වෙද ගැට විනෝදය

සැප්තැම්බර් 13, 2024

කටී වායුවට

රඳවා ඇවිත් පිටි පස්සේ සිටී නම්
නොච්චි දා ලා පිසලා දෙවා නම්
ඒත් ඌ නොගොස් එතනම සිටී නම්
කනත් එක්ක මුල කල අඹුවම දීපම්

කටී වායුව ඇති වූ විට නික කොළ යුසින් කැඳ උයා දෙන්න. එයින් සුව නොවී නම් තිප්පිලි මුල් කෂාය කර තිප්පපිලි කුඩු දමා දෙන්න සුව වේ.

ළදරු සෙම් කෝපයට

 

නිකන් නොයිද කොළ පොතු අර ගන්නේ
හපන් කමින් ගවයෙකු තෙල් ගන්නේ
අසන් මෝඩකන් තිප්පිලි ගන්නේ
වසන් නොකර පදමට සිඳ ගන්නේ

ගාල සේම බිළිඳුගෙ සෙම් ගෝයලු

ගෝලු ගගා පපුවේ සෙම් වැඩිවේලු
කාසි අතට ගෙන මිස නොය හබවේලු
බාලයින්ගෙ සෙම්ගායට ඉසිවරලු

 

නික කොළ පොතු කොටාගත් යුෂට එළඟිතෙල් දමා අසමෝදගම් සහ තිප්පිලි සමඟ පදමට සිඳගත් තෙල් බාලයින්ගේ සෙම් කෝපවලට ඉසිවරයකු සමාන වේ.

තරවීමට

 

ගුටිදීලා ඇටලාලා බැටදීලා සුනු කරලා
සුදු කරලා වියළාලා සුනුකරලා ගෙන එකලා
පිඩු කරලා ලාසිතලා දෙයිද පලා පමණ බලා
වැළ දුඛලා බිදන බලා ලාවිපුලා මේක බළා

තල සුද්ද කර වියළා කුඩු කර සීනි සමඟ දෙසි පමණට

ගුළිකර දිනපතා වැලඳූ විට කෘෂ භාවය නැති කෙරේ යනු තේරුමය

 

සියලු විෂට

 

ළඟම පැන්සලේ අරටුව අර ගන්නේ
ඇට ඇති තනේ මිරිකාලා යුස ගන්නේ
කාටත් පිහිට වෙන යාළුව පුළු සන්නේ
යහපති විසට ඔසු දියකර ගාපන්නේ

 

පැන්සලයක මැද කූර ශතයක් උඩ තබා පුලුස්සා දෙහි ඇඹුලෙන් දියකර ගාන්න සියලු විෂ නසයි.

“අර්ශස් ගෙඩිවලට”

කරල් බලු නගුට රතු මැණිකක් සොයනු
කොටා සමව ගෙන තල තෙල්වත් කරනු
මලවා හොඳට තද කොට බඳිනු
අර්ශස් ගෙඩි මැකෙයි සත්තයි කර බලනු

 

බලු නගුට කරල් රතුලූනු සමව ගෙන කොටා තලතෙලින් මළවා බඳිනු. අර්ශස් ගෙඩි මැකී යයි.

 

“රත්තරන් සෑදීමට”

කටහඬ ඇති දෙන්න එක තරමට ගන්න
සොඳන දිය ගන්න මිතුරන් සහ එක් වන්න
බැටදෙන ඉන්නකුත් වෙළුවෙන් අඹ රන්න
තඹසුණු ලන්න රත්‍රං වෙයි දැන ගන්න

 

අඬනහිරියා, යක්බේරිය, සමඟ තල දඬු සමව ගෙන කොටා යුස මිරිකාගෙන තඹකුඩු හා රසදිය අඹරා දම උණුකරගත් විට රත්‍රං සෑදේ.

 

“ඉක්කාවට”

සුදුමල් පුබුදා මුංගේ ඇට ගේන
තුනපල මුල තුන්කුළු මූලයක් ගෙන
ගෙල මුල මදුලා අටෙකට සිදු වන
මී එක්කා දුන හික්කා ගැන වන

 

විළඳ , මුං ඇට, අරළු, ඉඟුරු, බෙලිමුල්, වැල්මී කලං දෙක බැගින් ගෙන 8ට 1ට සිඳුවා මී පැණි දමා දීමෙන් හික්කා ගුණ වේ.

 

“හිසරදයට”

බළලගෙ රස ඇති තැන හොය පල්ලා
එම මුල ගෙන හොඳ හැටි තල පල්ලා
දමා විනාකිරි පොට්ටනි ගල්ලා
හිසරදයට හොඳ හැටි තව පල්ලා

 

කුප්පමේනිය ගස් කීපයක් මුල්ද සමඟ උදුරාගෙන හොඳින් සෝදා වනයේ ලා කොටා විනාකිරි මිශ්‍රකර පොට්ටනි බැද වණ්ඩුවේ තම්බා නළල දෙපැත්ත තවනු හිසරදය ගුණ වේ.

 

“සෙංගමාලයට”

මසට කියන නම සමඟම මී එක්කර ගස ද හැඳින
උසී කියා රාවය දී සුවඳ ගසේ මුල්ද රැගෙන
බෝවිටියා හීන්එකාගේ සේවය ලදොත් සොඳිනක
බැට දීලා ගස් තෙලිනා සෙංගමාලෙ වැනසී යන

 

අදහස :– බක් මී ගසේ පොතු, සැවැන්දරා මුල්, හීන් බෝවිටියා කසාය කර හෝ කැඳ පිස ගිතෙල් දමා දීමෙන් සෙංගමාල රෝගය සුව වේ.

 

පොතපත ඇසුරින් :– ඉදිරිපත් කරන්නේ

ශාන්ති කර්ම ගුප්තවිද්‍යා

එස්.ටී. එස් ද සිල්වා 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.