වර්ෂ 2025 ක්වූ January 24 වැනිදා Friday
පන්දමට බිය වූ සොහොන් යමයා
සත්‍ය තොරතුරක් හෝ සිදුවීමක් පිළිගැනීම, විශ්වාස කිරීම හා අගය කිරීම සිදු වන්නේ ඒ පුද්ගලයාගේ ප්‍රකාශ කිරීමේ හැකියාව හා දැනීම මෙන්ම ඉදිරිපත් කිරීම අනුවයි. ඊසොප් ප්‍රකාශ කර ඇත්තේ ද ඇසට පෙනෙන දේත් කනට ඇසෙන දේත් පමණක් විශ්වාසය තබන්න කියාය. මේ සිදුවීම් මාවනැල්ලට නුදුරු ගමක දැනට අවුරුදු 70කට පමණ පෙර සිදු වූ සත්‍ය සිදුවීමකි.
දවසක් “කොළ මඩවන” තැනකදී මේ කතාව කීවේ යමක් කමක් දන්නා අප්පුනයිදේ ගුරුන්නාන්සේය.
මේ ගමේ හිටියලු පුංචිනයිදේ කියල කම්මල්කාරයෙක්. මේ පුද්ගලයා ගොවිතැන් කරනවා. කම්මල් වැඩත් කරනවා, ඊට අමතරව යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් වැනි දේත් කරනවා. මේ වැඩවලට හොඳ නමකුත්, ප්‍රසිද්ධියකුත්, පිළිගැනීමකුත් තියෙනවාලු.
පුංචි නයිදේ විවාහකයි. ඔහුට හිටියාලු ටිකිරි නයිදේ කියල. මල්ලියෙක්. ටිකරි නයිදේ අවිවාහකයි. මෙයත් කම්මල්වැඩ සහ ගොවිතැන් කරනවා. එකම නිවෙසේ ඉන්නවා. පුංචි නයිදෙට පාරම්පරිකව තිබූ මේ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්වලට වගේම වෙදකමට අදාළ පරණ පොත්පත් පුස්කොළ පොත් ආදියත් ඊට අදාළ බඩු බාහිරාදියත් තියෙනවා. ටිකිරි නයිදෙටත් මේ ගැන ආශාව තියෙන මුත් අය්යා මල්ලිට මේ කිසිවකට අත තබන්න දෙන්නෙත් නැතිලු.
හැබැයි. පුංචි නයිදෙ නැති වේලාවට නයිදෙගෙ, හාමිනේ, හොරෙන් මේ පොත්පත් ටිකිරි නයිදෙට දෙනවලු. ටිකිරි නයිදෙත් හොරෙන් හොරෙන් මේවා ගැන දැනගෙන මතකයේ තියා ගන්නවාලු.
මේ අතර ගමේ මළගෙයක් වෙලා තියෙනවා. මිය ගිය කෙනාගේ නම ලොකු බණ්ඩා. ලොකු බණ්ඩාගේ ආදාහනය දවසේදී ඒ කටයුතුවලට ගමේ මිනිස්සු තිහ හතළිහක් එකතු වෙලා තියෙනවා. ගමේ පන්සලේ හාමුදුරුවෝ තවත් හාමුදුරුවරු තුන්නමක් සමඟ පාංශුකූලය දීලත් තියෙනවා.
පාංශුකූලය දීල ඉවර වෙලා විනාඩි පහක් විතර යන කොට රණසිංහ කියල අවුරුදු 30ක විතර ගැටයෙක් යටිගිරියෙන් ශබ්ද නගා හූ හඬ තුනක් දීලා දුවන්න පටන්ගෙන තියෙනවා. එතැන හිටිය තුන් හතර දෙනෙක් රණසිංහ මෙල්ල කරන්න උත්සහ අරන් තියෙනවා. ඒ අයට බැරි නිසා තවත් දෙතුන් දෙනෙක් එකතු වෙලා මේකට ‘යකාවත් වැහුණද’ කියල පාරක් දෙකක් ගහලත් තියෙනවා. ආදාහන කටයුතු ඉවර වෙලා දඟලපු රණසිංහත් අල්ලාගෙන ගෙදර ගෙනාවට මෙල්ල කරන්න බෑලු. හැන්දෑවේ ඒ ළඟ හිටිය අර පුංචිනයිදෙ ඇවිත් ගුරුකමක් කරල තාවකාලිකව ඇප නූලක් බැඳල වැහිල තියෙන යක්ෂාවේශය නැති කරන්න දින 21ක් ඇතුළත තොවිලයක් කරන්න ඕනෑ කියල දින තීරණය කරලා ගියාලු.
