බොහෝ අයට ඇති පාදයේ වේදනාව

First Metatarsal Stress Fracture
පෙබරවාරි 7, 2025

පාද ආශ්‍රිතව ඇතිවන වේදනාව වර්තමානයේ බොහෝ දෙනා පීඩා විඳීන ලක්ෂණයක් ලෙස දක්වන්නට පුළුවන්. විවිධ රෝග එලෙස වේදනාව ඇති කිරීමට හේතු වෙනවා.නියමාකාරයෙන් වේදනාව සමනය කිරීම සඳහා මේ රෝග තත්ත්වයන් නිවැරදිව විනිශ්චය කළ යුතුයි.

සාමාන්‍ය භාවිතයේදී එතරම් නිවැරදිව විනිශ්චය නොකරන මුත් පාදාශ්‍රිත වේදනාව ඇති වීමට ප්‍රධාන හේතුවක් වන First Metatarsal Stress Fractures නම් තත්ත්වය පිළිබඳව දැනුවත් වෙමු. Ankle Joint  හෙවත් විළුඹ සන්ධියෙන් පහළට පවතින පාදයේ අස්ථි ප්‍රධාන කොටස් තුනකට වෙන්කර දක්වන්නට පුළුවන්.ඒ

1.විලුම් ඇටය 2.පාද කුර්චාස්ථි

පාරම්පරික වෛද්‍ය විද්‍යාවේදී කොටස් දෙකකට ගැනෙන පාදයේ මෙම කොටස බටහිර වෛද්‍ය විද්‍යාවේදී Tarsal Bones ලෙස හඳුන්වනවා.

3.පාද පාලිකා (අබලි ඇට)

ආරම්පරික වෛද්‍ය විද්‍යාවේදී පාදයේ ඉතිරි අස්ථි ලෙස සලකන මෙම කොටස බටහිර වෛද්‍ය විද්‍යාවේදී Metatarsals  සහ Phalanx ලෙස හඳුන්වනවා.

First Metatarsal Stress Fractures  නම් තත්ත්වේදී ඇති ඇතිවන්නේ පාදයෙහි මහපට ඇඟිල්ලට අනුයාත වන එනම් පළමු Metatarsal අස්ථියෙහි ඇතිවන පීඩන භග්නයකි (Stress Fracture )මෙය එක්වර සිදුවන අස්ථිබිදීමක් නොවන නිසා කුඩාවට පටන් ගන්නා වේදනාව ඇති වෙමින් සහ නැතිවෙමින් පීඩන භග්නය උත්සන්න වන තෙක් විවිධ මට්ටම්වලින් වේදනාව ගෙන දීම සිදුවෙනවා. පීඩන භග්නය උත්සන්න වූ පසු ඒකාකාරව පාදයෙහි උඩුපතුලෙහි මැද කොටසේ ඇතුළු පැත්තට වේදනාවක් ඇතිවන අතර පාදය බිම තබා ඇවිදීමේදී වේදනාව තවත් වැඩිවීම සිදුවනවා. මේ තත්ත්වය කුඩා දරුවන්ගේ සිට වැඩිහිටියන් දක්වා වයස් භේදයකින් තොරව ඇතිවීමේ හැකියාව පවතිනවා. ඔබේ සිරුරේ බර දරන පාදය ආශ්‍රිත අස්ථි අන්තරයෙන්ම වැටීමේ සහ නැවත වර්ධනය වීමේ යාන්ත්‍රණයක පවතිනවා.ක්‍රියාවලිය නිවැරදිව සිදුවීමට නොහැකි වන ආකාරයට අවශ්‍ය පීඩනය එල්ල වීම මේ රෝගය ඇතිවීමට හේතුව ලෙස සලකන්නට පුළුවන්. ඒ ආකාරයට අනවශ්‍ය පීඩනයක්් එල්ල වීමට හේතු ලෙස දවසේ වැඩි වේලාවක් විවේකයකින් තොරව දිවීම සහ ඇවිදීම ආශ්‍රිත ක්‍රියාකාරකම්වල නිරත වීම. පාදයට නොගැළපෙන සහ සුවපහසුව ගෙන නොදෙන පාවහන් භාවිත කිරීම. දවසේ වැඩි වේලාවක් පඩිපෙළ නැඟීම සහ පළුදු සහිත මාර්ගවල ඇවිදීම. පාදය වටා පවතින මාංශ පේශිවල දුර්වලතාවය. යටි පතුලේ ආරුක්කුව නිවැරදිව පිහිටා නොතිබීම. අස්ථි ඝනත්වය අඩුවීම සහ අස්ථි ඝනත්වය අඩුවන රෝගවලින් පෙළීම. ඔස්ටියෝපොරෝසිස් රෝගී තත්ත්වයට ගොදුරු වීම. ක්‍රීඩකයන් සැලකීමේදී මං පුහුණු වන මතුපිට හෝ භූමිය වෙනස් කිරීම. වෙනත් රෝගාබාධ නිසා පාදයේ වේදනාවන් පවතින විටදී එම වේදනාවන් නොසලකමින් නිතර නිතර ඇවිදීම සහ දිවීම වැනි වැඩ කටයුතු සිදුකිරීම.

