මෞඛික පක්ෂාඝාතය නොහොත් අර්දිත රෝගය

අගෝස්තු 21, 2020

මුහුණ පමණක් ඇසුරු කරමින් පැන නැගෙන පක්ෂාඝාතය, අර්දිත (Facial Paralayeis) නම් වේ. මුහුණෙහි එක් අඩක් ක්‍රියා විරහිත වීම නිසා රෝගියාට බලවත් පීඩාවක් ගෙන දීම අර්දිත රෝගයේ ප්‍රධාන ලක්ෂණයයි. 

අර්දිත රෝගයට සමීපතම හේතුව වන්නේ හත් වන ශීර්ෂණ්‍ය නාඩිය  (Facial Nerve) ආඝාතවීමයි. 

උස් හඬින් කථා කිරීම, නිතර නිතර උම්බලකඩ වැනි තද දේ සැපීම, කොක් හඬලා සිනාසීම, තද ශීත තාවයෙන් පෙලීම, දත් ගැලවීම, තදින් කෑරීම, ඈනුම් ඇරීම, නිතර හිස මතින් බර ඉසිලීම, වල ගොඩැලි සහිත බිමෙහි නිදා ගැනීම යන මේවා අර්දිත රෝගය වැළඳීමට හේතු වේ. 

ප්‍රධාන වශයෙන් අර්දිතය ප්‍රභේද 02 කි. එනම් 

1. උත්තර මුකුල තන්ත්‍රිකාඝාතය 

2. අධර මුකුල තන්ත්‍රිකාඝාතය - වශයෙනි. 

උත්තර මුකුල තන්ත්‍රිකාඝාතයේ දී මුහුණෙහි පහළ කොටසෙහි ද අධර මුකුල තන්ත්‍රිකාඝාතයේ දී පහළ හා ඉහළ දෙකොටසෙහි ද පැන නැගේ. 

අර්දිත රෝගයේ පූර්ව රූප ලෙස ලොමු දැහැගැන්ම, වෙව්ලීම, ඇසක් කැළඹීම, ඔක්කාරය, සම හිරි වැටීම හා වේදනාව, මන්‍යා හා හකු පාඨා තද වීම යනාදිය දැක්විය හැක. 

අර්දිත රෝගයේ දී නළලේ රැළි ඉවත් වේ. නේත්‍ර නිම්ලන පේශියේ   (Orbicularis Oculi) දුර්වලතාවය නිසා නිදන විට පවා ආක්‍රාන්ත වූ අංශයේ ඇස ඇරී පවතී. ගන්නා ආහාර කොටස් මුඛයේ රැඳී පවතී. කෙල මෙන්ම බොන වතුර ද එම අංශයේ තොල් කෙලවරින් බේරේ. මුඛය සහ ගෙල ඇද වේ. කතා කිරීමට අපහසු වේ. ඇස පමණක් නොව ඇහි බැම, කම්මුල්, නිකට යන මේවායේද වේදනා ඇති වේ. 

අලුත හටගත් අර්දිතය සාධ්‍ය වේ. මොළයේ අර්බුදයක් හෝ තුවාලයක් නොමැති නම් සුබ සාධ්‍ය වේ. දුර්වල බව, වෘද්ධත්වය, ඇසිපිය ක්‍රියා විරහිත වීම, නිසි සේ කතා කළ නොහැකි වීම, වසර තුනකට වඩා පරණ වීම, නිතර නිතර ඇසෙන් හා මුඛයෙන් ස්‍රාව වැගිරීම, කම්ප වාතය පැවතීම යන මේවා අසාධ්‍ය ලක්ෂණ වේ. 

අර්දිත චිකිත්සාව - 

ස්නේහාභ්‍යංග ශිරෝ වස්ති - පාන නශ්‍ය පරායණඞ 

අර්දිතං ස ජයේත් සර්පිඞ - පිබේදෞත්තර භක්තිකම් 

ස්නේහ, ස්වේද, පාන, අභ්‍යංග, ශිරෝ වස්ති යෙදීම සහ කෑමෙන් පසු ගිතෙල් බීම ද සුදුසු වේ. තවද ආලේප වර්ග යෙදීම, පැලැස්තර දැමීම, කෂාය, මුඛ ශෝධනය යන මේවාද යෙදිය යුතු වේ. 

රෝගයේ මුල් අවස්ථාවේ දී ලංඝන මූලිකත්වයෙන් පෝෂ්‍යදායක කිරි වැනි ද්‍රව ආහාර වර්ග සේවනය යෝග්‍ය වේ. රුධිර පීඩනය කෙරෙහි විශේෂයෙන් අවධානය යොමු කළ යුතු වේ. හේතුව රුධිර පීඩනය වැඩි වුවහොත් රෝගය යළි වැඩිදියුණු වන බැවිනි. 

අර්දිතේ නවතීතේන - ඛාදෙන           මාෂේණ්ඩරිං තරඞ 

ක්ෂීර මාංසරසෛර් භුක්ත්වා - දශ මූලී රසං පිබේත් 

බත් ආදී ආහාර වර්ග විකා කෑ හැකි අර්දිත රෝගීන්ට බටර් සමඟ උලුඳු වඩේ කෑම ද, කිරි හෝ මස් හොදි හෝ සමඟ බත් කා දශමුල් කෂාය වතුර පානය කිරීම ඉතා ගුණදායකය. එසේම අර්දිතයට සුදුලූණු මහඟු ඖෂධයකි. සුදුලූණු පුළුස්සා මී පැණි සමඟ හෝ තල තෙලෙන් බැද ආහාරයට සුදුසු වන අතර සුදුලූණු නිසා ශරීරයේ උණුසුම් බව වැඩි වේ නම් ප්‍රමාණය අඩු කර ගැනීමට කටයුතු කළ යුතු ය. 

අර්දිත රෝගියාට ගුණැති කෂාය වර්ග 

ත්‍රිකටුසාදී කෂාය 

දාරු පර්පටාදී කෂාය 

මහා රාස්නාදී කෂාය 

දශ මූලං පංච කෝල කෂාය 

දශ මූලාග්නි චවිකා කෂාය 

දශ මූලං ශ්ෙවේත මූලං කෂාය 

කුලත්ථ ලශුනෞ කෂාය 

දශ මූලාරිෂ්ටය 

අග්‍ර රාජ ක්වාථය 

රස ඖෂධ 

වෘහත් වාත චින්තාමණී රසය 

රස රාජ රසය 

මල්ල සින්ධුරය 

තෛ‍්‍රලෝක්‍ය චින්තාමණිය 

චතුර්භුජ රසය 

ගුලි වර්ග 

යෝග රාජ ගුග්ගුලුව 

සීතාරාම වටී 

ත්‍රයෝදශාංග ගුග්ගුලුව 

බ්‍රහ්ම වටී 

කල්ක වර්ග 

නවරත්න කල්කය 

බුද්ධ රාජ කල්කය 

චන්ද්‍ර කල්කය 

රසෝන කල්කය 

තෙල් වර්ග 

නිර්ගුණ්ඩ්‍යාදී තෛලය 

මහා වාත මේඝ තෛලය 

මහා වායු රාක්ෂය තෛලය 

සත්තවාදී තෛලය 

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
18 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.