අද්භූත රෝගියා

අගෝස්තු 2, 2024

එක් රෝගියකු සුප්‍රකට ශල්‍ය වෛද්‍යවරයකුගේ සායනය වෙත පැමිණ සිටියේ ඔහු නින්දෙන් අවදි වීමට හෝරාවකටත් පෙරය.

“මට තව එක මිනිත්තුවක්වත් පරක්කු වෙන්න බැහැ කියල දොස්තර මහත්තයාට කියාපං, මට ඉක්මනින් ම ප්‍රතිකාරයක් අවශ්‍යයි”

දොර විවෘත කරනු ලැබු සේවකයා අමතා රෝගියා පැවසීය. සේවකයා ගෙන ආ පණිවිඩයට සවන් දුන් වෛද්‍යවරයා වහා හැඳ පැලඳ ගත්තේ රෝගියාට ඇතුළට එන මෙන් දන්වන ලෙස සේවකයාට නියම කරමිනි.

වෛද්‍යවරයා හමුවට ආ රෝගියා සිය බාහිර පෙනුමින් ද හැසිරීමෙන්ද පෙන්වා දුන්නේ තමා මේ සමාජයේ ඉහළම පන්තියේ අයකු බවය. නමුත් දුප්පත් පොහොසත් කාටත් පොදුවේ අත්විඳීන්නට සිදුවන රෝ බියත් වේදනාවත් හේතු කොට ගෙන සුදුමැළි මුහුණින් ද, එල්ලා ගත් දකුණු අතින් ද යුතු වූ හෙතෙම වෛද්‍යවරයා ඉදිරියේ පෙනී සිටියේය. සිය වේදනාව දරාගෙන සිටීමේ උපරිම උත්සාහයක නිරත වුවද, ඒ උත්සාහය අසාර්ථක වූ සෑම විටකම වේදනාවේ තරමට ම සරිලන කෙඳීරියක් රෝගියාගේ මුවින් පිටවිය.

“ දැන් පළමුවෙන් ම ඔබ කරුණාකර වාඩි වෙන්න. ඊළඟට අමාරුව මොකක්ද කියන්න”

ශල්‍ය වෛද්‍යවරයා රෝගියාට පැවසුවේය.

“මගේ දකුණු අතේ අමාරුවක් තිබෙනවා. ඒ මොකක්ද කියලා තේරුම් ගන්න අමාරුයි. සමහර විට පිළිකාවක් හරි නැතිනම් ඒ වගේ දරුණු ලෙඩක් හරි වෙන්න පුළුවන්. මේ වේදනාව නිසා පසුගිය සතිය පුරාම මට හරිහැටි නිදා ගන්න ලැබුණේ නැහැ. මුලින් මුලින් කොහොම හරි ඉවසාගෙන ඉන්න පුළුවන් වුණත්, මේ වෙනකොට කිසිසේත්ම ඉවසන්න බැරි දැවිල්ලක් ඇති වෙන්න පටන් අරගෙන තියෙනවා. ඒ වේදනාව නම් මොන විදියකින්වත් දරා ගන්න පුළුවන් එකක් නෙමෙයි. තව පැයක්වත් මේ වේදනාව උහුලන් ඉන්න ගියොත් නොඅනුමානව මම පිස්සෙක් බවට පත් වෙන්න පුළුවන්. අනේ දොස්තර මහත්තයා මගේ අතේ මේ කැක්කුම ඇති කරන තැන පුච්චල හරි, කපල දාල හරි මාව සනීප කරන්න. කරුණාකරල දන්න මොනව හරි කරල මාව සනීප කරන්න”

රෝගියා බැගෑපත්ව ඉල්ලා සිටියේය.

මේ අවස්ථාවේ රෝගියා සන්සුන් කරවමින් කතා කළ ශල්‍ය වෛද්‍යවරයා බොහෝ විට මෙය එවැනි සැත්කමක් කළ යුතු දෙයක් නොවන බව පැහැදිලි කළේය.