දැන් ගෙදර අය, අහල පහළ අයගෙනුත් නෑදෑ අයගෙනුත් උදව් පදවු අරගෙන තොවිලය කරන්න කටයුතු කළා. නියම දිනයට තොවිල්කරුවො හය දෙනකු ඇවිත් මේ තොවිලයට වැඩ කටයුතු කරල හවස කෑම එහෙම කාලා තොවිලය පටන් ගත්තා. ටික වෙලාවක් යනකොට අහල පහළ අයත් තව සෑහෙන පිරිසකුත් එතැනට එකතු වුණා. දැන් තොවිලය ගජරාමෙට යනවා ආවේශ වූ රණසිංහ නටනවා. දැන් එකතු වෙලා හිටි අය මවිත වෙලා බලාගෙන ඉන්නවා. තවත් අය මේක බලා බියට පත් වී ආපහු ගෙවල් දොරවල් බලා ගිහින් තියෙනවා. අර ගමේ හිටිය පුංචිනයිදේ එදා ඉඳලා නෑ. මඟ ඇරල තියෙනවා. ඒ එතැනට ගියොත් ගමේ අය මොනවා හරි කියයි කියලායි.
ඒ වුණාට පුංචි නයිදෙගෙ මල්ලි ටිකිරි නයිදේ භූමිතෙල් කුප්පිය තියාපු ගිනි පන්දමක් අරගෙන හෙමින් හෙමින් එතනට ගියා. ගිහින් අයිනට වෙලා බලාගෙන ඉන්නවා. දැන් ගජරාමෙට තොවිලය යනවා. බෙර ගහනවා. තොවිල් ඇදුරොත් හරිම සතුටින් වැඩේ කරනවා. දැන් රණසිංහ හූ හඬ නඟමින් නටනවා. තොවිලයේ නායක ගුරා හයියෙන් කීවා, කවුරු හරි දන්නා ඇදුරෙක් ඉන්නවා නම් මේ ආවේශය වූ රණසිංහගෙ නැටිල්ල නවත්වන්න කියල.
එහෙන් මෙහෙන් අර පුංචි නයිදෙ අය්යාගෙ පොත් බලපු ටිකිරි නයිදේ මල්ලි හොරෙන් කියැවූ පොතක යක්ෂයන් මෙල්ල කරන්න තිබූ මන්තරයක් මතක් වෙලා බිම වැලි ටිකක් අරගෙන මතුරල, ඒ තොවිලය තිබූ මඩුවට දමල ගිනි පන්දම පත්තුකරගෙන හෙමින් හෙමින් ගෙදර ආවාලු. එතකොට ආවේශ වෙච්ච රණසිංහ බැඳල දමල හිටියෙ.
ටිකිරි නයිදේ ගෙදර ඇවිත් ගෙදර කම්මලේ කණුවක ගිනිපන්දම එල්ලා ගෙට ගොඩ වුණා විතරයි. ආවේශ වෙලා හිටිය රණසිංහ ආතුරයා හූ කියාගෙන බැදල තිබ්බ බැඳුම් ලිහිවූවා විතරයි ටිකිරි නයිදේ හොයන්න දුවගෙන ආවාලු. ඇදුරොයි හිටපු අයයි දැන් ඒ පස්සේ දුවනවාලු වැටි වැටී කරුවලේ. ආවේශ වෙච්ච රණසිංහ ආතුරයා හූ කියාගෙන කම්මල ළඟටම ආවා. ඒ වෙද්දිත් අර කණුවේ එල්ලූ ගිනි පන්දම පත්තු වෙනවා. එය දැක්කා විතරයි ගිනිවැටක්, ගිනිවැටක්... බෑ බෑ... කියාගෙන රණසිංහ ආතුරයා ආපහු තොවිල්පොළට ගිහින් වැටුනලු. දුවගෙන ආපු ලොකු ඇදුරා ටිකිරි නයිදෙගෙන් මොකද මේ කියලා ඇහුවලු. ටිකරි නයිදේ කීවලු “මේ පොතක් බලන කොට මෙහෙම මන්තරයක් තිබුණා. ඒක සත්තද ඇත්තද කියල බලන්න බිම වැලි ටිකක් අරගෙන මතුරල දැම්ම කියලා”
“හා එහෙමද තමුන් බේරුණේ මේ කම්මල හින්දා නැත්නම් පෙනෙයි සොහොන් යමගේ වැඩ ආයෙ එහෙම කරන්ට එපා. දැන ගෙන කරනවා ඔය වැඩ.” කියල ආපහු ගිහින් තොවිලය හමාර කරල තියෙනවා. ආවේශ වූ යක්ෂයාට යනකොට ගිය බවට මොනවා හරි ලකුණක් පෙන්නල හරි සද්ද කරල හරි යන්න කියල තියෙනවා. ඉඩමේ අයිනෙ තිබිල තියෙනවා, ලොකු කොස් ගසක්. ඒ ගහේ අත්තක් කඩාවැටෙනවාත් ගහ වැටෙනවාත් සද්දෙ ඇහිල තියෙනවා. උදේ බලනකොට ගහ එහෙමමලු. මේ කතාව කියාපු අසු නයිදෙත් පස්සේ ගිහින් තියෙනවලු. නිකම්ම හිටිය ටිකිරි නයිදෙට හොඳ නමක් ලැබිල තියෙනව පස්සෙ.