වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
කිරිගරුඬ ඇඟිල්ල
මෙතෙක් කතාව
චිත්‍ර ශිල්පියෙකු හා ලේඛිකාවක වූ තරුණ අඹු සැමි යුවළක් තම සිතැඟිවලට මනාව ගැළපෙන ආකාරයේ සුන්දර නිවසක් ගම්බද පළාතකින් මිලට ගෙන එහි පදිංචිය අරඹති. එහි සේවයට බැඳුණු ගුණ යහපත් දක්ෂ ගෘහ සේවිකාවක වූ ඩෝර්මන් නැමැති කාන්තාව තුන් මසක් ගත වීමට ඔන්න මෙන්න කියා තිබියදී හිටිවන ම රැකියාවෙන් අස්විය යුතු බව පවසයි. එයට හේතුව සොයා බැලීමේදී පෙනී යන්නේ පල්ලියේ ඇති නයිට්වරුන්ගේ ප්‍රතිමා දෙක එක්තරා දිනක ප්‍රාණය ලබා මෙම නිවස ඇති බිමට එන බවට පැතිර ඇති ජන ප්‍රවාදයකි.
ඉතා කෙටියෙන් පැවසිය යුතුව ඇත්තේ මා අසීමිත භීතියකට පත් වූ බව ය. හිතවත් පාඨකය, මෙහිදී මා ඔබට අවංකවම පැවසිය යුතුව ඇත්තේ, මෙවැනි සිදුවීම් ගැන විශ්වාසය තබන පුද්ගලයකුට වඩා මේ අද්භූත අතුරුදන්වීම ගැන මා බියට පත් වු බව ය.
සියොළඟ දහදියෙන් තෙත්ව, භීතියෙන් මනස විකල්ව යද්දී, ඒ සමඟ ම මගේ සිහියට නැඟුණේ පුවරුවලින් බැසගත් කෲර නයිට්වරුන්ගේ ආත්මය ඊළඟට නොවරදවාම ළඟා වන්නේ කොතනටදැයි ඩෝර්මන් මහත්මිය මීට දින දෙකකට ඉහතදී පැහැදිළි කර දුන් බව ය. ඒ අනුව ඔවුන් ළඟා වන්නේ ඔවුන්ගේ මහ ගෙදර තිබූ ස්ථානය වෙතය.
එතැන සාදා ඇති නව නිවෙසේ දැන් පදිංචිව සිටින්නේ අපය. මේ මොහොතේ එහි සිටින්නේ මේ භීෂණය පිළිබඳව හාන්කවිසියක් හෝ නොදත් මගේ අහිංසක ලෝරාය. එහෙයින් තව මොහොතක් හෝ පමා නොවූ මා හැකි වේගයෙන් නිවෙස බලා දිව එන්නට පටන් ගත්තේ මගේ මතකයේ රැඳී තිබූ සාතන්ට එරෙහි යාඥවක්ද මුමුණමිනි. ඉක්මනින් යෑමේ වුවමනාව නිසා මම ප්‍රධාන මාවතින් බැහැරව කෙටි පාරක් ඔස්සේ දිව යන්නට පටන් ගතිමි.
එහෙත් අනපේක්ෂිත ලෙස මා හරස් කරමින් ඉදිරියට පැමිණි උසැති මිනිසකු නිසා මා හට ගමන නතර කරන්නට සිදුවිය. ඒ පුද්ගලයා වූයේ මගේ අසල්වාසී හිත මිතුරා වු අයර්ලන්ත ජාතික වෛද්‍යවරයා ය.
“මිත්‍රයා, මට ඉක්මනින් ගෙදර යන්න තියෙනවා. පල්ලියේ තිබූ ප්‍රතිමා දෙක එතනින් පිටවෙලා”
මම පැවසුවෙමි.
මේ වන විට මෙකී ප්‍රතිමා පිළිබඳව ඩෝර්මන් මහත්මිය පැවසූ කතාන්තරය මා විසින් වෛද්‍යවරයාට පවසා තිබූ අතර, එදා ඔහුත් මාත් දෙදෙනාම එක්ව ඒ පිළිබඳව මහ හඬින් සිනාසුණෙමු. එහෙත් අද මේ මොහොතේ සිනාසෙන්නේ ඔහු පමණි.