“නෑ, දොස්තර මහත්තයා මේ වේදනාව ඇතිවෙන තැන කපා දැමිය යුතුමයි ”

රෝගියා අවධාරණය කළේය.

“ඇත්තම කියනවානම් මම ආවෙ ඒ සඳහාමයි. මම දන්නවා ඒ වේදනාව නැති කරන්න තියෙන ප්‍රතිකාරය එය බව” රෝගියා පැවසීය.

ඔහු තම අත එල්ලා ගෙන වෛද්‍යවරයා වෙතට යොමු කළේය.

“ පිටතට පේන්න මගේ අතේ කිසිම තුවාලයක් හෝ වෙනත් ආබාධයක් නැති බව ඇත්ත. ඒත් ඒ ගැන ඔබ පුදුම වෙන්න එපා. ඒත් මේ ගැන අවධානය යොමු කරන ලෙස මම ඔබෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. ඔබගේ වෛද්‍ය ශාස්ත්‍රයට පෙනෙනවාට වඩා බොහොම වෙනස් රෝගයක් මට තියෙන්නේ”

රෝගීන්ගේ ආවේගශීලී ප්‍රකාශ ඉදිරියේ තමා පුදුම නොවන බව ශල්‍ය වෛද්‍යවරයා රෝගියාට පෙන්නුම් කළත්, ඔහුගේ අත පරීක්ෂා කර බැලීමෙන් පසු එම ප්‍රතිපත්තිය දිගටම තබා ගත නොහැකි සංකීර්ණ තත්ත්වයකට හෙතෙම පත් වූයේය. බාහිර ස්වභාවයෙන් පමණක් නොව ක්‍රියා කිරීමේදීද රෝගියාගේ හස්තය ලොව ඕනෑම නිරෝගි පුද්ගලයෙකුගේ අතක් හා සමාන බව වෛද්‍යවරයාට පෙනී ගිය බැවිනි. එනමුත් තමා වේදනාවකින් පෙළෙන බවට රෝගියා පවසන කතාව බොරුවක් නොවන බව ද ඔහුට පෙනී ගියේය.

“ හොඳයි ඔබේ අතේ කැක්කුම තිබෙන්නේ කොතැනද?” වෛද්‍යවරයා විමසීය.

තමාගේ හස්තයේ විශාල නහර දෙකක් මධ්‍යයට සිය දබරඟිල්ල දිගු කළ රෝගියා කැක්කුම කෙතරම්ද යන්න පෙන්නුම් කළේ සිය ඇඟිල්ලකින් එතන ස්පර්ශ කරන්නට පවා මාරාන්තික බියක් දැක්වීමෙනි.

“ හරියටම මෙතනද කකියන්නේ?”

වෛද්‍යවරයා රෝගියාගේ අත අල්ලා ගනිමින් විමසීය.

“ඔව්! දරුණුම විදියට කකියන්නේ එතැන තමයි”

රෝගියා පිළිතුරු දුන්නේය.

“දැන් මම ඇඟිල්ලෙන් තද කරන විට තදවෙන බව අතට දැනෙනවාද? ”

වෛද්‍යවරයා රෝගියා පෙන්වූ ස්ථානය සිය ඇඟිලි තුඩු වලින් තද කරමින් ඇසීය. පිළිතුරු දීමට නොහැකි තරමේ වේදනාවකට ඔහු පත්වූ බව දෙනෙතින් පිටතට පනින ලද රෝගියාගේ කඳුළු කැටවලින් වෛද්‍යවරයා වටහා ගත්තේය.

“ නමුත් හරිම පුදුමයි! මෙහි වේදනාවට කිසිම හේතුවක් ඇති බවක් වටහා ගන්නට මට බැහැ”

වික්ෂිතභාවයට පත් ශල්‍ය වෛද්‍යවරයා පැවසුවේය.

