උකුල් සන්ධිය පැනීම හෙවත් Hip Joint Dislocation

නොවැම්බර් 1, 2024

සන්ධි වර්ග කිරීමට අනුව ගෝල කුහර (Ball & Socket )  වර්ගයට ගැනෙන උකුල් සන්ධිය පහළ ගාත්‍රවල තිබෙන චලන පරාසය වැඩිම සන්ධිය ලෙස දක්වන්නට පුළුවන්. මේ චලන පරාසය වැඩි නිසා ස්වභාවිකවම සන්ධියේ ස්ථාවරභාවය අඩුවෙනවා.

එම නිසා සන්ධියට එල්ලවන පීඩනවලදී සන්ධිය පැනීමේ හැකියාවක් පවතිනවා. උකුල් අස්ථියේ පවතින Acetabulum නම් කුහරයට ඌරුවී අස්ථිය හෙවත් Femur Bone  හි හිස කොටස සම්බන්ධ වීමෙන් උකුල් සන්ධිය නිර්මාණය වනවා. පීඩනය එල්ල වන අවස්ථාවලදී ඌරුවී අස්ථියේ හිස කොටස Acetabulum නම් කුහරයෙන් ඉවතට පැනීම හෙවත් විස්ථාපනය වීම සිදුවනවා.

උකුල් සන්ධිය විස්ථාපනය වන ප්‍රධාන ආකාර

උකුල් සන්ධියට සිදුවන විස්ථාපනය උපතේදී සිදුවන විස්ථාපන සහ අනතුරුවලින් සිදුවන විස්ථාපන ලෙස ප්‍රධාන කොටස් දෙකකට වර්ග කරන්නට පුළුවන්.

උපතේදී සිදුවන උකුල් සන්දි විස්ථාපනය හෙවත් Congenital Hip Dislocation  නම් තත්ත්වය උපතේදී කලවාස්තියේ දික් කොටස් නිවැරදිව වර්ධනය නොවීම හෙවත් Development Dysplasia of Hip  නම් රෝගී තත්ත්වය නිසා සිදුවනවා.

අනතුරු මඟින් සිදුවන උකුල් සන්ධියේ විස්ථාපන ප්‍රධාන ආකාර තුනකට වෙන්කර දක්වන්නට පුළුවන්.

1. පිටුපසට සිදුවන සන්දි විස්ථාපනය (හෙවත්  Posterior Dislocation). මෙය ප්‍රධානම විස්ථාපන ආකාරය වෙනවා. උකුල් සන්ධිය ඇතුළට කරකැවීම, ඉදිරියට නැවීම සහ ඇතුළට ගමන් කිරීම වැනි චලන ආශ්‍රිතව සිදුවන අනතුරුවලදී මේ ආකාරයේ විස්ථාපන ඇතිවන්නට පුළුවන්.

2. ඉදිරියට සිදුවන විස්ථාපනය (හෙවත් Anterior Dislocation) උකුල් සන්ධිය ශරීරයෙන් ඉවතට යෑම සහ පිටුපසට යෑම ආශ්‍රිතව සිදුවන අනතුරුවලදී හට ගන්නවා. උකුල සන්ධිය ආශ්‍රිතව ඇතිවන විස්ථාපනවලින් 10%-15% පමණ මීට අදාළ වනවා.

3. මධ්‍යස්ථ විස්ථාපනය. (හෙවත් Central Dislocations).  මේ තත්ත්වයේදී උකුල් අස්ථියේ ඒජඥබචඡභතභථ නම් කොටස බිඳීමකට ලක්වීම බොහෝවිට සිදුවනවා.

උකුල් සන්ධිය වටා පවතින ඝනකම් පේශි ස්ථර නිසා විස්ථාපනයක් ඇතිවීම සඳහා සැලකිය යුතු පීඩනයක් සන්ධිය මත ඇතිවිය යුතුයි. එම නිසා විස්ථාපනයට ප්‍රධාන හේතු ලෙස මෝටර් රථ ඇතුළු වාහනවල හැපීම, ක්‍රීඩාවලදී සිදුවන අනතුරු, යතුරුපැදිවලින් වැටීම සහ ගස් සහ වහල වැනි සැලකිය යුතු උසකින් බිම පතිත වීම දක්වන්නට පුළුවන්.

 

උකුල් සන්ධිය විස්ථාපනයකදී ඇතිවන රෝග ලක්ෂණ

උකුල් සන්ධියේ ඇතිවන අධික වේදනාව

අනතුරට පත් වූ උකුල් සන්ධි ආශ්‍රිතව සමෙහි ඇතිවන නිල් පැහැ කළු පැහැ අවර්ණ වීම.

අනතුරට පත් වූ උකුල් සන්ධියේ ඇතිවන ඉක්මන් ඉදිමීම.

අනතුරට පත් වූ උකුල් සන්ධිය ආශ්‍රිතව මාංශ පේශීවල ඇතිවන අනවශ්‍ය තද ස්වභාවය හෙවත් Muscles Spasms .

අනතුරට පත් වූ කකුල අනවශ්‍ය පරිදි ඇතුළට හෝ පිටතට කරකැවී පිහිටීම.

අනතුරට පත් වූ කකුල චලනය කිරීමට අපහසු වීම.

