අපේ රටේ වෙදකම්

ජුනි 14, 2024

මිහිතලය මත ජීවින්ගේ වාසය ආරම්භවීමත් සමඟ ඔවුන් තමන්ට වැලඳෙන රෝගාබාධ සඳහා තම වටපිටාවේ තිබෙන සම්පත් උපයෝගී කර ගැනීමට හුරුපුරුදු විය. මෙම ජීවින් අතරින් විශේෂයෙන්ම මිනිසා රෝග වළක්වා ගැනීමටත් වැලඳුණු රෝග සුවකර ගැනීමටත් හුරු පුරුදු විය.

විවිධ වෛද්‍ය ක්‍රම වශයෙන් අද ලොව තුළ දක්නට ලැබෙන්නේ. මේ ක්‍රියාදාමයන්ගේ ප්‍රතිඵලයි. එසේ බිහිවූ වෛද්‍ය ක්‍රම කිහිපයක් අද අපේ රටේ දක්නට ලැබේ. ඒවානම්,

ආයුර්වේද වෛද්‍ය ක්‍රමය, දේශීය වෛද්‍ය ක්‍රමය, සිද්ධ වෛද්‍ය ක්‍රමය, යුනානි වෛද්‍ය ක්‍රමය බටහිර වෛද්‍ය ක්‍රමය වේ.

ආයුර්වේදය ජීවියා දකින්නේ කෙසේද?

මිනිසා යනු හුදෙක් භෞතික සිරුරක් පමණක් නොව ශාරීරික හා මානසික යන කොටස් දෙකෙහිම එකතුවක් බව සඳහන් වන අතර එසේම මිනිසා යනු ස්වභාවධර්මයේම අංගයක් විනා ස්වභාවධර්මයෙන් වෙන්කර ගත් කොටසක් නොවන බව ආයුර්වේද මතය වේ. මේ අනුව ආයුර්වේදය ස්වභාව ධර්මයට සමීප වූ විද්‍යාවකි. ස්වභාවධර්මයේ සිදුවන්නා වූ සෑම දෙයක්ම සෑම ක්‍රියාවක්ම ජීවියා තුළත් සිදු වේ.

හිරු හා වාතය යන ස්වභාවික බලවේග මඟින් ස්වභාවධර්මය පාලනය වන්නා සේ වා, පිත, සෙම් යන තුන්දොස් මඟින් ජෛවි සිරුරේ රිද්මය පාලනය වන බව ආයුර්වේදයේ සඳහන් වේ.

මේ අනුව ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තම වටපිටාවේ පවතින සම්පත් උපයෝගී කර ගනිමින් ස්වභාවධර්මයට අනුරූපව බිහිවූ දිගු කලක් නීරෝගිමත්ව ජීවත්වීමට මඟපෙන්වන විද්‍යාවක් ලෙස හඳුන්වා දිය හැකිය.

ආයුර්වේදයේ මූලික පරමාර්ථ දෙකකි

1) ස්වස්ථ සංරක්ෂණය හෙවත් නීරෝගි පුද්ගලයාගේ සුවතාව ආරක්ෂා කිරීම

2) ආතුර රෝගවලට ප්‍රතිකාර කිරීම

ආයුර්වේද වෛද්‍ය ක්‍රමය

දීර්ඝ කාලයක් නීරෝගිමත්ව මඟ පෙන්වන විද්‍යාව ශාස්ත්‍රයක් ලෙස ආයුර්වේදය හඳුන්වා දිය හැකිය. ආයුර්වේදය වෛද්‍ය ක්‍රමයේ මූලාරම්භය උතුරු ඉන්දියාවේ සිදුවී ඇත. ඉන්දියාවේ බිහිවූ නොයෙක් ශාස්ත්‍රයන් භාරතීය දර්ශනයන්ගෙන් බලපෑමට බඳුන් වී ඇත.

එසේම සෑම ශාස්ත්‍රයකටම දේවත්වය ද ආරෝපණය කර ඇත. මේ අනුව ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ මූලිකයා මහා බ්‍රහ්මයායි. එතැන් සිට ඔහුගෙන් දෙවිවරුන්ටත් දෙවිවරුන්ගෙන් මිනිසාටත් ආයුර්වේදය පැමිණි බව පුරාවෘත්තයේ සඳහන් වේ.

දේශීය වෛද්‍ය ක්‍රමය

දේශීය වෛද්‍ය ක්‍රමය අපේ රටටම ආවේණික වූ වෛද්‍ය ක්‍රමයයි. විශේෂයෙන් අපේ රටේ ඖෂධ පැළෑටි හා ස්වාභාවික සම්පත් උපයෝගී කරගෙන ප්‍රතිකාර කරනු ලබන වෛද්‍ය ක්‍රමයකි. කැඩුම් බිඳුම් සර්ප විෂ අක්ෂි රෝග ගෙඩි, වණ, විදුම් පිළිස්සුම්, උමතු රෝග, මාන්දම් රෝග වැනි අපටම ආවේණික වූ විශේෂ ප්‍රතිකාර ක්‍රම රාශියක් දේශීය වෛද්‍ය ක්‍රමය තුළ දක්නට ඇත. අපේ රටේ ජනතාව තමාට වැලඳෙන රෝගාබාධ සුවකර ගැනීමට දක්වන සුවිශේෂිත්වය දුටු රොබට් නොක්ස් නම් ඉංගී‍්‍රසි ජාතිකයා සෑම ශ්‍රී ලාංකිකයෙක්ම වෛද්‍යවරයෙක් බව පවසා ඇත. දේශීය වෛද්‍ය ක්‍රමයේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ, සිද්ධ වෛද්‍ය ක්‍රමයේ හා යුනානි වෛද්‍ය ක්‍රමයේ ඉගැන්වීම බොහෝ දුරට සමාන බැවින් අද අපේ රටේ මේ වෛද්‍ය ක්‍රමයන් එකට අත්වැල් බැඳගෙන ක්‍රියාත්මක වේ.

