වේග නිසා ඇතිවන රෝග

මැයි 10, 2024

වේග යනු එදිනෙදා ජීවිතයේදී කායික හා මානසික වශයෙන් ඉටු කළ යුතු විවිධ ක්‍රියාවන් වේ. ආයුර්වේදයේ නොදැරිය යුතු වේග සහ දැරිය යුතු වේග යනුවෙන් දෙයාකාරයක් දක්නට ඇත. මේ වේග නිසි පරිදි ඉටු නොකිරීමෙන් බොහෝ රෝගවලට මුහුණපෑමට සිදු වන බව ආයුර්වේදයේ දක්වා ඇත.

 

පුද්ගලයකුට සෑම අවස්ථාවකදීම ඇතිවන ඕනෑම ක්‍රියාවක් තමා විසින් වුවමනාවෙන් දරා සිටීම වේග ධාරණයයි. ආයුර්වේදයේ මේ ශාරීරික වේග තමාට දැනුණු අවස්ථාවේදීම පහ කළ යුතු බව දන්වා ඇත. ඒ නිසා එම වේග නොදැරිය යුතු වේග ලෙස හැඳින්වේ. අද බොහෝ දෙනෙක් කාර්යබහුල අවිවේකී ජීවිතයට හුරුපුරුදු වී ඇති බැවින් මේ වේග වුවමනාවෙන් දරා සිටීමට පුරුදු වී සිටිති. එය නොයෙක් රෝගයන්ට ප්‍රධානතම හේතුවක් වී ඇත.

ජීවමාන ශරීරයේ පවතින්නා වූ නොදැරිය යුතු වේග පිළිබඳව ආයුර්වේදයේ සඳහන් කර ඇත. මේවා ශාරීරික වේගයන්ය. මල වේග, මූත්‍රා වේග, වාත වේග, වමන වේග, කිවිසුම් වේග, කාස වේග, ඈනුම් වේග, බඩගිනි වේග, පිපාසා වේග, කඳුළු වේග, නිද්‍රාවේග, ශුක්‍ර වේග මේවා නොදැරිය යුතු වේග වේ. දැරිය යුතු වේග ලෙස හඳුන්වා දී ඇත්තේ හිතේ හට ගන්නා අහිතකර සිතුවිලි ය. මේවා මානසික වේගයන්ය.

වේග දැරීමෙන් ඇතිවන රෝග

මල වේග දරා සිටීමෙන් මල පහ කිරීම සඳහා වන වුවමනාව දරා සිටීම නිසා හිසරදය, බඩපිපුම, කට ගඳ ගැසීම, කෙණ්ඩ පෙරළීම, ආදි රෝග හට ගනී. මූත්‍රා වේග දරා සිටීමෙන් මූත්‍රා පහකිරීම සඳහා වන වුවමනාව දරා සිටීම නිසා යටිබඩ වේදනාව, හිසරදය, මූත්‍රා ගල් ආදි රෝග හට ගනී.

වාත වේග දරා සිටීමෙන් සිරුරේ උඩු සහ යටි අතර ගමන් කරන වාතය ඇහිරීමෙන් ආහාර අරුචිය, බඩ පිපීම, කැස්ස, ක්ලාන්තය, ඇස්වල රෝග, හෘදයාබාධ ආදිය හට ගනී.

වමන වේග දරාසිටීමෙන් වමනය අවශ්‍ය වූ විට එය වැළැක්වීමෙන් සිරුරේ කැසීම්, සමේ රෝග, පාණ්ඩු රෝග, ඉදිමුම, උණ, කැස්ස, හතිය වැනි රෝගාබාධ ඇති වේ.

කඳුළු වේග දරා සිටීම

කඳුළු ගැලීම උත්සාහයෙන් වැළැක්වීම හේතුවෙන් පීනස, ඇස් රෝග, හිසරදය, හෘද රෝග, අරුචිය ආදි රෝගයන් ඇතිවේ.

ශුක්‍ර වේග දරා සිටීම

ශුක්‍රවේග දරා සිටීම යනු ශුක්‍ර ධාතුව පිටවීම වැළැක්වීමයි. මේ නිසා ඉන්ද්‍රිය වේදනාව, උණ,අණ්ඩ කෝෂ ඉදිමුම, ශුක්‍ර ගල් ඇතිවීම , මූත්‍රා පිට නොවීම, හෘදය හා ඇඟපත වේදනාව ආදි ලෙඩ හට ගනී.

කිවිසුම් වේග දැරීම

කිවිසුම් යෑම ඇතිවූ විට එය වුවමනාවෙන් වළක්වා සිටීමෙන් හිසරදය, ගෙල දෙපස තද බවක්, මුහුණේ පැත්තක් නැති බවක් මෙන් දැනීම ඉන්ද්‍රියයන්ගේ දුර්වල බව ආදිය හට ගනී.

බඩගිනි වේග දරා සිටීම

කෑම බීම නොගෙන කුසගින්න දරා සිටීම නිසා ආහාර අරුචිය, ගිලන් බව, ඇඟපත දුබල බව, කැරකිල්ල වැනි රෝග ඇතිවේ.

