නිරෝගී සිරුරක් ඔබට ලබාදෙන ඛනිජ ලවණ

ජනවාරි 17, 2025

අප ශරීරයේ පැවැත්ම සඳහා ඛනිජ වර්ග අත්‍යවශ්‍ය වේ. ශරීරය ගොඩනැඟීමටත්, විවිධ රසායන ක්‍රියාවන් නිසි පරිදි පවත්වාගෙන යාමටත් මෙය අත්‍යවශ්‍ය දෙයකි. අපට අවශ්‍ය ප්‍රධාන මූල ද්‍රව්‍ය වනුයේ, කැල්සියම්, ෆොස්පරස්, සෝඩියම්, පොටෑසියම් මැග්නීසියම්, ක්ලෝරීන්ය. මේ ඛනිජ ලවන, ශාක සහ සත්ව ආහාර මඟින් ශරීරයට ලැබේ. මේවායේ විවිධ ගුණ සහ ශරීරය තුළ ක්‍රියා කරන ආකාරය පිළිබඳ දැනීම වැදගත් වේ.

අප ශරීරයේ බහුලවම ඇති ඛනිජ ද්‍රව්‍යය වන්නේ කැල්සියම්ය. මෙය ශරීරයේ ස්නායු සෛලවලට මනා ක්‍රියාකාරිත්වය ඉතා වැදගත් සේවයක් කරයි. ශරීරයේ නිර්මාණයට උපකාරී වේ. ශරීරගත කැල්සියම් අඩු වූ විට අස්ථිවල හැඩය වෙනස්වීම, කොඳුඇටය ඇදවීම, උරහිස වක්‍රවීම සිදු වේ. නිසි පරිදි දත් සෑදීමට කැල්සියම් අත්‍යවශ්‍ය සාධකයකි.

වයස්ගතවෙත්ම කැල්සියම් අඩුවීමත්, උරා නොගැනීමත් නිසා සන්ධිගත වේදනාව, ඉදිමීම ඇති වී ඇවිදීමේ අපහසුතා ඇතිවේ. ඔස්ටියෝ පොරෝසිස් යනුවෙන් හැඳින්වනුයේද මේ තත්ත්වයයි. වයස් ගත වීමේදී ඉතා සුළු වැටීමකදී පවා අස්ථි කැඩී වෙන්වී යන්නේද මේ හේතුව නිසාය. කැල්සියම් දිනකට මි.ග්‍රෑම් 350 - 1200 අතර අවශ්‍ය වේ.

මේ හේතුව නිසාම අප කැල්සියම් සහිත ආහාර ගත යුතුය. විශේෂයෙන් කිරි, හාල්මැස්සන්, කුඩා මාළු, ජලජ ශාක, රනිල භෝග වැනි ආහාර ප්‍රධාන ආහාරවේලට එක්කරගත යුත්තේ එබැවිනි.

විශේෂයෙන් ගර්භිනී මවුවරුන් ආහාර ලෙස කුඩා මාළු වර්ග ආහාරයට ගත යුතුය. චීස්, යෝගට්, බිත්තර, බණ්ඩක්කා, නිවිති, සූදුරු, තල, මුරුංගා වැනි ආහාර කැල්සියම් බහුල නිසා කුඩා දරුවන්ටත් වැඩිහිටි අයටත් ඉතා සුදුසු ය.

පොස්පරස් ද ශරීරයට අත්‍යවශ්‍ය ඛනිජ ලවනයකි. අස්ථි ශක්තිමත් කිරීමටත් දත් වර්ධනයට හා ශක්තිමත් වීමටත් ඉතා වැදගත් ඛනිජයකි. පොස්පරස් ශරීරයේ අඩුවූ විට ද අස්ථි දුර්වල වේ. අස්ථි බිඳීම, කොඳු ඇට පෙළ ඇදවීම සහ අස්ථි කැඩීම සිදුවේ. තුවාලයක් සිදුවූ විට ගලන ලේ ප්‍රමාණය වළක්වා ගැනීමට කැල්සියම් මෙන්ම පොස්පරස් ද උපකාරී වේ. කිරි, බිත්තර, මාළු, චීස් ආහාරයට ගැනීමෙන් පොස්පරස් ලවන ශරීරයට ලබාගත හැකිය. සියලුම සත්ව, ශාක සෛලවල පොස්පරස් ඇති නිසා කොළවර්ග නිතර ආහාරයට ගත යුතු ය.

සෝඩියම් සංඝටකයද අපගේ ශරීරයට අත්‍යවශ්‍ය ලවනයකි. ශරීරයේ සෛල ක්‍රමවත්ව පවත්වා ගැනීමටත්, එහි පීඩනය නිසියාකාරව තබා ගැනීමටත් සෝඩියම්වලින් කරන්නේ මහඟු සේවයකි. මේ ඛනිජය ශරීරයට අඩුවූ විට විජලනය සමඟ කෙණ්ඩ පෙරළීම ඇති වේ.

