සුබසෙත සුවසෙත

සැප්තැම්බර් 13, 2024

 

ඒ.කේ. මොහොට්ටි - රත්මලාන

ප්‍රශ්නය

වෛද්‍යතුමනි, තිස්දෙහැවිරිදි මා මැහුම් ආයතනයක සේවය කරන සේවිකාවක්මි. දින කීපයක සිට මගේ දකුණුූ අත පැත්තේ උරහිසින් දැඩි වේදනාවක් දැනෙනවා. ඒ වෙලාවට තද කේන්ති ගතියකුත් එනවා. මගේ රැකියාවේ ස්වභාවය වන්නේ දකුණු අතින් සියලු ක්‍රියාකාරකම්වල නිරතවීමයි. උරහිසේ වේදනාවට දොස්තර මහත්තයෙක් ක්‍රීම් එකක්, පෙති හා කරල් කීපයකුත් බොන්න දුන්නා. ඉන් සුවයක් ලැබුණේ නැහැ. උරහිසේ වේදනාව අඩුකර සුවයක් ලබා ගැනීමට බෙහෙතක් ලබා දෙන්න.

 

පිළිතුර

උරහිස් වේදනාව සමඟම අත්පාවල නැමෙන දිග හැරෙන තැන්වලත් වේදනාව ඇතිවිය හැකිය. අධික ලෙස මහන්සි වන වෙහෙසට පත්කෙරෙන රැකියාවල යෙදී සිටින අයට මේ රෝගී තත්ත්වය බෙහෙවින් පවතී. වයස්ගත වීමේදී මේ රෝගී තත්ත්වය ඇති වෙනවා. උරහිස් වේදනාව පවතින විට උෂ්ණාධික ආහාර ගැනීමෙන් වැළකී සිටිය යුතුයි. නිදාගන්නා විට උරහිසට බරක්, අපහසුතාවක් නොවන අයුරින් නිදාගත යුතුයි. උඳු, සුදුලූනු සමඟින් එළඟිතෙල් මිශ්‍ර ආහාර ගැනීමට කටයුතු කළ යුතුයි.

වඩාත්ම සුදුසු ආයුර්වේද වෛද්‍යවරයකු වෙත ගොස් ප්‍රතිකාර ගැනීමය. එතෙක් මේ ප්‍රතිකාර කරන්න. නාරායන තෛලය, අශ්වගන්ධ තෛලය ටිකක් රැගෙන උරහිසේ පහළ සිට ඉහළට අතින් පිරිමදිමින් ගාන්න. බෙහෙත් තෙල් සොයා ගන්නා තාක් මීතෙල්, එඬරු තෙල් වුවද සුදුසුය. කොල්ලු, සුදුලූනු, බැවිල හා අරත්ත තම්බා බීමෙන් ද සහනයක් ලබාගත හැකිය. එමෙන්ම පෙණෙළකොළ, හාතාවාරිය, කැඳ බීමෙන් වේදනාව අඩු කරගත හැකිය.

 

කේෂාන් - පොල්වත්ත

ප්‍රශ්නය

වෛද්‍යතුමනි

මා බඩු බෙදාහරින ආයතනයක සේවය කරන විසිඅට හැවිරිදි තරුණයෙකි. මගේ සේවය වන්නේ උදේට වාහනයට ගොඩවුණාම රෑ හත අට විතර වෙනකම් එහාට මෙහාට යමින් බඩු බෙදා හැරීමයි. දැන් සති කීපයක සිට මට බඩදැවිල්ලක් එනවා. වාඩිවෙලා ඉන්න බැරිතරමටම වේදනාව. හැබැයි නියමිත වේලාවකට කෑම ගන්න ලැබෙන්නේ නම් නැහැ. රැකියාව කරන ගමන් පාවිච්චි කළ හැකි ප්‍රතිකාරයක් ඇත්නම් වඩාත්ම සුදුසුයි.

 

පිළිතුර

මොන රැකියාවේ යෙදී සිටියත් නියමිත වේලාවට ආහාරගත යුතුයි. කලක් මේ අයුරින් ආහාර ගැනීම පමා කළහොත් ඇතිවන රෝග ලක්ෂණ අනුව ප්‍රතිකාර ගත යුතුය. නැතහොත් ආමාශයට හානි සිදුවිය හැකිය. අධික කුළුබඩු, අධික ඇඹුල් රස, තෙල් ආහාර අධිකව ගැනීම නතර කළ යුතුය. මත්පැන් හා දුම්බීමත් අහිතකරයි. ඔබට ඇත්තේ අම්ලපිත්ත රෝගයයි. බඩේ දැවිල්ල වළක්වා ගැනීමට නියමිත වේලාවට ආහාරගත යුතුය. මස් වර්ග, තෙල් අධික ආහාර, පාන් පිටිවලින් සාදන ලද ඉඳිආප්ප, කට්ලට්ස්, පැටිස්, රෝල්ස්, පේ‍්‍රසට්‍රි වැනි කෑමෙන් ද වැළකී සිටිය යුතුය.

