වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
කොණ්ඩදෙණියේ හිමියන් විස්මිත කළ කලාකිරිඤ්ඤය
දශකත්‍රයකට වඩා දිගු කලක් තිස්සේ මෙරට සහ දේශ දේශාන්තරවල ජන සමාජයන්හි දැවැන්ත භූමිකාවකට පණ පොවමින්, පරක් තෙරක් නොපෙනෙන මහා සමුදුරක් බඳු ඡ්‍යොතිෂ විද්‍යාවේත් හස්ත රේඛා සහ ගුප්ත ශාස්ත්‍රයෙහිද අග්‍රගණ්‍ය මුදුන්මිණක් බඳු වූ යතිවර චරිතයක අපූරුතම විචිත්‍ර අනුභූතීන් රැසක් පිළිබඳව කළ කී දෑ ගොනුකර මවිසින් සිදුකරන එක්තරා ආකාරයක මානව විද්‍යාත්මක නිරීක්ෂණ පෙළක තවත් අපූරු කතාවක් මෙලෙස සටහන් තබමි.
කොණ්ඩදෙණියේ සීලරතන නායක හිමිපාණන්ගේ චරිතය මුලත්, මැදත්, අගත් පිරිසිඳ දැන උන්වහන්සේට කිට්ටුවර ළෙන්ගතුව ඇසුරු කළ අයගේද, ආගිය තැන් ආශ්‍රයෙන්ද, විවිධ පුරාණෝක්ති ද අනුසාරීව කරනු ලබන මේ ඉදිරිපත් කිරීම අතිශයින්ම විවාදාපන්න, සංවේදී එකක් බව පෙනී යයි. සුබසෙත පුවත්පතේ ‘කොණ්ඩදෙණියේ හාස්කම්’ ලිපි පෙළ පළවීමත් සමඟ ලංකාව පුරා විසිරී පැතිර ගිය සහෘද පාඨකයන් දිනකට විසිතිස් වාරයක් නොකවඩා විරාමයකින් තොරව මාගේ දුරකථනයට ඇමතීමෙන් පෙනෙන්නේ එය එතරටම නූතන සමාජයෙහි ජන විඥාණය තුළ පවා සංවේදී උනන්දු ජනක කරුණක් වී ඇති බවය. එබැවින් තවත් එක් සිදුවීමක් පිළිබඳ මෙසේ සටහන් තබමි.
එදත් කොණ්ඩදෙණියේ සීලරතන හිමිපාණන් වහන්සේ හිමිදිරි පාන්දර බ්‍රහ්ම මුහුර්තයෙන් අවදිව බෝමළුව සහ පන්සල් භූමිය ඇමද ශුද්ධ පවිත්‍රකොට පහළ පොකුණෙන් දිය නාගෙන පිරිසුදුවී නෙලුම් මල් කිහිපයක්ද කඩාගෙන විත් ආවාස ගෙට වැඩම කළ සේක.
අප නායක හිමියන් ඩිංගිරි බණ්ඩා පිළියෙළ කරදුන් කැඳ කෝප්පයද වළඳා අලුත් සිවුරු හැඳ පැළඳ විහාර මන්දිරය සහ දේව මන්දිරයට පිවිස සුපුරුදු වතාවත් නිසි ලෙස ඉටුකර නැවත ආවාස ගෙට පිළිපන්නහ.
හිමිදිරි පාන්දරම හීල් දානය වළඳා දිග හාන්සි පුටුවේ හරි බරි ගැසී අසුන්ගෙන මඳක් විවේක සුවයෙන් ගත කළ සේක. ඒත් සමඟ කොණ්ඩදෙණිය පන්සලේ ගේට්ටුව හයියෙන් සොලවන ශබ්දයක් හිමියන්ට ඇසිණි.
