වර්ෂ 2024 ක්වූ December 27 වැනිදා Friday
කොවිඩ්-19 හෙවත් මාරාන්තික කොරෝනා උණ රෝගයට දේශීය වෛද්‍ය ක්‍රම
වර්තමානයේ කොවිඩ්-19 හෙවත් මාරාන්තික කොරෝනා වෛරසය නමින් රෝග වාහකයකු ලෝකය ඉදිරියට පැමිණ ඇත.
ඉතා කෙටි කාලයක් තුළ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් කරා මෙම රෝගය ව්‍යාප්තව දහස් සංඛ්‍යාත පිරිසක් මෙම රෝග වාහකයන් විසින් දැනටමත් බිලිගෙන ඇත.
ඉතිහාසයේ අන් කවරදාකවත් දැක අසා බලා නැති කොරෝනා රෝග වාහකයාට ලොකු, කුඩා, උස්, පහත් බේදයක් නැත. සාමාන්‍ය මිනිසුන්, ලෝක බලවතුන්, රාජ්‍ය නායකයින් කියා විශේෂයක් ද නැත. මේ අනුව බලන විට අධර්මවාදීව බලකාමයෙන් උන්මත්තකව පංච දුෂ්චරිතයෙහි නියුතුව සිටින මානව සංහතිය බිලිගැනීම සඳහා රෝගවාහකයකු ලෙසින් වෙස්වළාගෙන පැමිණි අදෘෂ්‍යමාන බලපෑමක් ද යන්න පවා සැලකිලිමත්වීම කාලීන වශයෙන් අතිශයින් වැදගත් වනු ඇත.
අෂ්ඨ ලෝක ධර්මයේ කාල හා සෘතු නියාම ධර්මතාවයනට අනුව අව්ව, වැස්ස, සුළඟ, ගින්න යන සතර මහා ධාතූන්ගේ කිපීම හා අති උද්වේගකරභාවය මත මෙවැනි භයානක රෝගාබාධ කාලයෙන් කාලයට ලෝකයට පැමිණේ. මෙතුළින් මිනිසාට පමණක් නොව තිරිසන් සතුනට හා කෙත් වතු, ධන ධාන්‍ය, භව භෝග සම්පත්වලට පවා අතිශය භයානක විනාසයන් සිදුවේ.
මෙවැනි විපත් පැමණෙන විට පැමිණීමට පෙර සිටම අපේ පැරැන්ණන් පාරම්පරික විවිධ ප්‍රතිකර්ම, කෙම් ක්‍රම ඒ ඒ ප්‍රදේශවලට ආවේණිකව පැවති ශාස්ත්‍රීය සිද්ධාන්ත අනුගමනය කර තම කුල ගෝත්‍ර සතර වරිගේ ඥාති පරම්පරාවන් පමණක් නොව සතා සිවුපාවුන්, කෙත්වතු, ගොවිබිම්, හරකා බාන පවා ආරක්ෂා කර ගත්හ.
එහෙත් නවීන විද්‍යාවේ තාක්ෂණ දියුණුවත් සමඟ හෙළ කුල සිරිත් චාරිත්‍ර වාරිත්‍ර නන්නත්තාර කරමින් අපේ උතුම් පෞරාණික සාර ගුණ ධර්ම වනාන්තරගත විය. එහි ප්‍රතිඵලය අද මුළු මහත් මිහිතලයම ගිනි වැදී විනාශමුඛයට පත්වීමය. මේවාට ප්‍රතිවිපාක වශයෙන් ස්වභාව ධර්මය විසින් කොරෝනා වසංගතය ලෝකයට දායාද කර ඇතැයි සිතීමට කාලය එළැඹ තිබේ.
පාරම්පරික දේශීය වෛද්‍ය විද්‍යාවට අනුකූල භූත වෛද්‍ය විද්‍යාවට අනුගතව පස්විසි ආකාරයෙන් යුතු ප්‍රබේද රාශියකට අයත්ව උණ රෝග ඇත.