යෝගට් ගැනීම, කිරිමෝරු ගැනීම වඩාත් සුදුසුයි. හිස්බඩට ඇල්වතුර පානය කිරීම, බෙලිගැට තම්බා බීම, බෙලි මද මීපැණි සමඟ ආහාරයට ගැනීම, බෙලි දියකර මී පැණි සමඟ බීම, බෙලි මද පවනේ වියළා කුඩු කර සීනි දමා හිස්බඩට කෑම, කුරුම්බා, තැඹිලි වතුර ලොඳ සමඟ බීම සුවදායකය. මේ ප්‍රතිකාරවලට සුවයක් නැත්නම් ආයුර්වේද වෛද්‍යවරයකුගේ ප්‍රතිකාර ලබාගන්න.

 

සුරංගනී - පිළිමතලාව

ප්‍රශ්නය

වෛද්‍යතුමනි. මම කර්මාන්තායතනයක සේවය කරන කාන්තාවක්මි. එම ආයතනයේම වැඩ පාලකවරයකු සමඟ පේ‍්‍රම සම්බන්ධතාවක් පවත්වාගෙන යයි. මෑතක සිට ඔහුගේ සිරුරේ අධික දුර්ගන්ධයක් පවතී. ඔහු ඒ නිසා දිනකට දෙතුන්වරක් ස්නානය කරයි. නැතහොත් ඇඟ සෝදා සුවඳ විලවුන් හෝ පියර දමා ගනියි. ඒත් ඉන් දුර්ගන්ධය ඉවත් වන බවක් නොපෙනේ. එබැවින් කරුණාකර එම දුර්ගන්ධය ඉවත්කර ගැනීමට ප්‍රතිකාරයක් ලබා දෙන්න.

පිළිතුර

ඔබ අප සැම කෙනකුගේම සිරුරෙන් වහනය වන ගන්ධයක් පවතී. ඒත් එම ගන්ධය ඉක්මවා ඉතා අප්‍රසන්නභාවයක් ඇති කරන ගන්ධය වන්නේ දහඩිය ගන්ධයයි. එවැනි ගන්ධය පවතින විට බොහෝ දෙනකු සිදුකරන්නේ සුවඳ විලවුන් හෝ ඕඩිකොලොන් ඇඟ ගැල්වීමයි. එය සුළු මොහොතකට පමණක් සීමා වේ. ගන්ධයට හේතුවන දහඩිය පවතින්නේ කිහිලි හා ඉකිලි ප්‍රදේශයන්හිය. ඉකිලිවලින් ඇතිවන දහඩිය බොහෝවේලාවක් තිබීමෙන් ඉන් දුර්ගන්ධය පැතිරේ. දහඩිය පවතින විට කිහිලි ප්‍රදේශය නිතරම පිසදා වියළි බව ඇතිකර ගැනීමට පියවර ගත යුතුය.

බෙලිකොළ තම්බා ගත් වතුරෙන් ඇඟ සෝදන්න. බෙලිකොළ හා බෙලිකොළ, දලු ඇල්දියෙන් අඹරා ක්‍රීම් මෙන් ඇඟ පුරා ආලේප කර ටික වේලාවක් සිට ස්නානය කරන්න. සුදුහඳුන් සම පිරිසුදු කර ගැනීමට මෙන්ම සමේ දුගඳ නැතිකර ගැනීමටත් හේතුවේ. සුදුහඳුන් කුඩු දෙහි ඇඹුලින් අනා මුහුණේ හා ඇඟේ ආලේප කර ස්නානය කරන්න. ඉන් සමේ පැහැපත් බව ද ඇතිවේ. ඉරමුසු, පොල්පලා, බෙලිමල්, රණවරා, උණුකර තේ පැන් මෙන් සතියකට එක්වරක් හෝ පානය කිරීමෙන් ද දුගඳ නැතිවේ. අධික ලුණු මිශ්‍ර ආහාර වගේම තෙල් අධික ආහාරත් තෙල් පිටි, සීනි ආහාරත් හැකි පමණින් කෑමට ගැනීම අඩුකරන්න. එළවළු, පලතුරු වැඩියෙන් ආහාරයට ගැනීමෙන් පවතින දුර්ගන්ධය සමතයකට පත්වේ.