“මට තේරෙන විදියට ඔහේට මානසික ප්‍රතිකාර ගන්න වෙයි වගේ. මිථ්‍යා විශ්වාස ඔළුවේ තියා ගත්ත අම්මණ්ඩිලාගේ කතා අහපු ඔබ ඕනෑවට වඩා සැර දුම්කොවලිනුත් මත්වෙලා කියලයි මට හිතෙන්නෙ”
“ඒ වුණාට දැන් ගෙදර ඉන්නේ ලෝරා විතරයි මට හැකි ඉක්මනින් ගෙදර යන්න ඕනෑ”
“හරි මනුස්සයෝ, ඒ ගැන බය වෙන්න ඕනෑ ඔය කියන ප්‍රතිමා දෙක නැඟිටලා ගිහිල්ලා නම් නොවැ. මම කියන්නේ ඒක ඔහෙගෙ හිතේ ඇඳුණු මායාවක් කියලයි. අපි දැන් පල්ලියට යමු. මම ඔබට පෙන්වන්නම් එහෙම දෙයක් වෙලා නැති බව”
කියමින් අඩි හයක් උසැති ශක්තිමත් මිනිසකු වූ ඔහු මගේ අතක බාහුවෙන් අල්ලා ගත්තේ කිසිසේත් ම ගලවා ගත හැකි අයුරින් නම් නොවේ.
“ඩොක්ටර්, ඔහේට ඕනෑ කමක් තියෙනවා නම් පල්ලියට යන්ඩ. මම හැකි ඉක්මනින් ගෙදර යන්න ඕනෑ. ලෝරා අවදි වී මාව හොයනවා ඇති”
මම නොඉවසිලිමත්ව පැවසූවෙමි.
“මේ අහනවා මිත්‍රයා”
මගේ මිතුරා තම සුරතේ ග්‍රහණය වැඩි කරන අතරේ ඉතා කාරුණිකව මා ඇමතී ය.
“මේ සිද්ධියේ ඇත්ත නැත්ත තේරුම් නොගෙන ඔබ ආපහු ගියොත් මුළු ජීවිත කාලෙම ඔබට කියන්න වෙන්නෙ මේ ප්‍රතිමා දෙක ඇවිදින්න යන කතාව ඇත්ත කියල. ඉතින් ඒ ආකාරයට ඔබව ඉතිරි ජීවිත කාලයම මෝඩයෙක් විදියටයි මටත් හඳුන්වන්න වෙන්නේ. ඒක අපි දෙන්නාගේම යාළුකමට හොඳ නැහැ නේද?”
ඔහු පැවසූ ආකාරයට මා මෝඩයකු ලෙස හැඳීන්වෙන්නට හැකි බවට කළ ප්‍රකාශය විසින් යළිත් මගේ අභිමානය අවදි වන්නට විය. මේ අයුරින් ඔහුගේ අදහසට එකඟ වූ අප දෙදෙනාම දේවස්ථානය බලා පිය නැඟීමු.
පුදුමයෙන් ගල් ගැසිය යුතු අවස්ථාවක් වුවද, පුදුමයට වඩා අප්‍රමාණ සැනසිල්ලක් හිතට දනවමින් ඉහළට ඔසවා ගත් දෑතින් යුතුව ප්‍රතිමා දෙක මා කලින් දැක තිබූ අයුරින්ම එහි විය.
“මේ බලන්න මිත්‍රයා, මට හිතෙන විදියට ඔබ දුම්කොළ සැරට මත්වෙලා ඉන්න ඇති”
“නැතිනම් මේ ගැන අසා තිබූ කතා නිසා යම්කිසි සිතේ බලපෑමකට මේවා නොපෙනෙන්නට ඇති මට හිතෙන්නේ”
ඔහු ප්‍රතිමා දෙක වෙත වඩාත් සමීපවෙමින් පැවසීය.
“ඇත්තෙන්ම ඔබට බොහොම ස්තූතියි ඩොක්ටර්, මේ විදියට ආපසු නාවා නම් ඒ අදහසේ වෙනසක් නැති වෙන්න තිබුණා”
මම ස්තූති පූර්වකව පැවසීමි.
“ඒ වුනාට මිත්‍රයා, මේ බලන්න” ඔහු එක් ප්‍රතිමාවක් සමීපයට මා කැඳවමින් යමක් පෙන්වීය.
“මිත්‍රයා, මේ කතාවේ ඇත්ත නැත්ත මොකක් වුණත් කවුරුහරි මේ ප්‍රතිමාවල් මෙතනින් එහා මෙහා කරන්න නම් හදල තියෙනවා”
වෛද්‍යවරයා බැරූරුම් ලෙස පැවසීය.
“ඇයි? ඔබ එහෙම කියන්නේ?”
විමතියට පත් මම ඇසුවෙමි.
“මේ බලන්න මේ පැත්තෙ තියෙන ප්‍රතිමාවේ එක අතක ඇඟිල්ලක් අඩුයි” එය සත්‍යයකි.
දකුණත මඳක් ඉහළට යොමු කරගත් ඉරියව්වකින් තනා ඇති ප්‍රතිමාවේ දබරැඟිල්ල නැති බව ඉතා පැහැදිලිව කැපී පෙනෙන්නකි.