ඒ අනුව අතීතයේ පැරැන්නන් විසින් හඳුන්වනු ලැබූ තුන් දා උණ, හත් දා උණ, මහ උණ, ජවර උණ, ආම උණ, සන්නිපාත උණ, මුහුර්ත උණ, ඉපල උණ, මුර උණ, හොබර උණ, වාරා උණ, භීත උණ, වෙව්ලුම් උණ, ඉදිමුන් උණ, හිරිහුන් උණ, ගැඩිලි උණ, මොරගෑවිලි උණ, කලාන්ත උණ, මලාන්ත උණ, මවීත උණ, මරු භීත උණ, කඩවර උණ, ගොපල උණ, සමයම් උණ හා ආගන්තුක උණ වශයෙනි. මේවා ත්‍රිදෝෂ කෝප හා ද්විදෝෂ වශයෙන් ප්‍රබේද වේ.
මින් ආගන්තුක උණ වශයෙන් මැලේරියා උණ, කුරුලු උණ, මී උණ, ඩෙංගු උණ වැනි විසකුරු සතුන් හේතුවෙන් හා බාහිර වසවිස ශරීරගත වීමෙන් ඇතිවන උණ රෝගයන් වේ. ඒ අනුව කොරෝනා උණ ද ආගන්තුක උණ රෝග ගණයට අයත් වනු ඇතැයි සිතිය හැකිය.
අතීතයේ දී දෙවියන්ගේ ලෙඩ නමින් පැපොල, සරම්ප, ලාදුරු වැනි මෙවැනි භයානක රෝග ඇති වූ අවස්ථා ඇත. එකල මෙතරම් ජනගහනයක් නැතත් කාලීන වශයෙන් ජීවත් වූ පිරිසට එම රෝග තදින් බලපා ඇත. එකල ජනතාව තම පරවේණි උරුමයන් ලෙස පැවති ශාස්ත්‍රීය සිද්ධාන්තයන් අතර ගම් මඩු , දෙවොල් මඩු, කොහොඹා කංකාරිය, කිරි ඉතිරවීමේ මංගල්‍යය, දේව කංකාරි, බලි තොවිල් වැනි ශාස්ත්‍රීය ක්‍රම සහ කෙම් ක්‍රම අනුගමනය කළහ. ඒ අතර වර්තමානයේ නිරෝධායන ක්‍රම තුළින් ආරක්ෂාව සලසන්නාක් මෙන් අතීතයේ එම සිද්ධාන්ත තුළින් ආරක්ෂාව සලසා ගෙන ඇත.
දෙවියන්ගේ ලෙඩ හැදෙන විට නිවෙසේ ඉදිරිපිට දොරකඩ සහ කඩුල්ලේ කොළ අතු එල්ලීම, කොහොඹ තෙල් පහන් දැල්වීම ආදී ක්‍රියා තුළින් කිළිකුණු සහිත අය නිවෙස් තුළට පැමිණීම වැළකීම, තෙල් බැදුම්, කැවුම්, කිරිබත්, මස් මාළු ආදිය නිවෙසේ සෑදීමෙන් වැළකීම වැනි ආරක්ෂණ ක්‍රම අනුගමනය කර ඇත.
ඒ අනුව පෙරුම්කායම්, වද කහ, සුදු හඳුන්, සස්සඳ වැනි දේශීය ඖෂධ ගලගා නිතර ලබාදීම, අමුකහ, කොහොඹ කොළ, පොල් සමඟ කොටා ඇඟ ඉස ගා ස්නානය කිරීම, විවිධ දේශීය ඖෂධ, දුම් වර්ග නිතර නිතර ඇල්ලීම හා රතන සූත්‍රය, බොජ්ජංග පිරිත් දිවා රාත්‍රී දෙකෙහි සජ්ඣායනය කිරීම වැනි රෝග නිවාරණ පිළිවෙත් අනුගමනය කරමින් බෝවන රෝග වසංගතයන්ගෙන් ආරක්ෂාව සලසා ගෙන ඇත.
එමෙන්ම මෙවැනි වසංගතයන් ශරීරගත වූ විට රෝග සුව කර ගැනීම හා නිවැසියන් ඉන් ආරක්ෂා වීම සඳහා ක්‍රම රාශියක් දේශීය වෙදකම තුළ තිබේ. එනම්, ගම්මිරිස් කොළ, රුක් පැපොල් පොතු, ගොරකා, කොහොඹ කොළ, අමුකහ තම්බා නිවෙසේ ඉසීම. වරා කොළ, කොහොඹ කොළ, ගම්මිරිස් කොළ, රුක් අත්තන කොළ, රුක් පැපොල් කොළ, වියළි කහ ඉතා සිහින්ව කපා වියළා අබ සමඟ ඉතා සියුම්ව කොටා රෝගියා සිටින නිවෙස පුරා පැය හතරෙන් හතරට දුම් ඇල්ලීම.