 

කේ.ඒ. ඩී. එස්. සිල්වා - හොරේකැලේ

ප්‍රශ්නය

වෛද්‍යතුමනි, අවුරුදු එකොළහක්වන මගේ දරුවා හත්වන වසරේ ඉගෙනුම ලබයි. ඉගෙනුමටත් ක්‍රීඩාවටත් පාසලේ අමතර කටයුතුවලටත් කැමැත්තෙන් සිටි එම දරුවා දැන් දැන් ඒවා මගහරිමින් සිටියි. නිදිමත ගතියත් හා කම්මැළි ගතියක් පෙනේ. වරෙක හිස කකියනවාලු හිස මොකද්ද වගේ වෙනවාලු. ඇඟට පණ නැති වගේලු. මොනවා කීවත් මට මුකුත් කරන්න බැහැ, ඇඟට වෙහෙසයි කියලත් කියනවා. එබැවින් වෛද්‍යතුමනි මේ තත්ත්වය මගහරවා ගැනීමට උපදෙසක් හෝ ප්‍රතිකාරයක් ලබා දෙන්න.

 

පිළිතුර

දරුවා යකඩ ඌනතාවයෙන් පෙළෙන නිසා මේ තත්ත්වයට පත්ව තිබෙනවා. බොහෝ විට අධ්‍යාපන කටයුතුවලට තිබුණු උනන්දුව නැති විය හැකියි. මෙය තවදුරටත් පැවතියහොත් දරුණු රෝගී තත්ත්වයකට පවා එන්න පුළුවන්. එබැවින් මුලින්ම කළ යුත්තේ යකඩ මිශ්‍ර ආහාර කෑම වේලට එක්කිරීමයි. මස්, මාළු, කරවල, හාල්මැස්සන් ආහාරයට එක්කළ යුතුය. දෙවැනුව කතුරුමුරුංගා, සාරණ, නිවිති, ගොටුකොළ, තම්පලා, තද කොළ පැහැති පලා වර්ග වගේම නැවුම් එළවළු වර්ගත් කෑම වේලට එක් කළ යුතුයි. බෝංචි, සෝයා බෝංචි, කඩල, මුංඇට, කවුපි, පරිප්පු, උඳු, බිත්තර කෑම වේලෙන් වේලට වර්ග දෙකක් හෝ දෙක තුනක් හෝ දෙන්න. කෑමෙන් පසු පැය දෙකක් වත් යනතුරු තේ, කෝපි, පිටි කිරි බීමට දෙන්න එපා. තේ, කෝපි, පිටිකිරි දීමෙන් යකඩ, ශරීරය උරාගැනීම නවතාලිය හැකියි. කෑමෙන් පසු තේ, කෝපි, පිටි කිරි වර්ග දීම සම්පූර්ණයෙන්ම නවතාලීම නීරෝගීභාවයට හේතුවකි. කෑමට සූදානම් කරන මස්, මාළු, එළවළු වලට සලාදවලට දෙහි, සියඹලා, තක්කාලි එක්කිරීමෙන් නිසි ගුණාත්මක භාවයක් ලැබේ. යකඩ බහුල ආහාර දරුවාට දීමෙන් යකඩ ඌණතාවය ඉවත් කර ගත හැකිය.

 

පුෂ්පිකා, ගීතානි, වයලා - සීදුව

ප්‍රශ්නය

වෛද්‍යතුමනි, ඉහත නම් සඳහ අප තුන්දෙනා පෞද්ගලික ආයතනයක සේවයකරන මිතුරියන් තිදෙනෙකි. දිවා ආහාරය ගැනීමෙන් පසු අපි සතියකට දිනක් දෙකක් අන්නාසි කනවා. පසුවදාට අපේ ඇගේ පලුදානවා කසනවා, උගුර කසනවා, ඇස් රතු වෙනවා. කඳුළුත් එනවා, අන්නාසි කෑවොත් විතරයි. එහෙම වෙන්නේ වෛද්‍යතුමාගෙන් පිළිතුරක් බලාපොරොත්තු වෙමු.

 

පිළිතුර

මෙවෙනි රෝගී තත්ත්වයන් ඇතිවෙන්නේ අන්නාසි වැඩියෙන් කෑමෙනුයි. ඒ නිසා අන්නාසි කෑම සීමා කරන්න. දිනකට අන්නාසි කෑලි දෙකතුනක් කෑම අහිතකරයි. අන්නාසි හොඳ ගුණාත්මක ඖෂධයක් එය ඔබ තිදෙනාට අපත්‍ය වී ඇත්තේ පුරුද්දක් වශයෙන් දිනපතා කෑමට ගන්නා නිසයි. අන්නාසිවල ප්‍රෝටීන් ග්‍රෑම් 0.4 ද කැල්සියම් මිලිග්‍රෑම් 20 ද ශක්තිය කැලරි 46000ද විටමින් සී මිලිග්‍රෑම් 39.0 ද ප්‍රෝටීන් ග්‍රෑම් 4.0 ද පවතින වටිනා ඖෂධයකි.