අනතුරට පත් වූ කකුල බිම තබා ඇවිදීමට අපහසු වීම.

උකුල් සන්ධිය පිටතට පැන ඇති බව බාහිරින් බැලූ විට පෙනීම.

අනතුරට පත්වූ කකුලේ සහ පතුලේ ඇතිවන සංවේදන දුර්වලතාවයන්.

 

ප්‍රතිකාර

ඉතා ඉක්මනින්ම ප්‍රතිකාර කළ යුතු තත්ත්වයක් ලෙස උකුල් සන්ධි විස්ථාපනය හෙවත් පැනීම් දක්වන්නට පුළුවන්. හැකි ඉක්මනින් ප්‍රතිකාර නොකිරීම සහ නිවැරැදි අන්දමින් ප්‍රතිකාර නොකිරීම නිසා මේ විස්ථාපනය ආශ්‍රිතව මෘදු පටක හානි වීම්, සන්ධි කැප්සියුලයට හානි වීම් සහ සමහර අවස්ථාවලදී ස්නායු ආශ්‍රිත ගැටලු ද ඇතිවන්නට පුළුවන්. එම නිසා අනතුරකදී හෝ උඩින් වැටීමකදී ඉහතින් සඳහන් කර තිබෙන රෝග ලක්ෂණ දක්නට ලැබේ නම් හැකි ඉක්මනින් රෝගියාව වෛද්‍යවරයෙකු වෙත ගෙන යා යුතුයි. රෝගියා සිටගෙන සිටින ආකාරය සහ ඇවිදගෙන එන ආකාරයත් අනතුර සිදු වූ ආකාරය පිළිබඳ ස්තරයත් අනුව උකුල් සන්ධියේ පැනීම් හෙවත් විස්ථාපන නිවැරැදිව රෝග විනිශ්චය කළ යුතු වනවා. රෝග විනිශ්චයෙන් පසුව රෝගියාගේ උකුල නිවැරදි පරිදි ස්ථානගත කොට විස්ථාපනය වූ සන්ධිය නැවත නියමිත පිහිටුමට හෙවත් Acetabulum වෙත අන්තර්ගත කළ යුතු වෙනවා. මේ සන්ධි ප්‍රතිස්ථාපනය (Reducing )  සඳහා රෝගියා හිටගෙන සිටීමේ සහ දිගාවීමේ ඉරියව්වලින් විවිධ පාරම්පරික කැඩුම් බිඳුම් ප්‍රතිකර්ම තාක්ෂණික ක්‍රම භාවිත කරන්නට පුළුවන්. ඉන්පසුව සිදුකරන තෛල ප්‍රතිකර්ම ද පසුව පත්තු දැමීම ද සිදු කරනවා. පත්තු දැමීම සිදුකිරීමෙන් පසුව යම් නිශ්චිත කාලයක් යනතුරු ක්‍රමානුකූලව නැවත නැවත පත්තු මාරු කිරීම සිදු කළ යුතු අතර අනතුරට ලක් වූ කකුලේ අඩිය බිම තබා ඇවිදීමෙන් රෝගියා වැළකිය යුතුයි. ප්‍රතිකාරවල අවසන් භාගයේදී මාංශ පේශි දුර්වලතාවයන් සහ උකුල් සන්ධියේ පවතින තද ස්වභාවය වළක්වා ගැනීමට නියමිත උපදෙස් පරිදි විවිධ ව්‍යායාම වර්ග සිදුකිරීම අත්‍යවශ්‍යයි. මේ ආශ්‍රිතව ගැටලුවක් තිබෙන විට පාරම්පරික චීන කටු වෛද්‍ය ප්‍රතිකාරද භාවිත කරන්නට පුළුවන්.

 

ප්‍රථමාධාර

විස්ථාපනයට ලක් වූ උකුල් සන්ධිය හැකිතාක් නිශ්චලව තබා ගැනීමට කටයුතු කරන්න.

උකුල් සන්ධියේ විස්ථාපනය වී බාහිරින් විකලාංගතාවයක් පෙන්වන ලෙස පවතී නම් එය නිවැරදි කිරීමට නොයන්න .

රෝගියා සිටුවීමට හෝ වෛද්‍යවරයා වෙත ගෙනයාමේදී සන්ධි විස්ථාපනය වූ කකුලට අනවශ්‍යට පීඩනයක් ඇති නොවන කටයුතු කරන්න.

වෛද්‍යවරයා වෙත ගෙන යන තෙක් අනතුරට ලක් ලක් වූ උකුල් සන්ධියට ධ්ජඥ තැබීම සිදු කරන්න. මෙය වරකට මිනිත්තු 20ක් පමණ පැය දෙකකට වරක් ප්‍රතිකාර සඳහා ගෙන යන තෙක් කිරීම යෝග්‍ය වෙනවා.

අනතුරේ ස්වභාවය සහ අනතුර සිදු වූ ආකාරය නිවැරදිව වෛද්‍යවරයාට දැන්වීම ප්‍රතිකාරවලදී වඩාත් පහසු වන බව මතක තබාගන්න.

 

පාරම්පරික සර්වාංග

කැඩුම් බිදුම් විශේෂ

වෛද්‍ය ජෙනාඩ් භානුක ධර්මප්‍රිය

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.