වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
සේවිකාවගේ අද්භූත රහස
මෙතෙක් කතාව
වෘත්තියෙන් චිත්‍ර ශිල්පියෙකු වන තරුණ වියේ පුද්ගලයකු ලේඛිකාවක වන ඔහුගේ බිරිය සමඟ තම සිතැඟිවලට මනාව ගැළපෙන ආකාරයේ සුන්දර නිවෙසක් ගම්බද පළාතකින් මිලට ගෙන එහි පදිංචිය අරඹයි. එහි සේවයට බැඳුණු ගුණ යහපත් දක්ෂ ගෘහ සේවිකාවක වූ ඩෝර්මන් නැමැති කාන්තාව තුන් මසක් ගත වීමට ඔන්න මෙන්න කියා තිබියදී හිටිවන ම අස්විය යුතු බව පවසයි.
ඇගේ මුහුණ දෙස තව මොහොතක් බලා සිටි මා හට හැඟී ගියේ ඩෝර්මන් මහත්මිය යම්කිසි අදෘශ්‍යමාන ආරංචියක් හේතුවෙන් දැඩි ලෙස භීතියට පත්ව ඇති බවය. එය කුමක්දැයි කල්පනා කිරීම පසෙකින් තැබූ මම, ඇය ආපසු යාමට ගත් තීරණය කුමක්දැයි ඉතා සන්සුන්ව ප්‍රශ්න කළෙමි.
“ඔව් මහත්මයා, මේ මාසෙ ඉවර වෙන්න කලින් මට අස්වෙන්න වුවමනා කරලා තියෙනවා”
ඇයද එවැනි සන්සුන් ස්වරයකින් පිළිතුරු දුන්නාය.
“ඇයි ඩෝර්මන් නෝනාට අපෙන් මොනව හරි හිත් රිදෙන දෙයක් එහෙම කියවුණාද?”
මා එසේ ඇසුවේ කිසිදු වරදක් අපෙන් ඇයට සිදු නොවූ බව ඉඳුරාම දැන සිටි හෙයිනි.
“අනේ නෑ මහත්තයෝ... මහත්තයයි නෝනයි මගෙ දරුවො දෙන්නෙක් වගේ මට සැලකුවා”
“එහෙනම් ඉතින් පඩි මදිද? අපි කොහොමත් ඩෝර්මන් නෝනාගේ පඩිය තව ටිකක් වැඩි කරන්න හිතාගෙන හිටියෙ”
“අනේ නැහැ මහත්තයා, මට මේ ගෙවන පඩිය හොඳටෝම ප්‍රමාණවත්”
“එහෙම නම් මොකද මෙහෙම ගෙදර යන්න තීරණයක් ගත්තේ?”
“ඇත්තෙන්ම මහත්තයා, මම ඒ ගැන නෝනාට කිව්වා, මගේ ලේලිට අසනීපයි”
“ඩෝර්මන් නෝනා මෙහෙ වැඩට එනකොටත් එයා අසනීපෙන් හිටියෙ කියල එයාට කියල තියෙනවනෙ. ඒත් හදිසියේ අමාරුයි කියල ටැලිග්‍රෑම් එකක්වත් ආවෙ නැහැනෙ?”
“ඒ වුණාට මම මේ මාසෙ ඉවරවෙන්න කලින් එනව කියල පොරොන්දු වෙලා ආවෙ මහත්තයා”
ඇය පැවසුවේ බිම බලා ගනිමිනි. ඇයගේ කතාවේ බොරුව වූයේ එතැන ය.
අප එකිනෙකා වෙත වූ හිතවත්කම මත අවංක තැනැත්තියක වූ ඇයට මගේ මුහුණ දෙස බලාගෙන, බොරුවක් කීම ලෙහෙසි පහසු දෙයක් නොවන්ට ඇත. තවදුරටත් ඇය අපහසුතාවයකට පත් නොකර මා ඇසුවේ අඩුම තරමින් තව මාසයක් වත් අප නිවසේ සේවය කළ නොහැකිද යන්න ය.
“..මේ බ්‍රහස්පතින්දා හවස මම ගෙදර ඉන්නම ඕනෑ මහත්තයා....”
ඇය පැවසුවේ නොසැලෙන ස්ථීරසාර කටහඬකිනි.
“මගේ නෝනා ඩෝර්මන් නෝනාට බොහෝම ආදරෙයි. ඩෝර්මන් නෝනාත් ඒ වගේම ඇයට හිතවත් බව මම දන්නවා. දැන් එක පාරටම ඩෝර්මන් නෝනාගේ වැඩ පිළිවෙළට හරි ගැහෙන්න එයාට අමාරුයි. එයාට ගෙදර වැඩපළ ගැන තේරුමක් නෑ. ඒ නිසා බැරිද තමුන්ගෙ හිතවත් ස්වාමි දූ වෙනුවෙන්වත් තව සතියක් නවතින්න..”