‘ඩිංගිරි බණ්ඩෝ අර පන්සලේ ගේට්ටුවට තඩිබාන මනුස්සයා කව්දැයි බලන්න. හදිසි ලෙඩෙක්වත් එක්කගෙන ආව කෙනෙක් ද දන්නේ නැහැ නොවැ. එයාගේ වාහනේ දොර ඇරගන්න බැරුව දඟලනවා වගෙයි මට නම් පෙනෙන්නේ.
කොයිකටත් විගහට ගිහින් බලන්න ආව අමුත්තට මොනවද වෙලා තියෙන්නෙ කියලා... එයාට උපකාර වෙලා මහ ගේට්ටුව ඇරල ආපු වාහනය පන්සල් වත්තට ගන්න ඉඩ හරින්න.”
හිමි අණ එපරිදිම ක්‍රියාත්මක කළ ඩිංගිරි බණ්ඩා ගේට්ටුව හැර දැමීය.
“මොකද මහත්තයා වෙලා තියෙන්නේ?
“මේක පරණ ක්‍රේම්බ්‍රිජ් වෑන් එකක් හරි හැටි ලොක් වෙන්නෙත් නැහැ නොවැ.... ඒ නිසා හරිහැටි අගුල් වැටෙන්නෙත් නැහැ... ඉතින් මම ගෙදර දොරවලට දාන සොයිබයක් අල්ලගෙනයි ආවේ.... ඒත් ඉතින් හයියෙන්ම ඇද්දම තමයි දොර ඇරෙන්නේ...”
ඩිංගිරි බණ්ඩාත්, ආගන්තුක අමුත්තාත් වැර වීරිය යොදා වෑන් එකේ දොර ඇරගන්නට විය.
වෑන් එක තුළ පන්වලින් වියන ලද විශාල පෙට්ටගමක් විය. ඩිංගිරි බණ්ඩාගේ සහාය ද ගෙන එය ආවාස ගෙය තුළ පරිස්සමින් තැන්පත් කරන්නට අමුත්තා සමත් විය. ඔහු කොණ්ඩය බැඳ උඩුරැවුල දෙකොණ කරකවා සිටි මනා පෞරුෂයෙන් යුතු හැඩිදැඩි ආගන්තුක මනුෂ්‍යයකු විය.
“අවසරයි නායක හාමුදුරුවනේ...”
“තෙරුවන් සරණයි. මේ ඇත්තො කොයි පළාතේ ඉඳලද අරුමැක්කෙම මෙහාට ආවේ. මම වරකාපොළ මහහේන පැත්තේ, හාමුදුරුවනේ,
“ඩිංගිරි බණ්ඩෝ මේ ඇත්තන්ට ගමන් මහන්සියත් ඇති නොවැ. අර පහළ පොකුණෙන් මුහුණ කට හෝද ගෙන නෙලුම් මල් ටිකකුත් කඩාගෙන ඇවිදින් බෝධි මළුවටත්, විහාර මන්දිරයටත් ගිහින් වන්දනාමාන කරලා තමන් ආපු කාරණාව ඉෂ්ට සිද්ධ කරගන්න ප්‍රාර්ථනා කරලම එන්න කියන්න.”
“ආහ්ඞ මේ මහත්තයාට උදේ සප්පායමට හොඳින් සංග්‍රහ කරන්න ඕනෑ. ඔය කුරහන් පිට්ටුයි ව්‍යාංජන කිහිපයකුයි. කට්ට සම්බෝලෙකුයි, කිරි හොද්දකුයි, හනිකට හදල ගන්න. අතුරු පසට මුදෝපු කිරි හට්ටියකුයි, කිතුල් පැණියි, ඉදුණු කැකිරි ගෙඩියකුයි තියන්න.” ඒ අමුත්තාට සංග්‍රහ කළ යුතු ආකාරය පිළිබඳ හිමියන්ගේ උපදෙස්ය.
“අවසරයි නායක හාමුදුරුවනේ”
“ආවාසගෙයි ගෙනවිත් තිබ්බ විශාල පෙට්ටගමේ මොනවදැයි තියෙන්නේ?”