“ මටත් බැහැ”

රෝගියා කෙඳීරුවේය.

“ ඒ වුණාට මේ දරා ගන්න බැරි කැක්කුම, ගිනි ගන්නවාක් වැනි දැවිල්ල! අනේ! මේ වේදනාවෙන් බේරෙන්න මං මැරිලා හරි යනවා නම් කොයිතරම් දෙයක්ද? ”

රෝගියා වැළපෙන්නට වුයේය.

ඉක්බිති ප්‍රබල උත්තල කාචයක් ද ගෙන්වා ගත් වෛද්‍යවරයා යළිත් වරක් දශමයක් නෑර රෝගියාගේ මුළු අතම පරීක්ෂා කළේය. ඉක්බිති ඔහුගේ සමස්ත සර්වාංගමය පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරුව සිය නිගමනය ඉදිරිපත් කළේය.

“ ඇත්තම කියනවා නම් ඔබට කිසිම ශාරීරික රෝගයක් නැහැ. හෘදය වස්තුව, පෙනහලු මෙන්ම රුධිර ගමනා ගමනය ද ඉතා හොඳීන් සිදුවෙන බව පෙනී යනවා. ඒ වාගේ ම ඔබේ අතත් මේ ලෝකයේ ඇති අනෙක් ඕනෑම අතක් තරම් නීරෝගියි"

වෛද්‍යවරයාගේ පැහැදිලි කිරීම ගැන කිසිදු උනන්දුවක් නොදැක් වූ රෝගියා යළිත් වරක් සිය අත කෙරෙහි වෛද්‍යවරයාගේ අවධානය යොමු කිරීමේ උත්සාහයක නිරත වූයේය.

“ ඔබට පෙනෙන්නේ නැද්ද එතන ටිකක් රතුපාට වෙලා තියෙන බව?”

හෙතෙම වෛද්‍යවරයාගෙන් ඇසීය.

“හොඳයි මට හරියටම පෙන්වන්න”

වෛද්‍යවරයා රෝගියාට නියම කළේය.

රෝගියා ඉතා කැමැත්තෙන් වෛද්‍යවරයාගේ තීන්ත පෑන ආධාරයෙන් සිය පිට අල්ල මත පවුමේ කාසියක තරම් රවුමක් ඇඳ පෙන්වීය.

“හරියටම මෙන්න මෙතන දොස්තර මහත්මයා”

ඔහු තම අත වෛද්‍යවරයා වෙත යොමු කරමින් අවධාරණය කළේය.

උදැසන සිට තමා හෙම්බත් කරවමින් පසුවන රෝගියා දෙස බැල්මක් හෙළූ වෛද්‍යවරයා අද තමාට කටයුතු කරන්නට සිදුව ඇත්තේ මානසික රෝගියෙකු සමඟ යයි අනුමාන කළේය. ඒ අනුව ඔහුට ගැළපෙන ආකාරයෙන් කටයුතු කිරීමට වෛද්‍යවරයා ඉටා ගත්තේය.

“ හොඳයි මම ඔබ වෙනුවෙන් පුළුවන් ප්‍රතිකාරයක් කරන්නම්” යයි හෙතෙම රෝගියාට පැවසීය.

එහෙත් මොහොතකට රෝගියා දෙස දෙස සිය දෙඇස යොමු කළ වෛද්‍යවරයා තැති ගත්තේය. ඒ දෙඇස මුළින් දුටු රෝගියාගේ නෙත් යුවල නොවීය. එය වෙනත් කාගේදෝ බලාපොරොත්තු සහගත වූත් යම් පමණකට තර්ජනාත්මක වූත් බැල්මක් සහිත දෙඇසක්ම වූයේය.

(තව කොටසක් ලබන සතියේ)

(හංගේරියානු ජාතික කාරොයිල් කිෂ්ෆාලුඩ්ගේ කෙටි කතාවක් ඇසුරිනි)

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.