කුරුලෑ සහ වියපත්බව පාලනය

මාර්තු 29, 2024

 

අපේ සමේ ව්‍යුහය තුළ විවිධ කාර්යයන් ඉටුකරන විවිධ ආකාරයේ ග්‍රන්ථි පිහිටා තිබේ. මේ අතරින් සීබම් ශ්‍රාවය කරන Sabaceaous glands සීබම්, කුණු දූවිලි, මැරුණ සෛල මඟින් අවහිර වී ඒවා ආසාදනය වීම හේතුවෙන් රතු වී, සැරව පිරී ඉදිමීමෙන් කුරුලෑ තත්ත්වය ඇතිවේ.

මේ තත්ත්වය තවදුරටත් වර්ධනය වීමෙන් වේදනාව සහිත ප්‍රදාහිත ගැටිති එනම් acne බවට පත්වීමෙන් කැළැල් ඇති කර මුහුණේ සුන්දරත්වයට හානි කරයි.

තෙල් අධික සමට අමතරව, හෝර්මෝනමය වෙනස්කම්, මානසික ආතතිය, හිස් කබලේ පවතින වියළි බව හා ඉස්හොරි තත්ත්වය, තෙල් සහිත ආහාර, ක්ෂණික ආහාර වැඩි වශයෙන් පරිභෝජනය, තෙල් සහිත රූපලාවණ්‍ය නිෂ්පාදන නිතර භාවිතය, පාරිසරික තත්ත්ව වෙනස්වීම, අපිරිසුදු කොට්ටා උර භාවිතය, නින්ද අඩුකම කුරුලෑ ඇතිවීමට හේතු කාරණා ලෙස පෙන්වාදිය හැකිය.

ආයුර්වේදයේ දී කුරුලෑ, මුඛ දූෂිකා, යුවාන පීඩකා යන නම්වලින් අප මූල ග්‍රන්ථවල ක්ෂුද්‍ර රෝග යටතේ දක්වා තිබෙන අතර සුවිශේෂී වූ පුද්ගලානුබන්ධ චිකිත්සාවක් පවතින බැවින් ආයුර්වේද ඖෂධ භාවිත කිරීමේදී කුරුලෑ acne  වැනි තත්ත්ව සඳහා වෛද්‍යවරයා පරීක්ෂා කිරීමෙන් අනතුරුව හා වෛද්‍ය උපදෙස් නියම කරන පරිදි cleansers, face pack අනිකුත් ප්‍රතිකාර ක්‍රම සඳහා යොමු වීම තුළින් වඩාත් ඵලදායී ප්‍රතිඵල ලබාගත හැකිය.

ප්‍රතිකාරවලට අමතරව කුරුලෑ ඇතිවීම වළක්වා ගැනීම සඳහා පෝෂණීය ආහාර රටාවකට යොමුවීම, පිරිසුදු කොට්ටා උර භාවිතය, හිරුඑළියට නිරාවරණය වන විට හිරු ආවරණක භාවිතය, පිරිසුදු බව පවත්වාගෙන යාම, ප්‍රමාණවත් තරම් ජලය පානය, තම සමෙහි ස්වභාවය අඳුනා ගැනීමෙන් අනතුරුව සමට ගැළපෙන රූපලාවණ්‍ය අමුද්‍රව්‍යය අඩංගු නිෂ්පාදන පමණක් භාවිතය, අපිරිසුදු දෑත්වලින් මුහුණ ස්පර්ශ කිරීමෙන් වැළකීම, ප්‍රමාණවත් සුවබර නින්දක් ලබා ගැනීම, හෝර්මෝන අසමතුලිතතා පිළිබඳ සැලකිලිමත් වීම, හිසෙහි පිරිසුදු බව, ඉස්හොරි පාලනය කිරීම පිළිබඳ සැලකිලිමත් වීම කළ යුතුය. නමුත් කුරුලෑ තත්ත්වවලදී Scrub  වර්ග යෙදීම හා Facial massage කිරීමෙන් වැලැකීම මඟින් තවදුරටත් කුරුලෑ මුහුණේ ව්‍යාප්තවීම වළක්වා ගත හැකිය.

වියපත්වීම

අපේ ශරීරයේ අභ්‍යන්තරයේ ඇතිවෙන වෙනස්වීම් බාහිර ලක්ෂණ ලෙස පෙන්වීම වියපත් වීම ලෙස හඳුනා ගත හැකිය.

සමෙහි පවතින ව්‍යුහාත්මක ප්‍රෝටීන් වර්ග වන කොලැජන් හා ඉලාස්ටීන් මඟින් සමෙහි තෙතමනය (moisture) ශක්තිමත්බව, ප්‍රත්‍යක්ථතාවය හා තානය (Elasticity)වත්වා ගැනීමත් තුළින් සමෙහි තරුණ බව ඇති කරයි. අප වයසට යන විට අභ්‍යන්තර පද්ධතීන් නිසිලෙස ක්‍රියා නොකිරීම, ආහාර ජීර්ණය නිසියාකාරව සිදුනොවීමෙන් පෝෂක කොටස් සිරුරට ප්‍රමාණවත් පරිදි නොලැබී යාම නිසා මේ ප්‍රෝටීන කොටස් නොමැතිකම හේතුවෙන් සම එනම් පටක එල්ලා වැටීම හා රැලි වැටීම සිදු වේ.

එසේම සිරුර තුළ අත්‍යවශ්‍ය රසායනික සංඝටක නිපදවීම අඩාළවීම (හෝර්මෝන නිපදවීම හා ඒවායේ ක්‍රියාව හරිහැටි නොවීම ආර්තවහරණය වැනි) රුධිර සංසරණය අක්‍රමවත්වීම, මාංශ පේශි හා අස්ථිවල ක්‍රියාව අඩුවීම, ප්‍රතිශක්ති පද්ධතිය (immunity and antioxidative action) දුර්වල වීමෙන් විෂ සහිත සංයෝග (free radicles oxidativestess)  ශරීරයෙන් ඉවත් කිරීම අඩාළවීම මඟින් වියපත් වීමේ යන්ත්‍රණය ශීඝ්‍ර කරයි.

මේ මේ වියපත්වීමේ ලක්ෂණ පාලනය කරගැනීමට විටමින් සී සහිත ආලේප සම මතුපිටින් ආලේප කිරීම, ආහාර ආහාරමය අතිරේකයක් ලෙස ලබා ගැනීම හෝ විටමින් සී බහුල ආහාර, පලතුරු, විටමින් ඒ අඩංගු බීට්, බෝංචි, කැරට් වැනි එළවළු වර්ග ද ආහාර වේල් සඳහා එකතු කර ගැනීම, ප්‍රතිඔක්සිකාරක අඩංගු ආහාර වර්ග එනම් green tea brochali blueberries  වැනි දෑ ප්‍රතිඔක්සිකාරක serum  විටමින් ඊ අලිපේර, මී පැණි, යෝගට් මෙන්ම තෙතමනය පවත්වා ගැනීමට කෝමාරිකා මද සම මත නිතර ආලේප කිරීම මඟින් සිදුකර ගත හැකි ය.

ආයුර්වේද වෛද්‍ය

සිත්මිණි අනුසරා

දේශීය වෛද්‍ය පීඨය කොළඹ විශ්වවිද්‍යාලය,

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.