වර්ෂ 2025 ක්වූ February 07 වැනිදා Friday
පදම දැන ගත යුතු අයඩීන් ලුණු
![](https://www.subasetha.lk/sites/default/files/styles/article_details__770xauto_/public/field/image/57_5.jpg?itok=JXEAEP62)
අන් කවර දාටත් වඩා මේ වන විට ලුණු පිළිබඳව කතාබහක් සමාජයේ මතු වී තිබේ. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ලුණු හිඟයක් පිළිබඳවත්, කැබිනට් අනුමැතිය මත විදෙස් රටවලින් ලුණු ආනයනයට කටයුතු කර ඇති බවත් මාධ්‍ය සඳහන් කරයි. මේ දිනවල රට පුරා පවතින අධික වර්ෂාව නිසා ලුණු ලේවායන් යට වී නිෂ්පාදනය අඩාළ වී ඇති බවත් එය මෙරට ලුණු හිඟයට සෘජුව බලපා ඇති බවත් ලුණු නිෂ්පාදකයෝ පවසති.
ඒ අනුව මේ වනවිට කැබිනට් අනුමැතිය මත ඉන්දියාවෙන් ලුණු මෙට්‍රික් ටොන් 30,000 ක් ආනයනය කිරීමට නියමිත බව පැවසේ. ඒ සම්බන්ධයෙන් රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාවට අවසර හිමි වී ඇති බවත් ඒ අනුව ලුණු මෙට්‍රික්ටොන් 1485 ක් මේ වනවිට දිවයිනට ගෙන්වීමත් සිදුකර අවසන්ය. එලෙස මෙරටට ගෙන්වීමට අනුමැතිය දී ඇත්තේ අයඩීනීකරණය නොකරන ලද ලුණුය. අයිඩිනීකරණය නොකරන ලද එම ලුණු මෙරට දී අයඩිනීකරණය කිරීමට නියමිතය. ඒ අනුව එම ලුණු නැවත පැකට් වශයෙන් බෙදා හරිනු ඇත. පිට රටින් මෙරටට අයිඩීනීකරණය කරන ලද ලුණු ආනයනය නොකිරීමට හේතුව ලෙස මෙරට ලුණු කර්මාන්තයේ නියැළෙන සේවකයන්ගේ රැකියා අවස්ථා අහිමිවීම හා පිටරටින් අයිඩීනීකරණය කරන ලුණු මෙරට ගෙන්වීම තුළින් ඒවා ලුණු කර්මාන්ත හිමියන්ගෙන් පිටතට ගොස් ජාවාරම් සිදුවිය හැකි බවත් ලක් ලුණු සමාගමේ සභාපති නන්දන තිලක මහතා සුබසෙත වෙතට ප්‍රකාශ කළේය. කෙසේ මුත් අයඩින් මිශ්‍ර ලුණු ආහාරයට ගැනීමට නුසුදුසු බවට වර්තමානයේ සමාජයේ කථිකාවක් නිර්මාණය වී ඇත. මේ පිළිබඳව වෛද්‍යවරුන් මෙන්ම පෝෂණවේදීන් ද විවිධ අදහස් දක්වන ආකාරය දක්නට ලැබේ. එහි විද්‍යාත්මක හා ආයුර්වේදාත්මක පසුබිම සොයා බැලීමට අපි කටයුතු කළෙමු. ඒ පිළිබඳව පොල්ගොල්ල ශාස්ත්‍රාරවින්ද වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්ය, ආයුර්වේද වෛද්‍ය මධුර පරණවිතාන මහතා සහ මහනුවර ජාතික රෝහලේ පෝෂණවේදිනී ජනනී උදයදිවාකර මහත්මිය සමඟ කළ සාකච්ඡාව ඇසුරින් මේ ලිපිය සැකසේ.
