සුබසෙත සුවසෙත

ඔක්තෝබර් 4, 2024

 

යු.කේ.ග්‍රේස් - කෙසෙල්වත්ත

ප්‍රශ්නය -

වෛද්‍යතුමනි, මගේ මහත්තයාගේ පියා ඉන්නේ අප ළඟයි. මුලදී ප්‍රශ්නයක් වූයේ නැහැ. දැන් දැන් ප්‍රශ්න වැඩිවෙමින් පවතිනවා. මගේ දරුදෙන්නාට නිතරම බණිනවා. තරවටු කරන්නත් යනවා. පුතාට වගේම මටත් බණිනවා. උදේට කෑම දුන්නාම කනවා. තේ එක දුන්නාම බොනවා. ඒත් කෑම දුන්නේ නැතිලු. තේ දුන්නේ නැතිලු. මුහුණ සෝදන්නේ නැතිව මුහුණ සේදුවාලු. සෑම දෙයක්ම අමතක වෙනවා. පරණ දේවල් මතක් කර බණිනවා. මේ තත්ත්වය ඇතිවන්නේ වයස නිසා ද දැන් ඔහුට වයස හැත්තෑ අටක් වෙනවා. මේ තත්ත්වය තවත් නරක අතට හැරෙන්න පෙර කළයුතු ප්‍රතිකාරයක් ලබා දෙන මෙන් ඉල්ලමි.

පිළිතුර -

වයසට යෑමත් සමඟ මතකය අඩුවීමක් ඇතිවනවා. ස්නායු සෛල විනාශ වී යෑම මේ රෝගී තත්ත්වයට හේතුවයි. මතකය අඩුවීම නොහොත් අමතකවීම තමන්ට පවතින බව ඔවුන්ට නොවැටහේ. මේ තත්ත්වය ඇති වූ විට රුධිරය වැඩෙන පෝෂ්‍යදායී ආහාර පාන දිය යුතු යි. මතක ශක්තිය වර්ධනය වන ප්‍රතිකාර ද ඇත. සුදුසුකම්ලත් වෛද්‍යවරයකු වෙතින් ප්‍රතිකාර ලබා දිය යුතු ය. ලුණුවිල වදකහ වියළි ඉඟුරු, තිප්පිලි, වැල්මී, සවිඳ ලුණු යන බෙහෙත් ඖෂධ කලං දෙක බැගින් ගෙන වතුර පත අට එකට සිඳ බීමට දිය යුතු ය. ලුණුවිල ගොටුකොළ තම්බා එම වතුර බීමටදීමත් යහපත් ය.

සරස්වතී අරිෂ්ඨය, බ්‍රහ්මී පැණිය ලබාදීම, යෝග්‍යවේ. ආහාරයට බත් සහ එළවළු හා කෙඳි සහිත එළවළු සමඟ ආහාර දීමත් ව්‍යායාමයක නිරත කිරීමත් සුබදායකය. යම් යම් අවස්ථාවලදී ඇතිවන කේන්තියාම්වලදී ඒවා ගැන නොසිතා ඔහුට ආදරයෙන් සැලකිය යුතු ය. ප්‍රතිකාර ලබාදීමෙන් එම තත්ත්වය සමථයකට පත්කරගත හැකි ය.

 

පී.ඩී. ගයාන් - වැල්ලමඩම

ප්‍රශ්නය

වෛද්‍යතුමනි, වයස හතළිස් එකක් වන මා වාහනයක යමින් අලෙවි නියෝජිතයකු වශයෙන් සේවය කරයි. දැනට සති දෙකක පමණ කාලයක සිට උදේ තේ එක බීවාට පසුව මගේ බඩේ දැවිල්ලක් එනවා. එමෙන්ම දහවල් කෑවම පස්සෙත් බඩ දනවා. මගේ රැකියාවේ හැටියට නියමිත වේලාවට කන්න ලැබෙන්නේ නැහැ. සමහර දිනවලට දවල්ට ලැබෙන දෙයක් කාලා ඉන්නවා. මේ තත්ත්වයෙන් මිදෙන්න ප්‍රතිකාරයක් කියන්න.