“ මම පුංචි පහේ රසකැවිලි කඩයක් කරගෙන යනවා. හාමුදුරුවනේ, ඒ හින්ද කැවුම් කොකිස්, අතිරහ, මුංගුලි, ආස්මි, දොදොල්, මස්කට් වගේම අපිම හදන තලගුලි වගේ රස කැවිලි ටිකක් මේ ගමේ ඇත්තන්ටත් එක්කම ගෙනාවා හාමුදුරුවනේ.”
“බොහොම හොඳයි, මහත්තයා මේ කොණ්ඩදෙණියේ මිනිසුන්ට ඔවා රසවිඳින්න වෙන්නෙ අවුරුදු කාලෙට විතරයි. එහෙමත් නැතිනම් මඟුල් තුලාවක් සිදු වූ අවස්ථාවක වගේ ඉඳල හිටලනේ. බොහොම අගෙයි මහත්තයා මම මේවා මුළු ගමටම බෙදල දෙන්නම් කෝ.”
“ඉතින් මහත්තයා ආව කාරණේ කියල හිටියනම්”
“මගේ කතාව මම මුල ඉඳලම කියන්නම්. ඔබ වහන්සේ මට අනුකම්පා කරල මේක අහගෙන ඉන්නවා නම් අවසර හාමුදුරුවනේ...”
ආගන්තුක මහත්මා ඇවිටිලි කරන්නට විය. “හොඳයි එහෙනම් කියමුකෝ බලන්න.”
“මගේ කැවුම් කඩේ නුවර පාර අද්දර තියෙන හින්ද ගම්රට බලා යන මිනිස්සු තලගුලියක් එක්ක තේ එකක් බීල කැවුමක්, රසකැවිල්ලක් කාලා පොඩ්ඩක් විවේක ගෙන බුලත් විටත් කාල යන්න පුරුදු වුණා. මුලින් මුලින් කුඩාවට තිබුණ කඩය විශාල කරල ඒක ජයටම කරගෙන ගියා. ඒත් අපේ වරකාපොළට මෑතක දී සල්ලිකාර දේශපාලනය කරන චන්ඩීන් පිරිසක් බෝවෙලා. අපිට හරියට හිරිහැර කරනවා හාමුදුරුවනේ. වෙළහෙළඳාමක් කරගෙන පාඩුවේ ඉන්න දෙන්නැහැ. හිටි ගමන් කැවුම් ඇතිලි පෙරලල, තේ බොන ‘අශෝක’ වීදුරු පොළොවෙ ගහල යනවා. හාමුදුරුවෙනේ කාල බීල සල්ලි ගෙවන්නේ නැති චන්ඩින් පිරිසකුත් ඉන්නවා. උන්ගෙනුත් හරිම කරදරයි. හැම තිස්සෙම අපිත් බයෙන් සැකෙන් ඉන්නෙ හාමුදුරුවනේ.”
“ඔය ඉනේ ඔතාගෙන ඉන්නෙ මොකක්ද?”
“අනේ සමාවෙන්න නායක හාමුදුරුවනේ ඒ කලාකිරිඤ්ඤයක්. මගේ ආරක්ෂාවට හැම තැනම යන කොට අරන් යන්න වෙලා තියෙනවා. ඉතින් මෙහාට එනකොටත් ඒක ඉනේ බැඳගෙනයි ආවේ හාමුදුරුවනේ.” ආගන්තුකයා කලාකිරිඤ්ඤ ආයුධය හිමියන්ට පරීක්ෂා කර බැලීමට දුන්නේ ය.
“මේක හරක් අඟෙන් හදලා තියෙන්නේ දාමරිකයෙක් මට කරදරයක් කරන්න ආවොත් ඒක දකුණු අතේ ඇඟිලි හතරකට පටලවා ගෙන එක පාරක් දුන්නොත් ඒකා තුන් මුදුන්දීලා බිමට වැටෙනවා.” මෙතුවක් කල් හිමියන් නොදුටු අපූරු ආයුධ පළඳනාව අප හිමියන්ද පරීක්ෂාකර බලන්නට වූහ.
