වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
ආමාශගත රෝග -3 කොටස
උණ්ඩුක පුච්ඡ ප්‍රදාහය හෙවත් ඇපෙන්ඩිසයිටිස් (Appendicits) සහ හර්නියා රෝග ආමාශගත රෝග සම්බන්ධයෙන් වූ පළමු ලිපියෙන් උදරයේ මේද මට්ටම අඩු කර ගැනීම හා අධික තරබාරුව පිළිබඳව සාකච්ඡා කරන ලද අතර පසුගිය සතියේ ලිපියෙන් මළබද්ධය පරිකර්පිකා සහ බඩේ දැවිල්ලට දේශීය වෙදකම ඇසුරින් අවශ්‍ය පිළියම් මොනවාද යන්න කෙටියෙන් සාකච්ඡා කරන ලදී.
මෙදින මෙම ලිපියෙන් විමසා බලන්නේ තදබල බඩේ වේදනාවක් ගෙන දෙන උණ්ඩුක පුච්ඡ ප්‍රදාහය හෙවත් ඇපෙන්ඩිසයිටිස් රෝගය හා හර්නියා රෝග තත්ත්වය පිළිබඳවයි.
උණ්ඩුක පුච්ඡ ප්‍රදාහය හෙවත් ඇපෙන්ඩිසයිටිස් (Appendicits)
මෙම රෝගය බොහෝවිට තරුණ තරුණියන් හා වැඩිමහලු පුද්ගලයන් අතර දැකිය හැකි උදරයේ මහත් වේදනාවක් ගෙන දෙන රෝගයක් ලෙස සඳහන් කළ හැකි ය. ඒ අතර මෙම රෝගය ගැටවර වියේ අයට සෑදීමට ඇති ඉඩකඩ බොහෝ වන අතර බාල අයටත් වැඩිහිටි වියේ අයටත් සෑදීමට ඇති ඉඩකඩ අඩු ය.
ඇපෙන්ඩිසයිටිස් හෙවත් උණ්ඩුක පුච්ඡ ප්‍රදාහය ඇතිවන්නේ කෙසේද යන්න පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත් ය. කුඩා බඩවැලේ සිට මහ බඩවැල දක්වා ආහාර ගමන් කරද්දී ආහාර ගමන් කරන්නේ උණුඩුක පුච්ඡය පසු කරමිනි. එවැනි ආහාර හෝ අශූචි තත්ත්වයට පත් වූ ද්‍රව්‍ය උණුඩුක පුච්ඡයට ඇතුළු වීමක් සිදු වුවහොත් එම ඇතුළු වූ ද්‍රව්‍යවලට නැවත එළියට පැමිණීම අසීරු වෙයි. මෙවැනි අවස්ථාවකදී එම ද්‍රව්‍ය පල්වීමට ලක්වීමෙන් උණ්ඩුක පුච්ඡය ඉදිමීමක් සිදු වෙයි. මේ තත්ත්වය හැඳින්වෙන්නේ උණ්ඩුක පුච්ඡ ප්‍රදාහය හෙවත් කවුරුත් දන්නා පරිදි ඇපෙන්ඩිසයිටිස් ලෙසයි.
ඇතැම් අවස්ථාවකදී අධික මට්ටමකින් උණ්ඩුක පුච්ඡය ඉදිමීමකට ලක් වුවහොත් එය පිපිරී යාමට පවා ඉඩ තිබේ. මෙබඳු අවස්ථාවලදී උණ්ඩුක පුච්ඡය ඇතුළේ තිබෙන පැසවීමට ලක්වූ ආහාර සහ සැරව උදර කුහරයට ඇතුළු වීමට පවා හැකියාව ඇත. එසේ වුවහොත් සිදුවන්නේ උදර කුහරයට ඇතුළුවන විෂබීජ හේතුවෙන් මුළු උදර කුහරයම ආසාදනය වීමයි. මෙවිට රෝගියා මරණයට පත්වීමටද බෙහෙවින් ඉඩකඩ පවතී.
මෙම රෝග තත්ත්වය හඳුනාගන්නේ කෙසේද?
ප්‍රථම කොටස පෙකණිය ආශි‍්‍රතව ඇතිවන වේදනාකාරි තත්ත්වයක් මතු කරවයි. පැය කිහිපයකට පසුව උණ්ඩුක පුච්ඡය ඉදිමීම නිසා උදර කුහරයේ පිටත බිත්තිය ස්පර්ශ වීමකට ලක් කරවයි. එවිට වේදනාව හටගන්නේ උණ්ඩුක පුච්ඡය පිහිටා ඇති උදර කුහරයේ දකුණු පැත්තේ පහළ කෙළවරට වන්නටයි. මෙහිදී වේදනාවක් සහ උණ තත්ත්වයක් ද ඇති කරවයි. කෑම අරුචියක් වැනි දෙයක් පැවතිය හොත් සමහර විට වමනය යාමට ද හැකි ය.