රෝග ලක්ෂණ

මූලික අවස්ථාවේදී ඇවිදීම, සිටගෙන සිටීම සහ පඩිපෙළ නැඟීම වැනි ක්‍රියාකාරකම්වලදී පමණක් පාදයෙහි වේදනාව ඇතිවන අතර එසේ නොකරන අවස්ථාවල දී වේදනාවඅඩු වී යයි.

ඉන්පසුව ක්‍රමක්‍රමයෙන් ඒකාකාරීව වේදනාව දැනීම සිදුවෙනවා. අස්ථි බිඳීම ඇති වී තිබෙන ස්ථානයේ ඇතිවන වේදනාව සහ චලනය කිරීමේදී වේදනාව දැඩිවෙන ස්වභාවය. එම වේදනාව සෑම විටම උඩු පතුලේ මැද මහපට ඇඟිල්ලට අනුයාතව කකුලෙහි ඇතුළු පැත්තට වන්නට පිහිටීම. අස්ථි බිඳීම සිදුවූ ස්ථානය ඇතිවන සුළු ඉදිමීම සහ රතු හෝ නිල් පැහැවීමේ ස්වභාවය. කකුල නැමීම සහ දිග හැරීම වැනි ක්‍රියාකාරකම් වේදනාව නිසා අඩු වීම. අස්ථි බිඳීම පමණක් සිදු වී ඇති අවස්ථාවලදී බිදුණු අස්ථි කොටස් විස්ථාපනය වී නොතිබේ නම් වේදනාව සමඟ වුවත් පාදයේ තබා ඇවිදීමේ හැකියාව තිබෙන්නට පුළුවන්.

එහෙත් අස්ථි බිඳීමත් සමඟ අස්ථි කොටස් විස්ථාපනය වී තිබේ නම් පාදය තබා ඇවිදීමේ හැකියාව අඩුවනවා.

රෝගය හඳුනා ගැනීම

මෙහිදී සායනික පරීක්ෂාවට ප්‍රධාන තැනක් හිමිවනවා. රෝගියාගේ වයස, ස්ත්‍රී පුරුෂ භාවය, රැකියාව සහ ජීවන ක්‍රමය ,රෝග නිධානය සහ වේදනාව පැතිරීම යන කරුණු මත පදනම් වෙමින් රෝග විනිශ්චය සිදු කිරීමට අත්‍යවශ්‍ය වනවා. රෝග විනිශ්චයක් සිදු නොකොට වේදනාව යන රෝග ලක්ෂණයට පමණක් ප්‍රතිකාර සිදු කිරීම නිසා වේදනාවෙන් තාවකාලික සුවයක් ලැබුණත් රෝගය නිසි පරිදි සුව වීමක් සිදුවන්නේ නෑ. ප්‍රතිකාර සඳහා යන කාලය සහ වේලාව අපතේ යාම සිදුවනවා. සායනික පරීක්ෂණ මඟින් රෝගය නිවැරැදිව හඳුනාගැනීමට නොහැකි වන අවස්ථාවලදී සහ රෝග විනිශ්චය තහවුරු කර ගැනීමට අවශ්‍ය අවස්ථාවලදී ඔපචර වාර්තා උපයෝගී කරගන්නට පුළුවන්. නිවැරදි රෝග විනිශ්චයකින් පසුව පමණක් ප්‍රතිකාර සිදුකිරීම වෛද්‍යවරයාගේ යුතුකම සහ වගකීම වේ.