ඒ හේතුවෙන් මේ යහපත් කාන්තාවගේ හදවත සසල වූවායයි මම සිතමි.
“හොඳයි මහත්මයා නෝනා වෙනුවෙන් මම සතියකින් ආයෙත් වැඩට එන්න පොරොන්දු වෙන්නම්. ගෙදර ලොකු වැඩ ටික ඉතිරි කර තියන්න කියල නෝනාට කියන්නම්. ඒත් මේ සතියෙ නම් මම ගෙදර යා යුතුමයි....”
ඇය නැවතත් පෙර පරිදිම ස්ථීරසාර හඬකින් පැවසුවා ය.
ඇයට අවශ්‍යව ඇත්තේ පෞද්ගලික කරුණක් අරබයා සතියක නිවාඩුවක් ලබා ගැනීමය. මේ සතියේ කටයුතු අප දෙදෙනාට කෙසේ හෝ කළමනාකරණය කරගත හැකි වනු ඇත. එහෙත් ලේලියගේ අසනීපය පිට දමා මේ සතිය තුළම ඇයට නිවාඩු යාමට ඇති වුවමනාව මා තුළ ඇති කළේ බලවත් කුතුහලයකි.
“හොඳයි එහෙනම් එහෙම කරමු. ඒත් දැන් මට කියන්න ඇයි මේ සතියේම යන්ඩ හදන බරපතළ කාරණාව”
ඒ පැනයත් සමඟම ඇය එක්වරම නිරන්තරයෙන් කරවටා දමා ගෙන තිබූ සළුව ඇඟ වටා ඔතා ගත්තේ හදිසියේම දරුණු ශීතලක් දැණුනාක් මෙනි.
ඉක්බිති හිඳගෙන සිටි මා දෙසට හිස පහත් කළ ඇය සිරුරේ රුධිරය ගල් කරවන තරම් ගැඹුරු පහත් හඬකින් මෙසේ පැවසුවා ය.
“මෙතන කලින් තිබිල තියෙන්නේ මහා භයංකාර දේවල් සිද්ධ වුණ විශාල මන්දිරයක් ”
මේ භයංකාර දේවල් පිළිබඳ කතාව ඇත්ත හෝ බොරු හෝ වේවා මා පළමුවෙන්ම ඇයගෙන් ඉල්ලා සිටියේ, මේ පිළිබඳ අල්පමාත්‍ර වූ හෝ දෙයක් ලෝරාට නොපවසන ලෙසය. එවැන්නක් දැන ගතහොත් තවත් එක මොහොතක් හෝ මෙහි රැඳී සිටීමට ඇය කැමති නොවන බව මට සහතික ය. බුද්ධිමත් වැඩිහිටි ගැහැනියක වූ ඩෝර්මන් මහත්මිය ලෝරාට එවැන්නක් ගැන ඉඟියක් හෝ ලබා නො දෙන බවට මට සහතික වූවා ය.
ඉන් අනතුරුව මා ඇගෙන් ඉල්ලා සිටියේ මෙහි තිබූ බව කියන පෞරාණික වලව්ව පසුබිම් කරගත් තොරතුරු පිළිබඳව මා සමඟ පවසන ලෙස ය.
“මහත්තයා දැකල තියෙනවද අපේ පල්ලියේ අල්තාරය දෙපැත්තෙන් ප්‍රතිමා දෙකක් පිහිටල තියෙනවා...”
“ඩෝර්මන් නෝනා ඔය කියන්නේ යුද ඇඳුම්වලින් සැරසිලා ඉන්න ආකාරයට හදල තියෙන නයිට්වරුන්ගේ ප්‍රතිමා දෙක නේද?”
“අන්න හරි මහත්තයා”
“ඒ ප්‍රතිමා දෙක අයිති නයිට්වරුන් දෙදෙනා මෙතැන තිබුණ වළව්වෙ තමයි ඉඳල තියෙන්නේ. මේ දෙන්නම අහස පොළොව නුහුලන අපරාධ කරපු ඉතාම දුෂ්ඨ මිනිසුන් දෙදෙනෙක්. එක දවසක් ගෙට වැදුණු අකුණු පහරකින් දෙන්නම මැරිල තියෙනවා. ඒත් ඔවුන්ට තිබුණ බල පුළුවන්කාරකම නිසා පල්ලියෙ අල්තාරෙ දෙපැත්තෙන් ඔවුන්ගෙ ප්‍රතිමා හදවල තියෙනව”
“ඔව් ඉතින් ?”
