මංගල පෝරුවේ චාරිත්‍ර හරියට ඉටු කරන්න ‘දැනමිතියා’ තෝරගන්න

සැප්තැම්බර් 20, 2024

 

ඉෂ්ඨ දේවතාවන්, සමස්ත දෙවියන් උදෙසා මනාල යුවළගේ මංගල පෝරුවේ පහන් දැල්වීම, මව්පියන් හෝ මාමා කෙනකු විසින් කළ යුතු චාරිත්‍රයක් වුවත්, එය මඟ හැරී ඇති බවද පෙනේ. සමහර පළාත් හා ඒ ඒ අයගේ පිළිගැනීම්, අනුව එතැන සිටි කෙනකු, වැඩිහිටියකු නැත්නම් චාරිත්‍රය සිදු කිරීම මනාල යුවල විසින්ම සිදු කරන බව මා දැක ඇත. මෙය ඉටු කිරීම වඩාත්ම සුබ වන්නේ යුවළගේ පියා හෝ මාමා කෙනකු අතින් බව පෙනී යන අතර, එවැන්නකු නොමැති අයට නම්, ගුණවත් , නැණවත් වැඩිහිටියකු නම් සුදුසු බවට තීරණය කර ගැනීම යහපත්ය.

මනාල යුවළකට හිමිවන පෝරුවේ නැඟීම, සම්මතයට හා ජීවිතයටම එක් අවස්ථාවකි. අත්තා, මුත්තා, කිරි කිරිත්තා, පනත්තා, ආදී හත්මුතු නෑදෑ පරපුරම සිහිපත් කරන ඒ අවස්ථාවට පහන් දැල්වීම සුදුසු කාර්යයක්ද බව පෙනී යන්නකි. පෙර බමුණු බ්‍රාහ්මණයන් විසින් භාරතයේ පැවැත්වු කාලයක් වූ මහා සම්මතය වූ

ඉමේ භද්ධ මහා කල්පේ
සුභ්‍රහ්ම නාම දායකේ
ඔක්කා රාජ කාලේන
බ්‍රහ්මාභියේ පවත්තකි

ඔක්කාක නම් රජකල
සුබ්‍රහ්ම යයි නම් කළ
නායක බමුණුූ කුල
තමයි බ්‍රහ්මාභියේ මුල

මේ ආදි විදියට අතීතයේ චාරිත්‍ර කටයුතු ශාස්ත්‍රීය දේ හා පිළිගත් දේ පිළිබඳව කියවෙන බවත්, කටවචන වලද පවතී. මා සතු පොතක තිබූ පරිදි, එම පුස්කොළ පොත පාරම්පරිකය. එය දිරාපත්ය. සියලු වටිනා ශාස්ත්‍ර ලියා ඇත්තේ කවියෙනි.

‘ශකවසිනා, එක දහසකිනා අටසියයට වුණා. විසිහත පැමිණා’ මේ විදියට ඇත. කාලය ගැන බලනවිට දැනට වර්ෂ 97 පමණ වේ. එම කාලය 1927 පමණ විය හැකියි. එහි ලියා තිබූ පරිදිම දෙයක් ඉදිරිපත් කරමි. අවශ්‍ය දන්නෝ තෝරා බේරා ගනිත්වා, පෝරුවේ චාරිත්‍ර කරන්නා පිළිබඳව දක්වාලීමකි. එය කවි 9කින් ලියා ඇත.

අද මංගල පෝරු චාරිත්‍ර ඉටු කරන්නා දෙස විමසිලිමත් විය යුතුය. එම වේලාවට ප්‍රධානියෙක් දැන මුත්තෙකි. සමහර අය සීමාව ඉක්මවා කටයුතු කරයි. කටයුතු අවුල් කර ගනී. කලබල වෙයි. කාලය අඩු වැඩි කරගනී. කාලය කළමනාකරණය නොකරගනී. අවශ්‍ය තැනට අවශ්‍ය දේ නොකියයි. චාරිත්‍ර කටයුතු පිළිවෙළකට නොකරයි. කියූ දේ නැවත කියයි. අණදෙයි. හෑලි දොඩවයි. අවසානයේදී එතැන සිටින මව්වරු බලාපොරොත්තුවෙන් සිටින කිරිකඩ හේළයේ කවි පෙළවත් කීමට නොදනී. මේ ආදි කටයුතු කරන අය සිටින බවද මා දැක ඇත. මේ උත්තරීතර කරන වැදගත් කටයුත්ත සම්භාවනීය අවස්ථාවේදී ඉටු කර දීමට ඒ අය කටයුතු කළ යුතුයි.

සිව්වරම් දෙවියන් සිහිකර මංගල පෝරුවේ සිව්කොණ පහන් දැල්වීම

මඟුල් බෙර ආදිය ඇතොත් එම වාදන සමඟ යුවතිපති යුවල කැදවා ඒම

ත්‍රිවිධ රත්නය සිහිකර දේවතා ආරාධනාකර පෝරුවේ දොස් හැරීම

මනාල යුවළ මනාලිය වමටත් මනාලයා දකුණටත් තබා මාමාවාරුන් හෝ දෙමාපියන් හෝ ගුණැති ඥාතිවරු විසින් යුවල පෝරුවට නැංවීම

පෝරුවට නියමිත කියමින් ඉදිරිපත් කර අදාළ චාරිත්‍ර ඉටු කිරීම

තැලිපිළි ඇන්දවීම, බුලත් හුරුළු මුදු මාල මාරුව

අතනූල බැඳීම, ජය මංගල ගාථා බාලිකාවන් ලවා කියවීම.

නෑදෑයින්ට බුලත් දීම, තෑගි දීම මාරුව

මනාලියගේ මවට කිරි කඩහේලය පිදීම .