බටහිර වෛද්‍ය ක්‍රමයට අනුව නම් මෙම රෝග තත්ත්වය සඳහා සිදු කරන්නේ ශල්‍ය කර්මයක් මඟින් උණ්ඩුක පුච්ඡය ශරීරයෙන් ඉවත් කර දැමීමයි.
හර්නියා
හර්නියා යනුවෙන් හඳුන්වනු ලබන්නේ යම් ස්ථානයකට ඊට අදාළ නැති යමක් එක් රැස්වීමක් වැනි දෙයකින් හටගනු ලබන රෝගයකි. ආයුර්වේද ග්‍රන්ථයන්හි හර්නියා වර්ග 7 ක් පිළිබඳව දීර්ඝව විස්තර කෙරෙන අතර පිරිමින් හට වැළඳෙන වෘෂණ කෝෂ ඉදිමීම ද හර්නියාවල එක් ප්‍රභේදයක් ලෙස සැලකේ.
හර්නියා රෝගය ශරීරයේ බාහිර මෙන්ම අභ්‍යන්තරික වශයෙන් ද ඇති විය හැකි ය. උදරයේ හෝ උදර බිත්තියේ ඇතිවන දුර්වලතාවක් හේතුවෙන් එහි ඇති පටක අනුව කොටස් එම බිත්තියේ දුර්වල ස්ථානයකින් පිටතට නෙරා ඒම හර්නියා තත්ත්වයයි. උදරයේ මෙම දුර්වලතාවය වැඩිපුර හටගන්නේ පෙකණිය අවට ප්‍රදේශ හා ඉකිලී ප්‍රදේශයේයි. එමෙන්ම උදර කුහරයේ ඉහළට වන්නට උරස් කුහරය මායිම්ව පිහිටන මහා ප්‍රාචීය දුර්වල තත්ත්වයෙන් පැවතීමට ද ඉඩ තිබේ. මහා ප්‍රාචීය තුළින් උරසට උදරස්ථ අවයව ඇතුළුවීමට අපමණ සිදුරු තිබුණත් ප්‍රධාන සිදුර වන්නේ අන්නස්‍රෝතය මහා ප්‍රාචීය තුළින් ගමන් ගන්නා ස්ථානයේ පිහිටි සිදුරයි.මෙම සිදුර අන්නස්‍රෝතය තුළින් ආහාර ගමන් කරවීමේ තෙරපුමට ඉඩදීම පිණිස තදින් සමීපව නොපිහිටීම හේතුවෙන් සහ සහජයෙන්ම ශරීරයේ දුර්වලතාවයක් පැවතීම හේතුවෙන් ද වයස් ගත වන විට සිදුර දුර්වල වීම හේතුවෙන් ද ආමාශයේ කොටසක් හෝ මහා ප්‍රාචීරයේ පහතට පවතින අන්නසෝත්‍රයේ කොටසක් හෝ උරස තුළට නෙරා ඒමට ඉඩ තිබේ. මීට අමතරව උදරයේ සැත්කමක් කළ පසු නැවත එම ස්ථානය සවි වුවත් එහි පිටතට නෙරුම් පිහිටා තිබෙනු සමහරවිට දැක ගත හැකිය. මේ සියල්ලක්ම හර්නියා තත්ත්වයන් ලෙස දැක්විය හැකි ය.
හර්නියා රෝගය සෑදීමට වයස් සීමාවක් නැත. තන කිරි බොන වයසේ අතර දරුවන්ට පවා රෝගය මතුවිය හැකියි. දරුවන්ට සෑදෙන තදබල කැස්ස නිසාත්, අධික ලෙස හැඬීම් නිසාත්, පෙකණිය පිටතට නෙරා ඒම සිදුවෙයි. මෙය හර්නියා තත්ත්වයකි. දරුවා ක්‍රමයෙන් වැඩෙන විට පෙකණිය අවට බිත්ති සවිමත් වී හර්නියා තත්ත්වය ඉබේම නැතිවී යයි. නැවත වයස් ගත වෙද්දී ක්‍රමයෙන් ශරීරය දුර්වල වීමට පටන් ගන්නා අතර උදරයේ පීඩනය වැඩිවන පරිදි බර ඉසිලීමේ නිරත වීමත්, කැස්ස හා මළබද්ධය ආදි රෝග නිසාත්. මෛම තත්ත්වය ඇතිවිය හැකි ය. ඉකිලි ප්‍රදේශයේ හා වෘෂණ කෝෂ ආශි‍්‍රතව ඉදිමුම වැඩි වශයෙන් පිරිමින්ට සෑදෙන අතර කාන්තාවන් අතර බහුලව දක්නට ලැබෙන්නේ මහා ප්‍රාචීරය ඉහළට තල්ලුවීමෙන් හටගන්නා හර්නියා තත්ත්වයයි. ගර්භණී සමයේදි උදරයේ පීඩනය වැඩිවීම මෙම තත්ත්වය ඇතිවීමට හේතු වෙයි.
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>