සුබසෙත සුවසෙත

දෙසැම්බර් 13, 2024

 

යූ.එම්. ප්‍රශාදිනී - වස්කඩුව

ප්‍රශ්නය -

වෛද්‍යතුමනි, බොහෝ දරුවන් විටමින් ඌනතාවයෙන් පෙළෙන බවත් එසේ සිටීමෙන් දරුවන් නොයෙකුත් රෝගාබාධවලට ලක්වී දරුවන්ගේ හැදීම බාලවන බවත් කියයි. අලෙවිකරනු ලබන විටමින් පෙති, සිරප් කරල්වලට වඩා ගනු ලබන ආහාරයෙන් විටමින් නිසි පරිදි ශරීරගතවන බවක් කියයි. එබැවින් වෛද්‍යතුමනි විටමින් බහුල ආහාර ගැන විස්තරයක් පුවත්පතේ පළකරන මෙන් ඉල්ලා සිටිමි.

 

පිළිතුර -

කොළ එළවළු වන තම්පලා, කතුරුමුරුංගා, නිවිති, කංකුං, මුකුණුවැන්න, කැරට්, ගොටුකොළ, වට්ටක්කා වැනි එළවළු ද නොපාහින ලද ධාන්‍ය වර්ගද, පැපොල්, දොඩම්, අඹ, දෙහි, නෙල්ලි, කජු පුහුලම් යන පලතුරු ද වඩාත්ම ගුණවේ. මස් බිත්තර, කිරි, මාළු, මෝර මාළු, මෝර තෙල්, එළවළු හා කිරි ද විටමින් බහුල ආහාර වේ. ආහාර වේලට මේ එළවළු, මස්, මාළු, බිත්තර හා පලාවර්ග ලබාදෙන්නේ නම් පිටතින් පෙති, කරල්, සිරප් දීමට අවශ්‍ය වන්නේ නැත.

 

යූ.කේ. සිරියලතා - මාකුඹුර

ප්‍රශ්නය

වෛද්‍යතුමනි,

මගේ අම්මාගේ වයස අවුරුදු හැටහතකි. දැනට සතියක පමණ කාලයක සිට පුරුද්දක් වශයෙන් කාපු කෑමෙන් දැන් හතරෙන් එකක්වත් කන්නේ නෑ. කෑම කන්න ගත්තාම උගුරට එනවාලු. නිතරම තොලකට වෙළෙන ගතියකුත් තියෙනවා. හිටපු ගමන් බඩ රිදෙනවා කියල වැසිකිළියට යනවා ටික ටික දියාරුවට බඩඑළිය යනවාලු. ඒත් මොනව හරි කන්න ඉල්ලනවා. දුන්නම හොඳට කනවා. ඒ ටිකකින් ආයෙත් වැසිකිළි යනවා මේ ලෙඩවලට ප්‍රතිකාරයක් ලබා දුන්නොත් පින්.

 

පිළිතුර

ලබා දී ඇති විස්තරය අනුව නම් ඔබේ මෑණියන්ට අජීර්ණයක් පවතිනවා. මෙහි සඳහන් ප්‍රතිකාර හා උපදෙස් පිළිපැදීමෙන් රෝගය සුවපත් කරගත හැකියි. සාදික්කා ගෙඩියක් දෙහි ඇඹුලින් ගලගා උණුකර නිවාගත් ජලයෙන් දියකර ටික ටික බීමට දෙන්න. සූදුරු කබලේ බැද කුඩුකර උණු වතුරට දමා දියකර ටික ටික බොන්න දෙන්න. මේ ප්‍රතිකාරවලින් සුවයක් නොමැතිනම් ආයුර්වේද වෛද්‍යවරයකුට පෙන්වා ප්‍රතිකාර ලබා ගන්න. වයස්ගත වනවිට නොයෙකුත් රෝගාබාධ ඇති විය හැකිය. එම නිසා වඩාත්ම සුදුසු රෝගාබාධ ගැන අවබෝධයක් ලබා ප්‍රතිකාර ලබා දීමයි.

 

ගුණවතී එස්.එස් - නාගස්හන්දිය

ප්‍රශ්නය

වෛද්‍යතුමනි, අප පදිංචිව සිටින වත්තේ නිවෙසක දෙයියන්ගේ ලෙඩ හැදුණු දරුවකු සිටින බව දැනගන්නට ලැබිණි. ඔවුන් ඒ රෝගය ගැන කිසිවකුටත් නොදන්වා ගොක් රැහැන් දමා ඇත. අප නිවෙසේද දරුවන් සිටියි. එබැවින් දෙයියන්ගේ ලෙඩක් වන පැපොල රෝගයේ ලක්ෂණ දැන ගැනීමට වුවමනා බැවින් එය පළකරවන්නේ නම් මට පමණක් නොව අනෙකුත් අයටත් ලොකු උපකාරයකි.