සෙත්පිරිත් කියා නියමිත වේලාවට යුවළ පෝරුවෙන් බැස්සවීම

පොල් බිදීම,

මේවා සමහර පලාත්වල වෙනස්ය. කෙසේ හෝ සියල්ල ඉටු කළ යුතුය.

එදා සිට පැවතී ඇති කටයුතු චාරිත්‍ර කරන්නාගේ ගුණාංග මෙහි දක්වා ඇත. සුදුසු පරිදි කෙසේ වෙතත් කටයුතු කිරීම මුදලට හෝ තෑගිවලට සීමා නොවී කටයුතු කිරීම, ප්‍රයෝජනයකි. ආදර්ශයකි. පැරැණි චාරිත්‍ර පවත්වා ගෙන යාම, මතු පරපුර දැනුවත් කිරීමකි. දක්වා ඇති පරිදි කටයුතු කිරීම චාරිත්‍ර කරන්නන් දැනුවත් කිරීමකි.

 

මෙවන් කප මුල කිරුළ හිමි වූ උපන් සම්මත නිරින්දෝ හට
රුවින් අගපත් මැණික් පාලය බිසව පාවා ගන්න ගිය විට
එවන් රජතුමා බමුණො අට දෙන පෝරුවේ මංගලම් කීමට
කියන් සබ මැද මෙවැනි මහතුන් ඉදිරිපිට පෙර සිරිත විල සට


පස්පව් දස අකුසල් කරලා බොරු බස් කියමින් හොර මැර කරනා
දොස් ඇඟපත කොරලත් ඇති පය බරවා වු කතුන් කනා
උස් මිටි ඇග වක්කුදු ඇති දත් බොල්ලෑ කට ගඳ ගස්නා
ඉස්තිර ලෙස තෝරා හරිති මහලු බමුණූ සිහිමද ඇතිය දනා

ඉසත්, කඩකෙස් ගතත් කොරළත් පයත් බරවා කිටේ කුණු කෙළ
ගතත් කළු පැහැ ඇතිවු රළු ගුණ දතුත් බොල්ලෑ ඇඟේ ගඩු පොල
කිසිත් දන් පින් නොකර පස්පව් කරන පවිටු වූ දන නපුරු කුල
කිසිත් මෙම ගුණ නැතිවූ හැමදෙනා එරනිඳු සඳ නොනැඟෙන පහ කළ

නිතර ගුරුවරු දෙමව්පිය හට රළු බසින් තෙපලන තැනැත්තෝ
සසර ගොඩලන උතුම් තෙරුවන් නොවදිනා පව් කර්ම ඇත්තෝ
නිතර බොරු බස් තෙපලනා අය සමඟ අඩු කුල උපන් ඇත්තෝ
මෙවර සුබ මංගලම් කීමට මෙකි අය තෝරා නො ගත්තෝ

උතුම් තෙරුවන් වඳින පන්සිල් රකින ගුණදම් පුරණ ඇත්තා
බැතින් ගුරුවරු දෙමව්පියනට නිතර බුහුමන් කරන ඇත්තා
බැතින් සතහට මෙත් ගුණෙන් යුත් සතර ශිල්පය දැන උගත්තා
උතුම් සුබ මංගලම කීමට මෙකී අය රජ තෝර ගත්තා

උගත් එළඳ ළමැද ගෝමර දිලෙන රුව නනන්දවා
සිතක් නොමසුරු යදින්නට දෙනා දනින් උන සිත පහදවා
අතුළත් ඔනිසි වළලු මිරිවැඩි ඉසට මුන්ඩා සහ දෙවා
උන්ට පලදින ලෙසින් සුදුවන් පාට අනගිව සලු දෙවා

ඉසමත සුදු ජටාව බැඳ අටසිල් නිති රකිමින්
දසට සිල්ප නිපුණ වෙමින් නව ගුණ වැල කරේ ලමින්
ලොවට පිහිට වෙමින් නිතර බුදු ගුණ සතහට කියමින්
යසට ඇවිත් තෝරා ගති බමුණෝ අට දෙන මෙලෙසින්

තුටින් බමුණො අට දෙනවිත් පෝරුවෙ අට කොනේ ඉන්දු
උතුන් මහරජ සමඟ බිසවත් මඟුල් පෝරුවෙ වඩා ඉන්දු
බැතින් තෙරුවන් නැමැද පළමුව රැගෙන අවසර එමන් නන්දා
පටන් ගති ඒ බමුණො අටදෙන මංගලම් කීමට එදා

උතුමන් එසිරිත එදා පැවතුණ නිසා අද දින අප විසින්
බැතින් තෙරුවන් නමැද පළමුව රැගෙන අවසර සියලු මුරුගෙන්
නිතින් මේ දෙදෙනාම පෝරුවෙ සිටුවමින් බැඳ නුල් අතපැන්
පටන් ගත්තෙලු කියන්නට මංගලම් අෂ්ටක උන් විසින්

පැරණි පොත සඳහන් වී ඇත්තේ මේ ආකාරයෙනි. සමහර විට කටපාඩමේ තිබූ දෙයක් ලියා තැබුවා විය හැකියි. එදා ඒ ආකාරයට කියා තිබුණානම් අද කාරන කාරන කටයුතු කොහොමද මේ පිළිගෙන කටයුතු කරන්නේ නම් කොපමණ අගේද? එයින් ලබන ප්‍රතිඵලය හා ආශිර්වාදය කියා නිම කිරීමට නොහැකිය. පිළිගත් ඇත්තෝ නිවැරැදිව කටයුතු කර ගැනීමට වග බලා ගනිත්වා.!

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.