්ත්වය වැළැක්වීම සඳහා විදුලි රැහැන් පද්ධතියට ‘ෆියුස්’ නැත්නම් විදුලි ආරක්ෂක උපකරණ සවිකරනු ලැබෙනවා. ඉන් සිදුවේ යැයි සිතන කරදර බොහෝ දුරට වළක්වා ගත හැකියි.
මේ අයුරින්ම අප වටා ඇති සෞරග්‍රහ මණ්ඩලයේ වේගයෙන් භ්‍රමණය වන ග්‍රහලෝකවලින් පිටවන ග්‍රහ කිරණවලින් ඇතිවන කරදර වළක්වා ගත හැකි වන්නේ යන්ත්‍ර පැලැඳීමෙන් පමණයි. එනිසාම යන්ත්‍ර පැළැඳීම මිනිසා දියුණු වූ දා සිට අද දක්වාම පවතින ශාස්ත්‍රයකි. ඒ අනුවම ඒ ඒ සඳහා ආවේණික වූ යන්ත්‍ර සමූහයක් යන්ත්‍ර සතකය හා යන්ත්‍ර විද්‍යාව යන පොත්වල සඳහන් වනවා. සිද්ධි නාගර්ජුණය, මහා බුද්ධ මාලාව, අභිසම්භිධානය, එවැනිම යන්ත්‍රවලින් කීපයක්. යන්ත්‍රයකින් කෙරෙන්නේ මනුෂ්‍ය ශරීරය වෙත ගලා එන සතුරු ග්‍රහ කිරණ මතුරන ලද යන්ත්‍ර තහඩුව මඟින් අවශෝෂණය කර හෝ වෙනත් දිශාවකට යොමුකර, තමාට ආරක්ෂාව සලසාදීමයි. වෙනත් ග්‍රහ අපල සඳහා ද වෙන වෙනම යන්ත්‍ර තිබෙනවා. සිද්ධි නාගාර්ජුණය විශේෂයෙන් පිළියෙළ කරනු ලබන්නේ ඉනෙන් ඉහළ කොටස නයි පෙනයක් සේ පෙනෙන ඉනෙන් පහළ කොටස මනුෂ්‍ය රූපයක් සේ ඇති අශ්වයකුගේ පිටේ ගමන් කරනවා යැයි ප්‍රකාශිත ‘රාහු’ නොහොත් රාහු අසුරේන්ද්‍ර නම් ග්‍රහ අපලය දුරු කිරීමටයි. රාහුගෙන් පැමිනෙන සියලුම ග්‍රහ අපල මේ යන්ත්‍රය අවශෝෂණය කරන අතර “ඒකාග්‍ර රෝග නිවාරණය” යන්ත්‍රය නමින්ද හැඳින් වෙනවා. රාහු අසුරේන්ද්‍ර යනු කිසියම් දේවත්වයකින් හඳුන්වනු ලැබුවත් එය ග්‍රහ කිරණයක බලපෑම බව ඍෂිවරුන් දේශනා කර තිබෙනවා. කරුණු මෙසේ සඳහන් වුවත් ඉහත කී පිළියම් රාහු අසුරේන්ද්‍ර දෙවියන් උදෙසා කරන බොහොම අය වර්තමානයේ සිටින බව සඳහන් කළ යුතුම යි.
මේ ආකාරයට එක් එක් ග්‍රහ කිරණ සතුරු ස්වරූපයෙන් තමා වෙත එල්ලවීමේ දී ඒ ඒ ග්‍රහ කිරණවලට ආවේණික වූ පාපි පල තමා වෙත ලැබෙන බව ද සඳහන් කළ යුතුමයි. එම නියාම ස්වභාවය නොදත් මනුෂ්‍යයා කිසියම් හෝ දෙවියකු කෝප වූ බව විශ්වාස කර ඊට අනුකූලව වැඩ කටයුතු කරයි. විශේෂයෙන් හිතට නැඟෙන භීතිය තුරන්කර ගැනීමේ අපේක්ෂාවන්ටම බාර හාර වැනි දෑ කර ගනියි. එයින් කිසිදු සහනයක් නොලැබෙන බව දැනගත් විට කළ යුත්තේ අනවශ්‍ය ග්‍රහ කිරණ තමා වෙත ඒම වැළැක්වීම පමණි. යන්ත්‍රයකින් කරන්නේ ද එවැනිම ක්‍රියාවකි. එහෙත් මනුෂ්‍යයාට ඇති ස්වකීය ගැඹුරු විශ්වාසය නිසා මනස සතුටුවීමෙන් සියලුම උපද්‍රව දූරිම්භූත වේ. සියලුම දෙයට මූලිකත්වය ගනු ලබන්නේ මනස බව ඕනෑම දර්ශනයක හොඳාකාරව පැහැදිලි කර ඇත.
දෙවියන් වෙනුවෙන් ස්වකීය විශ්වාසය මත සමාජයේ යම් ස්ථානයක් වෙන්කර දී ඇති බවද අපි දනිමු. එනම් ශ්‍රී විෂ්ණු දිව්‍ය රාජයා, කතරගම දිව්‍ය රාජයා, සුමන සමන් දිව්‍ය රාජයා හා නාථ දෙවිඳුන් යන සිවුවරම් මහේශාක්‍ය දෙවිවරු බවද සඳහන් කර ඇත. විශේෂයෙන් මේ මහේශාක්‍ය දෙවිවරුන්ගේ පැවැත්ම වනුයේ පිරිසුදු සත්‍යය දේශනාවන් පවත්වාගෙන යාමත් ශ්‍රී ලංකාව වැනි රටවල් හා එහි වසන ජනයා ආරක්ෂා කර ඔවුන්ගේ දුක සන්තාපය සුළු ප්‍රමාණයකින් හෝ අවම කර ශාන්තිය ලබා දීමය. කොටින්ම කිවහොත් මේ මහේශාක්‍ය දෙවිවරුන්ට “වස් කවි” කීමෙන් පලක්ද නැත. ඔවුන්ගේ දිව්‍ය ශ්‍රවණය වනුවේ “සෙත්කවිවලට” පමණකි.
දෙවියන් සම්බන්ධව කරුණු එක්රැස් කිරීමේදී ස්වභාවය වෙනස්වන දෙවිවරු ද නැතිව නොවේ. ඔවුන් අල්පේශාක්‍ය දෙවිවරු බව දේව පොත්වල සඳහන් වේ. මාසික අව සහ පුර තිථිවලට අනුව ස්වභාවය වෙනස්වන දෙවිවරුන්ද නැතිව නොවේ. කෙසේ වෙතත් කිසියම් කෙනකුට දේවත්වයෙන් සලකන්නේ ස්වකීය විශ්වාසය පදනම් කරගෙනමය. විශ්වාසය නැති තැන දෙවියන්ද දේවත්වයක් ද නැත. මේ අනුව තමන්ට නොපෙනෙන ක්‍රමයකින් යමක් සිදුවන බව විශ්වාස කරන විට එය දෙවියන් විසින් කරන්නක් බව සිතන නිසාත් එයට පිහිට විය හැක්කේ දෙවියන්ට බව සිතන නිසාත් බයක් දැනෙන මොහොතක මිනිසුන්ට එකවරම සිහි වන්නේ දෙවියන්ය.
පාරම්පරික ඡ්‍යොතිෂ හා ගුප්ත විද්‍යාවේදී
මීපේ ගණිතගේ රන්ජිත් විද්‍යාරත්න