“ඉතින් තමන් ආපු කාරණය කීවානම්”
“මගේ කැවුම් කඩේ වෙළහෙළඳාම මෑතකදී ඉඳල අඩුවෙලා ගොසින්. ඒ මදිවට කඩේ හරියට කරන්න ඉඩ දෙන්නේ නැහැ. අපට දේශපාලනය කරන සල්ලිකාර චන්ඩින්ගෙනුත් බොහොම කරදරයි හාමුදුරුවනේ. මේ සැරේ චන්දෙට මගේ හිතවත්ම මහත්මයකුත් ලෑස්ති වෙනවා. අර අලුතෙන් ආපු ධනවත් මිනිහෙකුත් මෙදා සැරේ ඡන්දෙට ඉල්ලනවා. අපේ එක්කෙනාට අතපය දිගහැරල වියදම් කරන්න මුදල් හදල් නැහැ. හාමුදුරුවනේ. ඒ වුණාට ඉතා හොඳ යහපත් මනුෂ්‍යයෙක්. මගේ කඩේට ආරක්ෂාවකුත් කරලා, මගේ හිතවතාට ඡන්දෙන් ජයග්‍රහණය කරන්න පිළියමකුත් කරල දෙන්න හාමුදුරුවනේ. ඔබ වහන්සේට බුදු බව අත්වෙයි.”
අවංකවම තමන් වහන්සේ ඉදිරියේ ඍජු ලෙස කතාබස් කිරීම ගැන අප හිමියන් ප්‍රසාදයට පත් වූ සේක. හැඩි දැඩි තේජාන්විත පෙනුමක් ඇති මේ ආගන්තුකයා දේව මන්දිරයට කැඳවා දේව ප්‍රතිමා අබියස සියලු පිළිවෙත් ඉටුකර හෝරාවක් පුරා කොණ්ඩදෙණියේ සීලරතන හිමියන් ඉතා බලගතු මන්ත්‍රයක් දහස්වර පිරිත් කළ පිරිත් නූලකට මතුරා අමුත්තාගේ දකුණු අතෙහි බැඳලූ සේක. කැවුම් කඩයෙහි වැඩ කරන කිට්ටුවර ඥාතියකු ඉරිසියාවට බලගතු බන්ධය කර තිබුණි. තම මිත්‍ර දේශපාලකයාට ද තවත් එවැනිම බලගතු පිරිත් නූලක් දෙනු ලැබූ හිමියන් බන්ධනයේ බල බිඳ කපා හරින ලදහ. ඔහු රැගෙන ආ රන්සුර දෙකටද බලගතු මන්ත්‍ර ජපකොට තෙල් බිඳක් බහාලා අමුත්තාගේ කර පැළඳවූහ. වරකාපොළ ඡන්දයට ඉදිරිපත්වන තම යහළුවාටද ඉන් එක් රන් සුරයක් ලබා දෙන ලෙස දන්වන ලදී. රසකැවිලි අලෙවි හලේ බිත්තිවල ඉහළින් එල්ලීමට බලගතු මන්ත්‍ර ජපකළ මුහුදු වැලි බහාලු කළපුංච හතරක් ද හිමියන් ලබා දුන් සේක.
“දැන් මගේ වැඩ අහවරයි. ප්‍රතිඵල මටත් දන්වන්න.” හිමියන් පැවසූ පරිදි සියල්ල ඉටු විය. රසකැවිලි කඩයට ඉන් පසු කිසිදු බාධාවක් නොවිණි. එය කෙටි කලක් තුළ රට පුරා ජනපි‍්‍රය විය. ශාඛා කඩ කිහිපයක්ද අලුතින් එක්විණි. ආගන්තුකයාගේ යහළු දේශපාලනඥයාද විවිධ බාධක මධ්‍යයෙහි වුවද ඡන්දය ජයග්‍රහණය කර තිබුණි. පසු කලෙක දෙදෙනාම හිමියන් මුණ ගැසී තම සතුට පළ කළේ හිමි පාමුල වැඳ වැටීමෙනි. ඔවුන් විසින් පන්සල දියුණුවටද ආධාර කරන ලදී.