වද කහ කොළ, සැවැන්දරා කොළ, වැටකෙයියා මල් සහිත කොළ, ගස්ලබු කොළ, වරා කොළ, මදුරුතලා, සන්නිනායන්, විසදුලියා කොළ, සමව ගෙන ඉතා සිහින්ව කපා වියළා කුඩු කර අමු සුදු ලූනු සෑහෙන පමණ ගෙන අමුවෙන් අඹරා සියල්ල එකට කවලම් කර කොහොඹ තෙල් සෑහෙන පමණ යොදා කුඹුරු ඇට තරමට ගුලිකර හොඳීන් දැල්වෙන කපු රෙදි කැබලි කුඩා පොට්ටනි ලෙස බැඳ ගැට ගසන්න. ඒවා අබ තෙල් පහනක තබා දල්වා නිවෙසේ අවට සතර කොන සහ ගෙතුළ තැබීමෙන් බෝවන රෝග තුළින් පැතිරෙන සියලු විෂබීජ විනාශ වේ. පහන් දැල්වෙන අවට සිට එහි සැර වැදීමෙන් සහ සුවඳ ආග්‍රාහනය කිරීමෙන් ශරීරගත විෂ විනාශ වේ.
තවද, කීන ඇට, දොඹ ඇට, පුස් ඇට, කොහොඹ ඇට, කුඹුරු ඇට, මී ඇට, බෙහෙත් එරඬු ඇට, දිවි කදුරු ඇට, ගොරක ඇට, සියඹලා ඇටවල මද සියල්ල සමව ගෙන දුම්මල තෙලින් අඹරා පෙර සේ කුඩා පොට්ටනි බැඳ පැය හතරකට වරක් පහන් දල්වන්න. රෝගියාට දැල්වෙන පහනේ සුවඳ ආග්‍රාහනය කිරීමට සැලසීම හා රෝගියා සිටින කාමරයේ ද පහනක් නිතරම දැල්වීමෙන් බෝවන රෝග තුළින් පැතිරෙන සියලු විෂබීජ සම්පූර්ණයෙන්ම විනාශ වේ.
එළවරා කොළ, දිවිකදුරු කොළ, රුක් අත්තන කොළ, පඬුරු කොළ, යකා බැඳී වැල් කොළ, මුඩ මහන, ආපසුමදු, ගොරක කොළ, බදුල්ල කොළ වියළා කොටා කුඩු කර පෙරුම්කායම් කුඩු, තිත්ත අබිං, සීනක්කාරං පුස්කර කුඩු, වියළි කහ පිටි බරට බරක් දමා කවලම් කර කීන තෙල් හෝ දොඹ තෙල් දමා කල්ක පදම හා සමානව සැකසූ බෙහෙතින් පොල්කටු අඟුරට වරකට කළං 1/2ක් දමා රෝගියා සිටින නිවෙසේ ඇතුළත හා පිටත දුම් අල්ලන්න. රෝගියකු ඇතත් නැතත් මෙම දුම් දිනපතා ඇල්ලීමෙන් බෝවන රෝගවලට අයත් සියලු විෂබීජ විනාශ වෙි.
මෙම ප්‍රතිකර්ම නිසිලෙස සිදුකිරීමෙන් බෝවන රෝග තුළින් පැතිරෙන ඔිනෑම මාරාන්තික විෂබීජයක් විනාශ කළ හැකි වන අතර කොරෝනා තුළින් පැතිරෙන විෂබීජ සඳහා ද මෙම දේශීය ඖෂධ සංයෝග උපයෝගී කර ගත හැකිය.
කොරෝනා විෂබීජය ඇතත් නැතත් කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව ඇතිවන විට වියළි ඉඟුරු සහ කොත්තමල්ලි බැද කුඩු කර සුළං නොවදින සේ සුරක්ෂිතව වසා තබා ගෙන තේ හැඳී 1 බැගින් උණු වතුර බඳුනකට දමා විනාඩි 5ක් පමණ වසා තබා පැය තුනෙන් තුනට දින දෙක තුනක් පානය කරන්න. වාර දෙක තුනක් බොනවිට රෝගය මර්දනය වේ.
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>