පිළිතුර

කිසිම විටෙක රෝගයක් ගැන බියවීමක් හෝ සැක කිරීමත් නොකළ යුතුයි. යම් රෝගයක් යමෙකුට වැලඳීමට යම් යම් හේතු කාරණා තියෙනවා. රෝග වැලඳෙන්නේ වා, පිත්, සෙම් යන ත්‍රිදෝෂයන් කෝපවීමෙනි. එම නිසා මොනම හේතුවක් නිසාවත් රෝගවලට දොස් නැඟීමට හෝ සැක කිරීමට සූදානම් වන්න එපා.

පැපොල රෝගය හටගන්නා අවස්ථාවේදී උණ ඇඟපත වේදනාව ඇතිවේ. ඇස් රතු වර්ණ වේ. රෝගය හට ගෙන පැය විසිහතරක් තුළදී සිරුරෙහි රතුපාට ලප ඇතිවේ. පසුව ඒවා බිබිලි බවට පත්වේ. මේ බිබිළි වැඩි වශයෙන් පවතින්නේ පිටේ සහ පසු ප්‍රදේශයේය. එම බිබිලි සිවුවැනි දිනයේ පිපිරී යයි. එසේ බිබිලි සියල්ල පුපුරායෑමට දින දහයක් පහළොවක් අතර කාලයක් ගතවේ. ඉන් පසු ජලස්නානය කිරීමෙන් සුව වේ. මෙසේ රෝගියා දිය නාන අවස්ථාව ද කිසිවකුටත් නොපෙනෙන සේ සිදු කරයි. රෝගය වැලඳුණු අයකු නිතර නිතර කිවිසුම් අරිනවිට කහිනවිට හෝ සොටු දියර ගලන විට වෙනත් අය ඒ අසල නොසිටිය යුතුය. ඒ ශ්වසනය මඟින් අන් අයටත් රෝගය බෝවිය හැකි බැවිනි. එළවළු සහිත බත් එළකිරි පිටිකිරි වර්ග කොළකැඳ, දියර වර්ග, සුදුසුය. දොඩම්, නාරං, කෙසෙල්, බෙලි, මුද්දරප්පලම් ගුණාත්මක වේ.

 

පි‍්‍රන්සි සිගේරා පිළපිටිය

ප්‍රශ්නය

වෛද්‍යතුමනි,

මා විසි අට හැවිරිදි ඇඳුම් මැසීමේ නිරත කාන්තාවකි. දැනට සති දෙකක පමණ කාලයක සිට වමනය, ඔක්කාරයට එනවා. බඩපුරවා දැමීමක් වගේ පෙනෙනවා ඇඳුමක් මහන්න මැෂිම ළඟට ආවාම ක්ලාන්තය වගේ දැනෙනවා. වරින්වර හිසරදයක් එනවා. ආහාර ගන්නෙත් ටිකයි. ඒත් වරින්වර බඩගිනිත් වෙනවා. මේ රෝග ලක්ෂණ ගැන ඔබතුමාගේ අවධානය යොමුකොට ප්‍රතිකාරයක් සඳහන් කරන්න.

පිළිතුර

සඳහන් කරන ලද කරුණු අනුව නම් අම්ලපිත්ත රෝගය බව පෙනෙනවා මේ රෝගය ඇතිවීමට හේතුවන්නේ වැරදි ආහාර ගැනීමයි. මේ රෝගී අවස්ථාවේදී තෙල් අධික කෑම බැදුම් ජාති, ආන්නාසි වැනි ඇඹුල් අධික කෑම මිරිස් අධික ආහාර උෂ්ණ ආහාර වර්ග මෑ, උඳු වැනි ආහාර, තක්කාලි, මුරුංගා , සැමන්, දෙල්, ඉස්සන්, දැල්ලන්, ඌරුමස්, වැනි මස් වර්ග අච්චාරු, බල මාළු, වැනි මාළු වර්ගද නොකෑ යුතුයි. පිටිකෑම කොහෙත්ම සුදුසු නැත. වැටකොළු, පතෝල, පිපිඤ්ඤා, මුකුණුවැන්න, ගොටුකොළ කැඳ ද ගුණාත්මක වන අතර වට්ටක්කා, කෙසෙල්බඩ ව්‍යාංජනය, හාල්මැස්සන්, තෝරා, පරා, මාළු ද ගුණදායකය. ඔබේ රෝගයට ආයුර්වේද වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාරගන්න.

 

පී.ඩී. පි‍්‍රන්සි - පිලපිටිය

ප්‍රශ්නය

වෛද්‍යතුමනි, මා රැකියාවක නියුතු විසි තුන් හැවිරිදි කාන්තාවකි. මා සමඟ සේවය කරන මිතුරියන් කීපදෙනෙකුගේම මුහුණු අමුතු සුන්දරත්වයක් පවතිනවා. කලින් කුරුලෑ පවා හටගෙන තිබූ අතර මුහුණ තෙල්ගතියෙන්ද පැවැතියා. දුඹුරු වර්ණව තිබූ ඔවුන්ගේ අත්, බෙල්ල පවා දැන් යම්කිසි පෙනුමකින් යුක්තයි. ඒ ගැන ඇසූ විට ඔවුන් කීවේ බඩ සුද්ධ වෙන්න බෙහෙත්බීලා පොකුරුවද මල් තම්බාගෙන පානය කර තැම්බුණු වද මල්, දෙහි ඇඹුලින් අනා මුහුණේ සහ බෙල්ලේත් අත්වලත් පාප්පයක් වගේ ගාගෙන සිට සෝදන බවයි. මෙසේ කිරීමෙන් සිරුරේ හා මුහුණේ සුන්දරත්වයක් ගෙන දේ දැයි දැනගන්නට මෙසේ ලියමි.