අයඩීන් ඌනතාවය
ශ්‍රී ලාංකික ජනතාවගේ අයඩින් ඌනතාවය පළමුවරට හඳුනා ගනු ලැබුවේ 1951 වර්ෂයේ දී ය. ඉන් පසු අවස්ථා කිහිපයක දී කරන ලද සමීක්ෂණවලින් අයඩින් ඌනතාවය පිළිබඳ ගැටලුව හඳුනාගෙන ඇත. 1992 වර්ෂයේ දී සිදු කළ සමීක්ෂණයක් අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය සියලු දෙනා දිනපතා භාවිත කරන හාල්, ලුණු වැනි ද්‍රව්‍යයවලට අයඩීන් මිශ්‍ර කොට සාර්ථකත්වය පරික්ෂා කරන ලදී. එම පරීක්ෂණ ප්‍රතිඵලවලට අනුව, ලුණුවලට අයඩින් මිශ්‍ර කිරීමට තීරණය කරන ලදී. ඒ අනුව අයඩින් මිශ්‍ර ලුණු පිළිබඳව ජනතාව දැනුම්වත් කිරීම හා ලුණුවල අයඩින් තත්ත්වය සොයා බැලීම සෞඛ්‍ය නිලධාරීන්ට පවරන ලදී. එම නිසා අයඩින් මිශ්‍ර ලුණු පරිභෝජනයට නුසුදුසු බව අසත්‍යක් බව පෝෂණවේදිනිය ජනනී උදයදිවාකරගේ අදහස විය.
අයඩීන් අවශ්‍යතාවය
මේ සම්බන්ධව ආයුර්වේද වෛද්‍ය මධුර පරණවිතානගේ අදහස වූයේ ශරීරයේ තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වයට අයිඩීන් බලපාන බවත්, ඒවා අප ආහාරයට ගන්නා මුහුදු මාළු, මුහුදු පැළෑටි වැනි ආහාරවල අඩංගු වන බවත්ය. සාමාන්‍ය මිනිස් සිරුරකට දිනකට ලුණු තේ හැන්දක පමණ ප්‍රමාණයක් අවශ්‍ය වන බවත් ඒ අනුව අයිඩීන් මිශ්‍ර ලුණු පරිභෝජනය අහිතකර නොවන බවත් වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
නියමිත අයඩින් ප්‍රමාණය
යුනිසෙෆ් ආයතනය මඟින් ලංකාවේ අවුරුදු පහකට වරක් මිනිසුන් නියැඳී ලෙස ගෙන අයඩින් ප්‍රමාණය පරීක්ෂා කිරීම සිදුකරයි. 2005 වර්ෂයේ දී එසේ සිදුකළ පර්යේෂණයකින් පසුව එදා සිට අද දක්වාම ලුණුවල පැවතිය යුතු අයඩීන් ප්‍රමාණ එනම්, නිෂ්පාදන මට්ටමේ දී (Production level) - 30 ppm ලෙසත්, පාරිභෝගික මට්ටම (Consumer level) - 15 ppm ලෙසත් දක්වා ඇත.( මෙහි ppm යනු,ලුණු 1kg ක අයඩීන් අඩංගු විය යුතු මිලි ග්‍රෑම් ප්‍රමාණය යි.)
අයඩින් මිශ්‍ර ලුණු හඳුනාගැනීම
මෙය සොයා බැලීමේ යම් ක්‍රමවේද පවතින අතර එය සාමාන්‍ය ජනතාව වශයෙන් අපට සිදුකළ නොහැකිය. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සතුව ඒ සඳහා පරීක්ෂණ කට්ටලයක් පවතින අතර ඕනෑම අවස්ථාවක දී ඔවුන්ට වෙළෙඳපොළේ තිබෙන ලුණු සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කළ හැකි ය.ලංකාවේ නියමිත අයඩීන් ප්‍රමාණ පරීක්ෂා කිරීමට ප්‍රධාන පරීක්ෂණාගාර පහක් පවතී. ඒවාට මහජන පරීක්ෂකවරු වෙළඳපොළේ විකුණන ලුණු නියැඳී වශයෙන් ගෙන ගොස් නිවැරදිව පරීක්ෂා කිරීම සිදුකරනු ලබයි.
එසේම ලංකාවේ අයඩීන් ඌනතාව වැළැක්වීමේ සාර්ථක ක්‍රමයක් වශයෙන් ලුණුවලට අයඩීන් මිශ්‍ර කිරීම හඳුනාගෙන ඇති අතර ඒ තුළින් ගලගණ්ඩය වැනි රෝග පාලනය වූ බවත් පසුගිය වර්ෂවලදී සිදු කළ පර්යේෂණවලින් අනාවරණය කොටගෙන ඇත.
තොරතුරු :
පොල්ගොල්ල ශාස්ත්‍රාරවින්ද
වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්ය,
ආයුර්වේද වෛද්‍ය
මධුර පරණවිතාන
මහනුවර ජාතික රෝහලේ
පෝෂණවේදිනී
ජනනි උදයදිවාකර