සිද්ධ වෛද්‍ය ක්‍රමය

දකුණු ඉන්දියාව මූලික කරගෙන මේ වෛද්‍ය ක්‍රමය බිහිවී ඇත. සිද්ධ වෛද්‍ය ක්‍රමයේ නිර්මාතෘ ලෙස හඳුන්වන්නේ ශිව දෙවියාය. ශිව දෙවියන්ගෙන් පාර්වතී ඉගෙනගෙන ඇත. ඉන්පසු නන්දිදේව පාර්වතීගෙන්ද, අගස්ති මුනිවරයා නන්දිදේවගෙන්ද ඉගෙනගෙන ඇත. අගස්ති නම් මහා ඍෂිවරයා හිමාලයේ පංචනදී තීරයේ ආත්‍රේය මහා ඍෂිවරයාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලද වෛද්‍ය සම්මන්ත්‍රණයට සහභාගි වී ආයුර්වේදය ඉගෙන ගෙන ඇත. ඉක්බිතිව තම දේශයට පැමිණි හෙතෙම තම සමාජයට ගැළපෙන අයුරින් වටපිටාවේ තිබෙන සම්පත් උපයෝගී කර ගනිමින් ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ සිද්ධාන්තයන් හා න්‍යායන් උචිත පරිදි සිය වෛද්‍ය ක්‍රමයට ගළපා සිද්ධ වෛද්‍ය ක්‍රමය වඩාත් ඵලදායි ලෙස සකසන ලදි. සිද්ධයන් හෙවත් යෝගී මුනිවරයන් විසින් සංවර්ධනය කරන ලද අදහසින් ‘සිද්ධ’ නමින් හඳුන්වනු ලබයි.

යුනානි වෛද්‍ය ක්‍රමය

වාණිජ ව්‍යාපාර සඳහා ලංකාවට සංක්‍රමණය වූ අරාබි ජාතිකයන් සතුව තිබූ වෛද්‍ය ක්‍රමය යුනානි වෛද්‍ය ක්‍රමය නමින් හඳුන්වයි. යුනානි වෛද්‍ය ක්‍රමයේ ප්‍රභවය පිළිබඳ ඒකීය නිශ්චිත මතයක් නැති වුවද එය මධ්‍යකාලීන ඉතිහාසය තුළ ඉතා ප්‍රකට වී තිබූ වෛද්‍ය ක්‍රමයකි. එය ඉන්දියාව, අරාබිය, පර්සියාව, මධ්‍යධරණී සමුද්‍රාසන්න ප්‍රදේශවල පැතිරී ගොස් තිබුණි. යුනානි වෛද්‍ය ක්‍රමයද වටපිටාවේ තිබෙන සම්පත් උපයෝගී කරගෙන ප්‍රතිකාර කරනු ලබන වෛද්‍ය ක්‍රමයකි. එක් වෛද්‍යවරයකුගේ නිගමනය නම් අයොනා නම් ගී‍්‍රක දේශයෙන් අරාබි ජාතිකයන් විසින් උපුටා සකස් කරන ලද වෛද්‍ය ක්‍රමයක් බවය.

බටහිර වෛද්‍ය ක්‍රමය

ඇලෝපති වෛද්‍ය ක්‍රමය නමින් හඳුන්වන මේ යුරෝපීය වෛද්‍ය ක්‍රමය 1505දී ගාල්ලට ගොඩබැස්ස පෘතුගීසි නාවික කණ්ඩායම සමඟ මෙරටට පැමිණ ඇත. හිපොක්‍රටිස් මේ වෛද්‍ය ක්‍රමයේ පියා ලෙස හඳුන්වයි. ඉංගී‍්‍රසි ජාතිකයන් අප රට අත්පත් කරගෙන ඔවුන්ගේ පාලනය ගෙන ගිය සමයේ බටහිර වෛද්‍ය ක්‍රමය මෙරට මුල් බැස ගන්නා ලදී. මෙයට ලැබුණු රාජ්‍ය අනුග්‍රහයත් නවීන තාක්ණය උපයෝගී කර ගැනීමත් නිසා අද රටේ වඩාත් ප්‍රචලිත වෛද්‍ය ක්‍රමය මෙය වී ඇත.

 

උපදෙස්

මහරගම නාවින්න පර්යේෂණායතනයේ

හිටපු වෛද්‍ය

ඩේවිඩ් සමරකෝන්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.