පිළිතුර

ඔබ සඳහන් කර ඇති පරිදි පොකුරු වදමල් උණුවතුරට දමා තැම්බී නිවුණු පසු රත් පැහැවූ ජලය පානය කිරීම ගුණදායකය. එය සමේ රෝග සමනය කරනු ලබන අතර සම පැහැපත් වේ. ලේ පිරිසුදු කරයි සමේ හටගැනෙන දද, කුෂ්ඨ බිබිළි හට නොගනී. වදමල් මුහුණේ අත්පාවල ගෑමෙන්ද යම් අලංකාරයක් ඇති වේ. පොකුරු වදමල් ඉතා හොඳ ඖෂධයකි.

 

එස්.එම්. ඩී. තිලක් - වෙන්නප්පුව

ප්‍රශ්නය

වෛද්‍යතුමනි, මම හතළිස් තුන්හැවිරිදි බස්රථ රියදුරෙකි. රෑට නිදාගෙන උදේට නැගිටින විට තද හිසේ කැක්කුමක් එනවා එක අඩුවෙන්නේ බෙහෙත් කරලක් බිවුවමයි. සමහර දාට ඉබේටම අඩුවී යනවා සමහරදාට ඔළුවෙ එක පැත්තක වේදනාව දැනෙනවා. සමහර දිනවලට උදේට හැදෙන හිසේ අමාරුව දවස පුරාම තියෙනවා මේ නිසා රැකියාවට යන්න වෙන්නෙත් නැහැ. හිස කැක්කුම තදට හැදුණුදාට නිදාගන්නත් බැහැ. අවදිව ඉන්නත් හරිම අමාරුයි. හිස කැක්කුම ඉක්මනින් හොඳකර ගන්න ප්‍රතිකාරයක් කියාදෙන්න.

පිළිතුර

ඔබ සඳහන් කර ඇත්තේ ඉරුවාරදයේ රෝග ලක්ෂණයි. වාතෙන් පිතෙන් සහ සෙමෙන් යන තුන්දොසින් ඉරුවාරදය හැදනෙවා. ඇස්වල හා නාසයේ බරගතියක් ඇතිවෙනවා. උහුලන්න බැරි විදිහට හිස කකියනවා නම් අබ, එනසහල් , වියළිකහ, වදකහ, සූදුරු, කොට්ටන්, කුරුඳු පොතු, කළුදුරු යන ඖෂධ ගෙන කුඩුකර සිහින් වෙන්න අඹරා පාන්තිරයක් මෙන් පිරිසුදු රෙදි කඩක් අඹරා ඒ ඇතුළට බෙහෙත් දමා තිරය ගිනි අවුළුවා නිවා එහි දුම නාසයට ළංකර උරන්න. තත්ත්වය සමනය වී සුවවේ.

අනෝමා ද සිල්වා - කොට්ටාව

ප්‍රශ්නය

වෛද්‍යතුමනි

මම දහසය හැවිරිදි පාසල් සිසුවියක් වෙමි. මගේ ඉස්මුදුනේ කෙස් කීපයක් සුදුවෙලා තියෙනවා. හිස පීරනකොට කෙස්ගස් කීපයක් කැඩිලත් පනාවට එනවා. මගේ අම්මා කියනවා අම්මාගෙත් තරුණ කාලෙද මෙහෙම කොණ්ඩෙ සුදු වුණාලු, කෙස්ගසුත් කැඩුණාලු ආරෙටලු. ඇයිමෙහෙම වෙන්නෙ වෛද්‍යතුමනි? මම අම්මගෙ ආරෙ පිළිගන්නේ නැහැ. මට කෙස් සුදුවීම හා කෙස් කැඩීයාම නවතා ගන්න කරුණාකර බෙහෙතක් පත්‍රයේ පළකරවන්න.

 

පිළිතුර

ශරීරයේ පවතින උෂ්ණත්වය නිසාත් නිසි පෝෂණයක් නොලැබීම නිසාත් කෙස් සුදු වෙනවා. එමෙන්ම හිසට යම් යම් ආලේපන වර්ග, ෂැම්පු වර්ග හා සබන් ගෑම නිසාත් විෂවීමෙන් කෙස් සුදු වෙනවා. හිස සෝදනවිට දෙහි ඇඹුල් ස්වල්පයක් ජලයට මිශ්‍රකර හිස සෝදන්න. නෙල්ලි, වෙරළු, මුද්දරප්පලම්, පෙයාස්, ඇපල් වැනි පලතුරු කෑමට ගන්න. පිරිසුදු ජලය වැඩියෙන් පානය කරන්න. නිදිවැරීමෙන් වළකින්න.

 

ආයුර්වේද වෛද්‍ය
සුමිත් රාජපුර 
 
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.