ප්‍රතිකාර

පරම්පරික වෛද්‍ය ක්‍රමය මඟින් පහසුවෙන් සුව කළ හැකි රෝගී තත්වයක් ලෙස මේ පීඩන භග්නය දක්වන්නට. ප්‍රධාන වශයෙන්ම පාරම්පරික තෛල සහ තැවුම් ප්‍රතිකාර මගින් ප්‍රතිකාර ආරම්භ කළ හැකි අතර රෝගී තත්ත්වය මදක් උත්සන්නව තිබියහොත් පත්තු ලබාදීම සිදුකරන්නට පුළුවන්. පීඩන භග්නයකික් අස්ථි කොටස් විස්ථාපනය වී ඇති අවස්ථාවලදී නැවත නියමිත දිශානතිය අනුව කොටස් තබා පතුරු තබා වෙලීම සිදු කරනවා. මෙහිදී නියමාකාරයෙන් භග්නය සුවවන තෙක් අදාළ පාදය බිම තබා ඇවිදීමෙන් රෝගියා වැළකිය යුතු වනවා. බාහිරින් ලබා දෙන මේ ප්‍රතිකාරත් සමඟ වේදනාව අඩු කිරීමට, බැක්ටීරියා අසාදනය ඇතිවීමේ හැකියාව අවම කිරීමට, ප්‍රදාහයික තත්ත්වය අවම කිරීමට සහ අස්ථිය සුව වීමට අවශ්‍ය පෝෂණය ලබාදීමට පාරම්පරික කැඳ වර්ග සහ ආසව /අරිෂ්ඨ වර්ග භාවිත කරන්නට පුළුවන් .

ප්‍රථමාධාර

ඉහතින් දක්වා තිබෙන රෝග ලක්ෂණ එකක් හෝ කිහිපයක් එක් පාදයක හෝ පාද දෙකෙහිම ඇති වී තිබෙන අවස්ථාවලදී වෛද්‍යවරයෙකු වෙත යාමට කලින් පහත සරල ප්‍රථමාධාර ක්‍රම පිළිපදින්න

පාදයේ වේදනාව දැනෙන තැනට මිනිත්තු 15/20ක් පමණ වේලාවක් අයිස් තැබීම සිදු කරන්න. පාදය බිම තබා සිටගෙන සිටීම සහ ඇවිදීම වැනි ක්‍රියාකාරකම් හැකිතාක් අවම කරන්න. ඇවිදීමට සහ සිටගෙන සිටීමට අත්‍යවශ්‍ය වන වෙලාවන්වලදී බස්තමක් හෝ හැරමිටියක් වැනි අත්වාරුවක් භාවිත කිරීම මඟින් භග්නය සිදුවී ඇති පාදයට එල්ල වන පීඩනය අවම කරගන්න. උණු වතුරෙන් හෝ වෙනයම් රස්නේ දෙයකින් වේදනාව දෙන ස්ථානය තැවීමෙන් වළකින්න. වේදනාව දෙන ස්ථානය තදින් අතින් පිරිමැදීම වැනි ක්‍රියාකාරකම්වලින් බැහැර වන්න. වෙළුම් ක්‍රම පිළිබඳ අවබෝධයක් තිබේ නම් වේදනා දෙන ස්ථානය හරහා මඳක් තදවන පරිදි වෙලුමක් යෙදීමේ හැකියාව පවතිනවා.

 

පාරම්පරික සර්වාංග

කැඩුම් බිදුම් විශේෂ

වෛද්‍ය ජෙනාඩ් භානුක ධර්මප්‍රිය

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.