පිපාසා වේග දරා සිටීම

පිපාසය ඇතිවූ කල්හි එය දරා සිටීම නිසා සිරුරේ අප්‍රාණික බව, දෙතොල්හි වියළි බව, බිහිරි බව, සිහිමුළාවීම, කැරකැවිල්ල, හෘදයාබාධ ඇති වේ.

කාස වේග දරා සිටීම

කැස්ස හටගත් විටදී එය වැළැක්වීමෙන් කැස්ස වැඩිවීම, හතිය ඇතිවීම, ආහාර අරුචිය, හෘදයාබාධ, ඇඟපත වියළීම, හික්කාව ආදි ලෙඩ රෝග හට ගනී.

නිද්‍රාවේග දරා සිටීම

නින්ද අවශ්‍ය විට නොනිදා සිටීම නිසා හිසේ ලෙඩ, ඇස්වල බර බව, ඈනුම් යෑම, ක්ලාන්ත හට ගනී.

පීඩාවෙන් උපන් ශ්වාස වේග දරා සිටීම

පීඩාවෙන් උපන් ශ්වාස වේග දරා සිටීම යනු වෙහෙස වීමෙන් පසුව ඇතිවන හතිය වුවමනාවෙන් දරා ගැනීමෙන් හෘදය වේදනාව, හෘද රෝග, සිහි මුළාවීම, සහ උදර පීඩාදිය වැනි රෝග හට ගනී.

ලෝභය, ක්‍රෝධය, මෝහය, මානය, ඊර්ෂියාව, මසුරුකම, මෙවැනි අහිතකර සිතුවිලි පාලනය කිරීම මඟින් දරා ගත යුතුය. එම වේග පාලනය නොකළ කල්හි සිතීම වේගවත් වේ. එවිට වචන හා ක්‍රියා ද වේගවත් වේ.

මෙම පුද්ගලයා මානසික දෝෂ කෝපතාව හා ශාරීරික දෝෂ කෝපතාව ඇති රෝගියෙක් බවට පත්වෙයි. එමෙන්ම පාලනය නොවූ අහිතකර සිතුවිලි ඇති එම තැනැත්තා සමාජයට පීඩාකාරී පුද්ගලයකු බවට පත් වේ.

එබැවින් මානසික වේග ධාරණය සිදු කරන තැනැත්තාට මෙලොවදී සෞඛ්‍යසම්පන්න හා නිරෝගිමත් ජීවිතයක් ගත කළ හැකි බවත් පරලොවදී මොක්සුවය ලබා ගත හැකි බවත් ආයුර්වේදයේ පෙන්වා දී ඇත.

වේග පහ කිරීමේ වැදගත්කම

ආයුර්වේදය අංගසම්පූර්ණ වෛද්‍ය ක්‍රමයකි. මෙහි සඳහන් දින චර්යා විධි යටතේ මිනිසා උදෑසන අවදි වී ආගම ධර්මය සිහිකර, මනස පවිත්‍ර කළ යුතු බව සඳහන් වේ. පසුව වාත, මලමූත්‍රා ආදී ශාරීරික වේග පහකර, සිරුර සැහැල්ලු කළ යුතු බව දක්වා ඇත. මානසික සුවය උදෙසා, අහිතකර සිතුවිලි පාලනයත් ශාරීරික පිරිසුදු බව රැක ගැනීමට ශාරීරික වේග පහ කිරීමත් දෛනිකව කළ යුතු වැදගත් කාර්යයකි.

මෙය ආයුෂ රැක ගැනීමට හා වැඩිකර ගැනීමට වැදගත් හැසිරීමේ රටාවකි. ආයුර්වේදයේ මේ අන්දමට පැහැදිලිව නොදැරිය යුතු වේග මොනවා ද? යන්නත් එම වේග දරා සිටීමෙන් ඇතිවන්නා වූ රෝග තත්ත්වයනුත් පෙන්වා දී තිබීම සෞඛ්‍යසම්පන්න ජීවිතයකට මහෝපකාරී වේ.

මෙම රෝග සඳහා සුදුසු ප්‍රතිකාර ද ආයුර්වේද වෙදකමෙහි පවතියි. එහෙයින් එවැනි රෝග ලක්ෂණ ඇතිවිට නිසි ප්‍රතිකාර ලබා ගැනීම සුදුසු වේ. එලෙසම නොපැවැත්විය යුතු වේග මොනවා ද යන්නත් ඒවා දැරීමෙන් ඇතිවන යහපත් සෞඛ්‍ය තත්ත්වයන් ද පෙන්වා දී ඇත. මෙම කාර්යයන් ආයුර්වේදයේ සඳහන්ව ඇති අයුරින් සිදු කිරීමෙන් කායික, මානසික, ආධ්‍යාත්මික සෑම අංශයක්හිම සමබරතාව ඇති නිරෝගි අයකු බවට පත් කෙරේ.

 

උපදෙස්

දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ

ජාතික ආයතනය,

මහරගම පර්යේෂණායතනයේ

හිටපු අධ්‍යක්ෂ

වෛද්‍ය දේවපි‍්‍රය අභයවර්ධන

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.