“මේ ගමේ හැමදෙනා ළඟම ලොකු විශ්වාසයක් තියෙනවා සියලු ශාන්තුවරයින්ගේ දිනයට කලින් දවසේ ඒ ප්‍රතිමාවලට ප්‍රාණය ලැබෙනවා කියලා. පණ ලැබුණු ප්‍රතිමා එදින රාත්‍රි 12.00 වදින විට පල්ලියෙන් එළියට ඇවිත් කෙළින්ම සුසාන භූමියට යනවලු. ඊට පසු පල්ලිය වටේ තියෙන පටු මාවත ඔස්සේ ඇවිදගෙන යන්න පටන් ගන්නවලු. රාත්‍රියේ ඔවුන් ඇවිද ගිය අඩි සලකුණු පවා වැසි දිනවලදී සමහරුන්ට දැක ගන්නට ලැබී තිබෙනවා”
“ඉතින් ඔය විදියට රෑ මුළුල්ලේ එයාල කොහේද ඇවිදගෙන යන්නේ?”
“වෙන කොහොටවත් නෙවෙයි. මෙහාට, ඒ ගොල්ල එන්නේ තමන්ගේ පැරැණි නිවහන තිබුණු තැනට. හැබැයි ඒ එන අතරවාරයේ කවුරු හරි මනුෂ්‍ය ප්‍රාණියෙකු මුණ ගැහැණොත්.....අපොයි ස්වාමි දරුවනේ ”
දෑත් අහසට ඔසවා ඉන් අනතුරුව සිය පපුවේ ශූද්ධ වූ කුරුසියේ සටහන ලකුණු කරගත් ඩෝර්මන් මහත්මිය මේ අද්භූත කතන්දරය එක්වරම නවතා දැමුවා ය. මේ නිසා ඇවිදින නයිට්වරයන්ගේ ප්‍රතිමාවලට ප්‍රාණියකු මුණ ගැසුණහොත් සිදුවන්නේ කුමක්දැයි යන්න පිළිබඳව ඇගෙන් පිළිතුරක් ලබා ගැනීම උගහට විය.
මොහොතක් කල්පනා කළ මට පෙනී ගිය වැදගත් ම කරුණ වූයේ සියලු ශාන්තුවරයන්ගේ දිනයට කලින් මෙතැනින් පිටව යාමට ඇයට අවශ්‍ය වූයේ ඒ නිසා බව ය. මෙවැනි මිථ්‍යා විශ්වාස දැඩි ලෙස පිළිගන්නියක වශයෙන් ඇගේ එම තීරණය සාධාරණ බව මම පිළිගතිමි.
මම ඇගේ ඉල්ලීමට එකඟ වූවෙමි.
"මහත්තයා මට කියන්නට තියෙන්නේ මෙපමණයි. සියලු ශාන්තුවරයන්ගේ දිනයට පෙරදින හැන්දැවේ දොර ජනෙල් ඔක්කොම හොඳට අඟුල් දාලා නිදා ගන්න. ඒ වහපු හැම දොරකම, ජනේලයකම කුරුසයේ ලකුණු ඇඳ දමන්න අමතක කරන්න එපා...”
ඇය ඉතා කාරුණිකව මගෙන් ඉල්ලා සිටියා ය.
“...හොඳයි, අඩුම තරමින් මේ ටිකවත් මට කියන්න, කවුද ගිය අවුරුද්දේ සියලු ශාන්තුවරයන්ගේ දවසේ මෙහෙ හිටියෙ....?”
“..ඒ කාල සීමාවේ කවුරුවත් මේ ගෙදර නවතින්නේ නෑ. මේ ගෙදර අයිතිකාරිය පවා ඒ කාලයට ලන්ඩන්වල මාසයක් ගතකරලා තමයි ආපහු එන්නේ, එදා රාත්‍රි කාලයට පණට ආදරය ඇති මේ ගමේ කිසිවෙක් එළියට බහින්නේ නෑ...”
මේ අයුරින් බරපතළ අනතුරු ඇඟවීමක් කරමින් ඩෝර්මන් මහත්මිය සතියක නිවාඩුවක් ලබාගෙන, පිටව ගිය අතර, මම නයිට්වරුන් පිළිබඳ වෘතාන්තය ලෝරාට හෙළි කිරිමෙන් වැළකී සිටියෙමි.
(තව කොටසක් ලබන සතියේ)
(එව්ලින් නෙස්බිට්ගේ නැමැති කෙටිකතාව ඇසුරිනි)