පිළිතුර

දැනට මස් වර්ග, තෙල් අධික ආහාර, කුළුබඩු වැඩියෙන් දමා සැකසූ ආහාර, ඇඹුල් සහිත ආහාර, පාන්, පිටි ආහාර, ආප්ප, ඉඳි ආප්ප, කට්ලට්ස්, පැටිස්, රෝල්ස්, පේස්ට්‍රි, බනිස්, කිඹුලා බනිස් කෑමෙන් වළකින්න. නියමිත වේලාවට ආහාර ගන්න. තේ කෝපි හා බීම වර්ග මත්පැන්, දුම්වැටි නතර කර සිත සන්සුන්ව හැසිරෙන්න. එළකිරි පානය කරන්න. මුං ඇට කොළ කැඳ, පිපිඤ්ඤා, කැකිරි, කොමඩු, පුහුල්, නෙළුම් අල, කොහිල අල සහ කොළ එළවළු, අළු කෙසෙල් ආහාරයට ගැනීම ඉතාම සුදුසුය. ආහාර වේලට එළවළු සමඟ කුඩා මාළු ඉතාම යෝග්‍යයයි. සහනයක් නොමැත්තේ නම් වෛද්‍යවරයකු වෙත ගොස් උපදෙස් මත ප්‍රතිකාරයක් ලබාගන්න.

අයන්ති - ජා ඇල

ප්‍රශ්නය

වෛද්‍යතුමනි, මා කෙසෙල් අලෙවි කරන වෙළඳසැළක් පවත්වාගෙන යයි. එහි මගේ දරුවන් කෙසෙල් ගෙඩි කෑමට නිතර දෙවේලේ එනවා. එය දකින වැඩිහිටියන් දරුවන්ට කෙසෙල් නොදෙන ලෙස කියනවා. ඔවුන් කෑමට පුරුදුව සිටින්නේ ඇඹුල් කෙසෙල්, ආනමාලු හා සීනි කෙසෙල්ය. මේ කෙසෙල් කෑමෙන් යම්කිසි රෝගී තත්ත්වයක් ඇතිවේදැයි කියා සැකයක් මතුවන බැවින් ඒ පිළිබඳ වෛද්‍යතුමාගෙන් පිළිතුරක් බලාපොරොත්තු වෙමි.

පිළිතුර

මොන කෑමක් වුණත් ඕනෑවට වඩා කෑවොත් අජීර්ණය හා උදරයේ රෝගාබාධ ඇතිවිය හැකියි. කෑමෙන් පසු කෙසෙල් ගෙඩියක් කෑම වරදක් නැත. ඇඹුල් කෙසෙල්වල විටමින් සී බහුලව අත. නමුත් සෙම් කෝප කරවන ගතියක් පවතින බැවින් ඇදුම, පීනස හා කැස්ස පවතින විටත් ඇඹුල් කෙසෙල් නොදිය යුතුය. රාත්‍රී කාලයේ දී ඇඹුල් කෙසෙල් ආහාරයට ගැනීම එතරම් සුදුසු නැත. ආනමාළු කෙසෙල් සීත ගතිය වැඩි කෙසෙල් වර්ගයකි. සෙම් රෝග ඇති අයට ආනමාළු නුසුදුසු ය. එහෙත් අර්ශස් හා බඩවැලේ තුවාල ඇති අයට අගුණයක් නැත. සීනි කෙසෙල් දරුවන්ට අගුණයක් නැත. සෙම් රෝග ඇති නොකරන අතර මාන්දම්, ක්ෂය රෝගය ආදී රෝග නසාලන ගුණයක් පවතී.

 

සුබෝධනී - නාවල

ප්‍රශ්නය

වෛද්‍යතුමනි, මට වයස දහතුනක, එකොළහක හා නවයක වයස්වල දරුවන් තිදෙනෙක් සිටිති. අවුරුදු නවයේ ඉන්නේ ගැහැනු දරුවාය. මේ දරුවන් තිදෙනාම කෑමට පි‍්‍රයක් දක්වන්නේ නැහැ. එක් කෙනෙක් බඩගින්න නැහැ කීවාම තුන් දෙනාටම බඩගිනි නැහැ කියනවා. ඒත් කිසිම කඩිසරකමක් දක්වන්නේත් නැහැ. ඔළුව රිදෙනවා කියල කියනවා. ගේ ළඟ තියෙන පාසලකට යන්නේ. පාසලට යනකොටත් එනකොටත් කකුල් රිදෙනවා කියනවා. තිදෙනාම එක වගේම කියන්නේ හරිම මහන්සියි කියලයි. අපේ ගේළඟ ඉඳල කිට්ටුවෙන් කඩයක් තියෙනවා. ඒ කඩේට ගිහිල්ල ආවත් කකුල් රිදෙනවා කියලා ඇඳට යනවා. දරුවන් තිදෙනාගේ මේ තත්ත්වය පිළිබඳ වෛද්‍යතුමාගෙන් පිළිතුරක් බලාපොරොත්තු වෙමි.