වත්මන් කොණ්ඩදෙණියේ රජමහා විහාරාධිපති ශාස්ත්‍රවේදී කඩම්බාවේ අනුරුද්ධ හිමියන් හමුවීමට කොළඹ සුප්‍රසිද්ධ රසකැවිලි ව්‍යාපාරිකයකු මෑතක දී පැමිණියේ තම ව්‍යාපාර කටයුතු ක්‍රමයෙන් පිරිහී පාඩු ලබන්නට වූ නිසා ය.
එහි සමහර රසකැවිලිවලට මනුෂ්‍ය ආහාරයට නුසුදුසු පරිදි අපද්‍රව්‍ය එක් වී ඇති බව රසායන පරීක්ෂාවේදී හෙළිදරව් විය. ඒත් සමඟ ආයතනයේ මහජන විශ්වාසය බිඳෙන්නට විය. ඉහළ කළමනාකරණය වෙනස් කළද යහපත් ප්‍රතිඵල ලබාගත නොහැකි විය. තරුණ ව්‍යාපාරික යුවළ අනුරුද්ධ හිමියන් මුණ ගැසීමට පැමිණියේ මේ අතරතුරය.
‘සුබසෙත’ පුවත්පතේ ‘කොණ්ඩදෙණිය හාස්කම්’ ලිපි පෙළ කියවූ තම මිත්‍රයකු කඩම්බාවේ අනුරුද්ධ නායක හිමියන් වෙත තම මිතුරාව යොමු කරන ලදී. අනුරුද්ධ හිමියන් විසින් දේව මන්දිරයට තරුණ ව්‍යාපාරික යුවළ කැඳවා බලගතු මන්ත්‍රයක් හෝරාවක් තිස්සේ දහස්වර පිරිත්කළ පිරිත් නූලකට ජීවම් කර ඔවුන් දෙපළගේ දකුණු අත්වල බඳින ලද අතර එම යුවල රැගෙන ආ රන්සුරවල බලගතු මන්ත්‍රයකින් ජීවම් කළ තෙල් බිඳ බැගින් මුසුකර ගෙල පළවා, කුඩා මුහුදු වැලි පිරවූ පුංචි කළ කීපයක් ආරක්ෂක පිළිවෙතක් ලෙස බිත්තිවල ඉහළ මුළුවල එල්ලීමට සකස් කර දුන් සේක.
රස කැවිලි ආයතනයේ දියුණුවට ඊර්ෂ්‍යා කළ, රසකැවිලිවල පදම සකස් කළ තමන්ගේ කිට්ටුවර ඥාති සොයුරකු විසින් බලගතු බන්ධනයක් සිදුකර ඇති බව හිමියන්ට වැටහිණි. ඔහු බන්ධන ගුරුකම සිදුකොට ආයතනයන් ඒ වනවිටත් ඉල්ලා අස් වී විදේශ රටකට ගොස් තිබිණි. අප අනුරුද්ධ හිමියන් බන්ධනයේ සියලු බල කපා හැරීමට කටයුතු කළ සේක.
මාස කිහිපයකට පසු ආයතනයේ සියලු දුක්ඛ දෝමනස්සයන් පහ විය. පෙර තිබුණාටත් වඩා ව්‍යාපාරය දියුණු විය. අලුතින් ශාඛා කිහිපයක් ද එක් විය. තරුණ ව්‍යාපාරික යුවළ කොණ්ඩදෙණියට පැමිණ අනුරුද්ධ හිමියන් නැවත බැහැ දැක සතුටු කඳුළු වගුරුවමින් දෙපා නමස්කාර කළහ.
හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරි (මෙහෙයුම්)
ඡ්‍යොතිෂ අවිශ්කාර්
ඡ්‍යොතිෂ ශිරෝමණී
ආචාර්ය විජය සමරසිංහ