සෝඩියම් අප ගන්නා ලුණුවල අඩංගු බැවින් කෙණ්ඩ පෙරළෙන විට ලුණු කැටයක් මුඛයේ තබා ගැනීමෙන් සහනයක් ලැබේ. සමහරු ලුණු පොට්ටනියකින් තම කෙණ්ඩ පෙරළීමේ වේදනාව අඩුකර ගනිති. අප සෝඩියම් වැඩිපුර ගතහොත් ඒවා මුත්‍රාමාර්ගයෙන් පිටවේ. නැතිනම් සෛල තුළ ජලය එකතුවීමත්, ඒ නිසා ඉදිමීමත් ඇතිවේ. කුඩා දරුවන්ගේ වකුගඩු නියමාකාරයෙන් වර්ධනය වී නොමැති නිසා කිරිදෙන දරුවන්ට ආහාර සමඟ ලුණු එකතු කරන්නෙ නැත. අප ආහාරයට ගන්නා මාජරින්, මාමයිට්, බේකන්, කරවල, අජිනොමොටෝ වැනි ආහාරවල ලුණු බහුලව ඇති නිසා සෝඩියම් ශරීරයට ලැබේ. රසකාරකවලද සෝඩියම් අඩංගු වේ. ලුණු වර්ග ආහාරයට ගැනීමේ දී අප සැලකිලිමත් විය යුතු ය. අධික ලුණු නිසා රුධිර පීඩනය වැඩිවන බැවිනි. අප දිනපතා ලුණු ග්‍රෑම්6කට වඩා නොගත යුතුය.

අපගේ ශරීරයේ සෛලවල නිසියාකාර පැවැත්මට පොටෑසියම් ලවනයද අවශ්‍ය වේ. අප ශරීරයේ පොටෑසියම් ග්‍රෑම් 100 පමණ ඇත. සෛලවල පීඩනය ක්‍රමවත් වීමටත්, ස්නායු මනාව ක්‍රියාත්මක වීමටත්, පොටෑසියම් අත්‍යවශ්‍ය වේ. මේවා අඩුවූ විට මාංශ පේශි දුර්වල වී එල්ලා වැටීම, අංශභාගය, රුධිර ස්පන්ධනය වැඩිවීම වැනි රෝගවලට හේතුවේ. මස්, මාළු, එළවළු, කිරි, කෙසෙල් විශේෂයෙන් අලුකෙසෙල්වල සහ තැඹිලි, පොල් වතුරේද පොටෑසියම් අඩංගුය.

මැග්නීසියම් අපගේ ශරීරයේ පැවැත්මට අත්‍යවශ්‍ය ලවනයකි. වැඩුණු අයකුට ග්‍රෑම් 20 - 30 ශරීරයට අවශ්‍ය වේ. මැග්නීසියම් ඩී.එන්.ඒ වල ක්‍රියාකාරීත්වයටත්, එන්සයිමවල ක්‍රියාකාරිත්වයටත් අවශ්‍ය වේ. ශාඛ ආහාර විශේෂයෙන් පලා වර්ගවල මැග්නීසියම් බහුලව ඇත.

ඔබ නොදන්නවා ඇති ක්ලෝරයිඩ් සහ සල්පර් (ගෙන්දගම්) ශරීරයේ පැවැත්මට අවශ්‍ය බව. මේවා සෛල තරලයේ අඩංගුය. සෛල පීඩනය, අම්ල, භෂ්ම සමතුලිතතාව සඳහා උපකාරී වේ. නැතිනම් අධික රුධිර පීඩනය පවා ඇති වේ.

වැඩුණු මිනිසෙකුට යකඩ ග්‍රෑම් 4 ක් පමණ අවශ්‍ය වේ. රුධිරයේ රතු වර්ණකාරය වන හිමොග්ලොබින්වල සියයට 60 පමණ අඩංගුය. වාතයේ ඇති ඔක්සිජන් සම්බන්ධකර ගැනීමටත් උපකාරී වේ. යකඩ අඩුවීමෙන් රක්තහීනතාවය ඇතිවේ. ශරීරයෙහි නිතර රුධිර පිටවීමේ රෝග නිසා රක්තහීනතාවය ඇතිවේ. පණු රෝගද හේතු වේ. යකඩ අඩු වූ විට ශරීරය සුදුමැළි වේ. ශරීර වර්ධනය අඩු වේ. කැරකිල්ල, වෙහෙසට පත්වීම ඇති වේ. රුධිර මි.ලී. 100ක හිමොග්ලොබින් 12 - 15 පමණ අන්තර්ගත විය යුතු ය.

මේ නිසා යකඩ බහුල ආහාර වූ, හරක්මස්, පීකුදු, මාළු, බිත්තර, තල, රටකජු, මුං, පරිප්පු, නිවිති, ගොටුකොළ, කතුරුමුරුංගා ආදී පලාවර්ග ආහාර ගැනීමෙන් යකඩ ඌනතාවය අවම කරගත හැකිය.

අයඩින් අපේ ශරීර ක්‍රියාකාරීත්වයට අවශ්‍ය වේ. තයිරොයිඩ් ග්‍රන්ථියේ මනා ක්‍රියාකාරීත්වයට එය අත්‍යවශ්‍ය වේ. අයඩින් අවශ්‍ය තරම් නොලැබුණොත් තයිරොයිඩ් ග්‍රන්ථිය ඉදිමේ. ගලගණ්ඩය ඇතිවේ. ගබ්සා වීම, බිහිරිවීම, වපරවීම, කර්ණාබාධ, අයඩින් ඌනතාවය නිසා ඇති වේ. මෙයට පිළයමක් ලෙස ආහාරයට ගන්නා ලුණුවලට අයඩින් එකතු කිරීම අනිවාර්ය කර ඇත. මුහුදු මාළු, මුහුදු ශාඛ, කිරි, බිත්තර ආදියේද අයඩින් බහුලව ඇත.

අපගේ ශරීර නිරෝගීතාවය පවත්වා ගැනීමට ඉහත සඳහන් ඛනිජවර්ග අත්‍යවශ්‍ය නිසාම ආහාරය සකස් කිරීමේ දී මේ ගැන ඔබගේ අවධානය යොමු විය යුතු බව මතක තබා ගන්න.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.