පිළිතුර

දරුවන්ගේ කෑමට මස්, මාළු, කරවල, හාල්මැස්සන් එකතු කරන්න. කතුරුමුරුංගා, සාරණ, නිවිති, ගොටුකොළ යන පලාවර්ග මෙන්ම අලුත් එළවළු ද සමඟ ළමයින්ට කෑමට දෙන්න. බෝංචි, කඩල, මුං ඇට, කවුපි, උඳු, සෝයා, බීට් වැනි ආහාර ද එකක් දෙකක් හෝ සමඟින් කෑම වේලට එකතු කරන්න. දෙහි ඇඹුල්, මිශ්‍ර කළ පලා කොළ සම්බෝලයක් හෝ මැල්ලුමක් ලබාදීමට ද අමතක නොකරන්න. කෑමට සූදානම් කරන ව්‍යංජනවලට දෙහි, සියඹලා, තක්කාලි එකතු කරන්න. තවදුරටත් දරුවන් පෙරමෙන් සිටී නම් ආයුර්වේද වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ගන්න.

 

කමලාද සිල්වා - පොල්හේන

ප්‍රශ්නය

වෛද්‍යතුමනි, මගේ විසි එක් හැවිරිදි දියණිය සාමාන්‍ය හැඩරුවකින් යුක්තව උසේ හැටියට මහතින් ද යුක්තව සිටියි. නමුත් දැන් ඇයගේ පැවැති රුවැති භාවයත් ශරීර පෙනුමත් අඩුවෙමින් තරබවක් ඇති වෙමින් පවතිනවා. එබැවින් සිහින් සිරුරක් ඇති කරන්නට උපදෙසක් වගේම ප්‍රතිකාරයක් ද ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි.

පිළිතුර -

සිරුර නිරෝගීව තබා ගැනීමට නම් හොඳට ජලය පානය කළ යුතුය. එය සුවපත් ශරීරයකට බෙහෙවින්ම අවශ්‍යයයි. සිරුරෙහි ඇති සෑම සෛලයක්ම නිරෝගීව තබමින් එහි හැඩය රැක ගැනීමට ජලය උදවුවේ. කිසිවිටකත් පැණිබීම වර්ග හෝ ක්ෂණික බීම බොන්න දෙන්න එපා. යුෂ හා බීම වර්ග පානය කිරීමෙන් සිරුරේ සීනි මට්ටම ඉහළ යයි. රුව රැක ගැනීමට අවශ්‍ය නම් ලුණු අධික කෑම වර්ග කෑමෙන් වළකින්න. සෝස්, අච්චාරු, ලුණු දෙහි ආහාරයට නොගත යුතු ය. අධික ලෙස කුළු බඩු යෙදූ ආහාර ගැනීම ද සීමා කරන්න.

අලුත් එළවළු හා පලතුරු ආහාරයට ගන්න. හැකි අයුරින් ව්‍යායාම්වල යෙදෙන්න. සුදු හඳුන් ඇල් දියෙන් පත්තුවක් සේ සාදා ඇඟ ගා ස්නානය කරන්න. අමු කහ ද ඇල්දියෙන් ගල ගා ස්නානය කිරීමෙන් සමේ පැහැපත් බව ඇති කෙරේ. දහවල් නිදා ගැනීම රාත්‍රී නිදි වැරීම වළකාගත යුතුය. තෙල් බැදුම්, තෙම්පරාදු හැකිතාක් ආහාරයට ගැනීමෙන් වළකින්න.

 

නයෝමි ප්‍රදිනන්දු - තිඹිරිගස්යාය

ප්‍රශ්නය

වෛද්‍යතුමනි, මම දරුවන් තිදෙනකුගේ මවක්. තුන්වැනි දරුවාට මේ වනවිට වයස හතක්. පිරිමි දරුවෙක්. ඒ දරුවා හරිම මහතයි. බෝල ගෙඩිය වගේ කියල විහිළුත් කරනවා. දරුවා කිසි තැනකට ගෙනියන්න තරම් අපහසුයි. ඒ තරමටම තරබාරුවටයි හැදෙන්නේ. දරුවාගේ මහත අඩුකරගැනීමට උපදෙසක් හෝ ප්‍රතිකාරයක් ලබාදෙන්න.

පිළිතුර

සමහර දරුවන් උපතින්ම තරබාරු වෙනවා. තවත් දරුවන් ඉපදුණාට පසුව තරබාරු වෙනවා. එහෙත් ප්‍රමාණයට වඩා තරබාරුවීම ලෙඩ රෝග රැසකටම හේතුවක්. වුවමනාවට වඩා ස්ථුලතාවයට පත්වීම අලසකමටත් හේතු වෙනවා. දරුවාට දෙනු ලබන මේද සහිත ආහාර මස් මාංශත් තරබාරුවීමට හේතුවක්. පැණි රස ආහාර වර්ග පැණිබීම, චොක්ලට්, අයිස් පලම්, අයිස් ක්‍රීම්, වටලප්පන්, කේක් වර්ග, පිටිකෑම, අධික තෙල් යෙදූ ආහාර වර්ග ලබාදීමෙන් වැළකෙන්න. එමෙන්ම සුළුවෙන් හෝ ව්‍යායාම්වල යෙදවීමට කටයුතු කරන්න. ගොරක, සුදුලූණු මිශ්‍ර ආහාර ලබාදීමට පියවරගන්න. ව්‍යංජන සකස් කරන විට ඒවා ටිකක් වැඩියෙන් යොදා සකස් කරන්න. දහවල් කාලයේ නිදා ගැනීම එක තැනම සිටිමින් රූපවාහිනි නැරඹීම ආදියද ටිකෙන් ටික අඩු කිරීමට පියවර ගන්න.