ලක්මිණි - තිඹිරිගස්යාය

ප්‍රශ්නය

වෛද්‍යතුමනි තිස්දෙහැවිරිදි මා පළමු දරුවා ලැබෙන්න ඉන්නා ගැබිනියෙකි. මගේ මිතුරියන් මෙන්ම නෑදැයන්ද නීරෝගී දරු උපතක් සඳහා කාබී සිත සතුටින් සිටිය යුතු බව කියමින් කෑම වර්ග කැවිලි වගේම සීනිකෑමද ගෙනැත් දෙනවා. කොපමණ කෑම වර්ග ලබා දුන්නත් දරු උපතකට සුදුසු කෑම වර්ග පිළිබඳව එතරම් අවබෝධයක් දැනුමක් මා හට නැත. එබැවින් වඩාත්ම සුදුසුවන කෑම පිළිබඳ තොරතුරුක් ලබාදෙන මෙන් ඉල්ලමි.

 

පිළිතුර

අලුත් එළවළු, පලතුරු වර්ග පලාවර්ග වගේම පානවර්ගද ආහාරයට ගැනීමට ආසාවක් ඇත්නම් ඒවා ගැනීමේ වරදක් නැත. සීතල ආහාර වර්ග වගේම තැඹිලි හා දොඩම් සමහර ගැබිනියන්ට අගුණ වේ. ඒ ඉන් සෙම ගතියක් ඇතිවන බැවිනි. ඉස්සන්, කකුළුවන්, දැල්ලන් වැනි මාළු වර්ග උෂ්ණ බවෙන් ඉහළයි. මේ මාළුවල පවතින අසාමාන්‍ය ප්‍රෝටීන් වර්ග හේතුවෙන් සමහර ගැබිනියන්ට පාචන තත්ත්වයක් හෙවත් බඩබුරුල්ව යාම සාමාන්‍ය හුස්ම ගැනීමේ අපහසුවක් ඇතිවීමක්ද වෙයි. කෙසේ වෙතත් මේවා ඇති වූ ආශාවක් නිසා යයි සිතා වැඩි වැඩියෙන් ආහාරයට ගැනීම කොහෙත්ම සුදුසු නැත. එය කුසේ සිටින දරුවාට ද අහිතකර ලෙස බලපෑ හැකිය. වර්ණකාරක යෙදු කල්තබාගත් කෘතිම රසකාරක යෙදු ආහාර වගේම ගැඹුරු තෙලේ බදින ලද ආහාර වර්ග මෙන්ම සීනි අධිකව යෙදූ ආහාර, බීම වර්ග වගේම පැණිරස බිස්කට් වර්ගද ගැබිනියකට එතරම් සුදුසු නැත.

 

නිවේෂිකා - පානදුර

ප්‍රශ්නය

වෛද්‍යතුමනි මම දසවන වසෙර් ඉගෙනුම ලබන ශිෂ්‍යාවකි. පන්තියේ පාඩම් අහන් සිටින විටත් පිළිතුර ලියනවිටත් නිදිමත එනවා. නිතරම නිදිමතයි. ගෙදර ඉන්න කොටනම් පාසලේදී විතර නිදිමත එන්නේ නැහැ. මෙය රෝගී තත්ත්වයක්ද එසේ නම් කළ යුත්තේ කුමක්ද කියා පහදා දෙන්න.

 

පිළිතුර

රාත්‍රි කාලයේදී නිදි මරමින් පාඩම් කරන විටත් නැතහොත් මහ රෑ වෙනකම් රූපවාහිනිය බලන විටත් මෙසේ වෙන්න පුළුවන්. සමහරවිට ඇස්වල දුර්වලතා පවතින විටත් දහවල් කාලයේදී නිදිමත ඇතිවන්නට පුළුවන්. ඇස්වලට විවේකයක් නොමැතිවීමත් මෙසේ විය හැකියි. තරබාරු ශරීරයකින් යුක්ත නම් නිදිමත ගතිය ඒමේ ප්‍රවණතාවය වැඩියි. කෙසේ වෙතත් මේ තත්ත්වය දිගටම පවතී නම් වෛද්‍යවරයකුට පවසා ප්‍රතිකාර ගැනීම සුදුසුයි. රූපවාහිනිය බැලීමට හෝ පොත්පත් බැලීම හෝ ආගිය කථා කියමින් නිදිමැරීම් අවම කළහොත් යම් සහනයක් දහවල් කාලයේ නිදාවැටීම නවතා ගත හැකිය.

ආයුර්වේද වෛද්‍ය සුමිත් රාජපුර

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.