ඔහු නැවතත් මගෙන් විමසුවේ මිට පෙර මෙහි ඇතුළු වූ අවස්ථාවක මා අතින් එසේ වුවාද යන්නය. එහෙත් යළිත් මා හට අවශ්‍ය වුයේ එයට පිළිතුරු දෙනු වෙනුවට හැකි ඉක්මනින් නිවෙස බලා යාමට ය.
“යං ඩොක්ටර්, අපේ ගෙදර, ගිහිං ඇඟ රත්කර ගන්න බ්‍රැන්ඩි පොඩ්ඩක් බොන ගමන් මේවා ගැන කතා කරමු”
මම මෙවර ඔහුගේ අතින් ඇදගෙන පල්ලියෙන් එළියට පැන ගත්තෙමි.
මිනිසුන්ට මායාවන් දර්ශනය වන ආකාරය පිළිබඳ මනෝ විද්‍යාත්මක කරුණු ගණනාවක් ඔහු විසින් පැහැදිලි කරනු ලැබුවත්, ඒ කිසිවක් මේ මොහොතේ මගේ සිතෙහි රැඳුණේ නැත. මට අවශ්‍යව තිබුණේ හැකි ඉක්මනින් ම නිවෙසට ගොඩ වැදීමටය. ලෝරා තවමත් අවදිව නොසිටියහොත් වඩා හොඳ යැයි මට සිතී තිබිණි.
නිවෙසට ළඟා වෙද්දී මා දුටු පළමු කාරණය නම් අවට අසාමාන ලෙස ආලෝකවත්ව පැවැති බවය. මේ අන්දමට ලෝරාට ආලෝකය අවශ්‍ය වන්නේ ඇයට තම සිතෙහි අවුලක් ඇති විටෙක ඉන් මිදෙනු පිණිස ය. මේ මොහොතේද ඇය මුළු නිවෙසම ඒ අයුරින් ආලෝකවත් කර තිබූ අතර, කිසිවිටෙක සිදු නොවන අයුරින් හැර දමා තිබූ ඉදිරිපස දොරටුව නිසා මිදුලෙහි කෙළවරක් දක්වාම එම ආලෝකය පතිතව තිබුණි.
ආලින්දයට ඇතුළු වුවද, අපට ඇයව දක්නට නොලැබුණි.
සාමාන්‍යයෙන් ඇය පොත් කියවීමට හිඳ ගන්නා ජනේලය අසල පුටුව හිස්ව තිබිණි. එහෙත් මා ගිය පසු ඇය එහි හිඳ සිටි බවට ලකුණක් වශයෙන් කියවමින් සිටි පොතක් හා කුඩා අත් ලේන්සුව ඒ අසල බිම වැටී තිබිණි.
මට ඇය හමුවුණේ ජනේලය අසලදී ය. ඒ ඇයගේ උඩුකය මේසය මත වන පරිදි ඇදවැටී සිටින අයුරිනි. පුළුල් ලෙස විවර වූ දෙනෙතින් ද, යම් හඬක් නගනු සඳහා විවෘත කළ මුවින්ද යුතුව ඇය ඒ අයුරින් ඇද වැටී සිටියා ය.
ඇය පරීක්ෂා කරමින් සිටි මා මිත්‍ර වෛද්‍යවරයාගේ මුහුණින් ප්‍රකට වූයේ ඇය සදහටම යළි නොනැගිටිනු ඇති බව මිස අන් කවරෙක්ද?
ඔහුව පසෙකට කළ මම මගේ ආදරණීය ලෝරාව පපුවට තුරුලු කරගනිමින් හඬා වැටුණෙමි. ඇයව තනිකර දමා මේ අන්දමට පිටව යෑම ගැන සිය දහස් වරක් මහ හඬින් මටම ශාප කර ගත්තේ උමතුවූවකු මෙනි.
යම්තාක් දුරකට හිත සන්සුන් කර ගැනීමෙන් අනතුරුව අපට පෙනී ගියේ ලෝරා මිය ගොස් තිබෙන්නේ යම් කිසිවක් මිට මොලවා ගනිමිනි. වෛද්‍යවරයාගේ උදව්වෙන් ඇගේ අත්ල දිග හැර බැලුවෙමි.
එම අත්ල මත වූයේ ප්‍රතිමා නෙළා තිබූ කිරි ගරුඬින් තැනුණු ඇඟිල්ලකි.
***නිමි***
(එව්ලින් නෙස්බිට්ගේ ර්ඒව් ඉධ්ඛඡ් ධ්ව් ර්ඒඅඕඹ්ඡ් නමැති කෙටිකතාව ඇසුරිනි)