 

එස්.ඒ.ඩී. පියුමාල් - හොරණ

ප්‍රශ්නය

වෛද්‍යතුමනි, විසිදෙහැවිරිදි මගේ මල්ලී මගේ ගැරේජ් එකක සේවය කරයි. මෑතක සිට ඔහු පුදුමාකාර විදියට කම්මැළි ගතියෙන් පසුවෙනවා. යමක් කරන්න ගියාම ඉක්මනින්ම විඩාවට පත්වෙනවා. අධික ලෙස මහන්සි බවක් පෙනෙනවා. හතියක් වගේ ඇවිල්ල කරපු වැඩේ නවතා බලා ඉන්නවා. කලින් ඔහු කඩිසරව කරපු වැඩ කරන්නෙ නැති එක ප්‍රශ්නයක්. කරුණාකර මේ ගැන ඔබතුමාගේ උපදෙස් බලාපොරොත්තු වෙනවා.

පිළිතුර

රෝගී විස්තරය අනුව නම් ඔබේ සහෝදරයාට ආහාරවලින් ලැබිය යුතු පෝෂණ අඩුවීම නිසයි මේ තත්ත්වයට පත්ව සිටින්නේ. එම නිසා යකඩ අඩංගු ආහාර ලබාදිය යුතුයි. මස් මාළු වගේම විටමින් සී බහුල අලුත් එළවළු සහ පලතුරු ආහාරයට ලබා දෙන්න. ආහාර සූදානම් කිරීමේ දී සියඹලා, තක්කාලි වැනි දේද එක්කරන්න. කඩල, මුං ඇට වැනි ධාන්‍ය වර්ග පෙඟෙන්නට හැර සාදා ආහාරයට දෙන්න. තේ කෝපි පානය සීමා කරන්න.

 

ඩබ්ලිව්.යූ.කේ. නලීන් - පාදුක්ක

ප්‍රශ්නය

වෛද්‍යතුමනි, මා තිස් අට හැවිරිදි විවාහක අයෙකි. දිනපතා උදේට කිලෝමීටර් විස්සක පමණ දුරක් මම රැකියාව සඳහා යන්නේ බස් රථයකිනි. එසේ යන විට මගේ ඇඟ දහඩියෙන් තෙත් වෙනවා. ඇඳ සිටින ෂර්ට් එක සම්පූර්ණයෙන්ම තෙත් වනවා. අව්වක්, වැස්සක් කියා වෙනසක් නැහැ. පුදුම විදියේ දහඩියක් තමයි දමන්නේ. මේ තත්ත්වය නවතා ගැනීමට ප්‍රතිකාරයක් හෝ උපදෙසක් ලබා දෙන්න.

පිළිතුර

ඔබේ ශරීරයේ පවතින දහඩිය ගතිය දාහය මුළු සිරුර පුරාම ඇතිවිය හැකියි. මෙය පිත්දෝෂ ප්‍රබලවීමෙන් හටගත හැකි රෝගයක්. මේ දැවිල්ල ඇස්වල හිසේ එකලෙසින්ම පවතී. කඩිනමින් සමනය කර ගැනීමට ක්‍රියා කළ යුතුයි. මේ රෝගී තත්ත්වය ඇතිවීමට හේතු වන්නේ ආහාරමය හේතූන්ය. කෘත්‍රිම රසකාරක, මත්පැන්, තක්කාලි, අච්චාරු, විනාකිරි, දැල්ලෝ, ඉස්සෝ, කකුළුවෝ අධික ලෙස ආහාරයට ගැනීමයි ශරීර දාහයට හේතුව. පිපිඤ්ඤා, කැකිරි, පතෝල, වැටකොළු වැනි එළවළු වැඩිපුර ආහාරයට එකතු කර ගන්න. කොළ කැඳ ඉතාම ගුණදායකයි. ඉරමුසු, බෙලිමල් තම්බා බීමට ගන්න. ආයුර්වේද වෛද්‍යවරයකු වෙත ගොස් ප්‍රතිකාර ගන්න.

 

ඡ්‍යොතිෂවේදී බී. ඇල්. ප්‍රේමරත්න

ආයුර්වේද වෛද්‍ය

සුමිත් රාජපුර

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.