වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
දැන යමු කතරගම
කතරගම පූජා භූමිය වසරේ දවස් තුන්සිය හැටපස් දවස පුරාම සැදැහැවතුන්ගෙන් පිරී පවතින පින් බිමකි. නිවාඩු දිනයක් වේවා පොහොය දිනයක් වේවා සතියේ රාජකාරී දිනයන් වේවා සෑම දිනයකම කතරගම පූජා භූමිය සැදැහැවතුන්ගෙන් පිරී පවතී. මෙය විශේෂත්වයක් වන්නේ එහි දෛනිකව හා වාර්ෂිකව පවත්නා පුද පූජා සිරිත් විරිත් කඩ නොකොට පවත්වාගෙන ඒමයි. එමෙන්ම වසරක් පාසා පවත්වනු ලබන ඇසළ උලෙළද මෙවර අති උත්කර්ෂවත් අන්දමට පැවැත්වීමට පියවරගෙන ඇත.
කිරිවෙහෙර
ක්‍රි.පූ. සයවැනි සියවසේ මෙරටට වැඩම කරන ලද බුදුන්වහන්සේ පන්සියයක් මහරහතන් වහන්සේලා සමඟ කිරිවෙහෙර පිහිටි ස්ථානයේ සමවත් සුවයෙන් වැඩහිඳ මහසෙන් රජු ඇතුළු පිරිසට දහම් දේශනා කර ඇත. එම ස්ථානය සිහිවීම පිණිස රුහුණේ රජ පැමිණි මහානාග රජ විසින් ඓතිහාසික කිරිවෙහෙර චෛත්‍යරාජයාණන් වහන්සේ නිර්මාණය කර ඇත. මංගල සෑය නමින්ද මෙය එකල හඳුන්වා ඇත.
අෂ්ටඵල රුක බෝධීන් වහන්සේ
සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේ විසින් ශ්‍රී ලංකාවට වැඩම කරවන ලද ජය ශ්‍රී මහා බෝධි දක්ෂිණ ශාඛාව අනුරාධපුර මහමෙවුනා උයනේ රෝපණය කෙරිණි. එහිදී ජය ශ්‍රී මහා බෝධි අංකුරයෙන් ශාඛා අටක් පැණ නැගුණි. ඉන් එක් බෝ අංකුරයක් කතරගම රජ දරුවන්ටද තිළිණ කෙරෙනුයේ දෙවනපෑතිස් රජු විසිනි.
කතරගම දේවාලය
මොනරාගල දිස්ත්‍රික්කයේ මැණික් ගඟ අසළ පිහිටි එකල කාප්රගම, කදරගම යන නමිවලින්ද හැඳින් වූ කතරගමට බුදුරජාණන් වහන්සේ තුන්වැනිවර ලක්දිවට වැඩම කළ අවස්ථාවේ මෙහි සමවත් සුවයෙන් රහතන් වහන්සේලා පන්සියනමක් සමඟ වැඩ විසූ බව සඳහන් වේ. එවකට කතරගම පාලකයා වූ මහාසේන නැමැති රාජ්‍ය පාලකයා බුදුන් වහන්සේ ඇතුළු රහතන් වහන්සේලාට පුද පූජා පවත්වා ඇති බවත් ඉතිහාසයේ පෙන්වා දෙයි. ඉන් අනතුරුව කතරගම දේවාලය සඳහා කටයුතු කළේ දුටුගැමුණු රජුගේ කාලයේදීය. එළාර සමඟ යුද වැදී ජයග්‍රහණය කළ රජු කතරගම දෙවියන්ට වූ භාරය ඔප්පු කිරීම සඳහා කතරගම මහා දේවාලයේ රන්කොත් මන්දිරය ඉදිකොට කතරගම දෙවියන්ට පූජා කරන ලදී.
මැණික් ගඟ
මැණික් ගඟ යනු ශ්‍රී ලංකාවේ ඇති එකම ශුද්ධ ගංගාවයි. මෙය හඳුන්වා ඇත්තේ කප්පකන්දර නදිය ලෙසය. කතරගම ඇසළ මංගල්‍යය අවසානයේදී මැණික් ගඟේ ජීවමාලි තොටුපලේ දී දිය කැපීම සිදුකරනු ලබන අතර මැණික් ගඟේ ජලය රැගෙන ගොස් ආරක්ෂිතව තබා ගැනීමටද බැතිමතුන් උනන්දු වෙති. එමෙන්ම කතරගම මහ දේවාලයට ද දිය කැපීමේ ජලය රන් කෙණ්ඩියකට රැගෙන ගොස් ඊළඟ වසරේ ඇසළ උළෙල දක්වා සුරක්ෂිතව තැන්පත්කොට තබාගනියි.
ශ්‍රී අභිනවාරාම විහාරස්ථානය
කතරගම ඇසළ මහා මංගල්‍ය අවසන්වීමත් සමඟ අභිනවාරාමයේ දී ගම් පිරිත පැවැත්වේ. එම පිරිත පවත්වනු ලබන්නේ පෙරහර අවසන්වීමෙන් පසු ගම්වාසීන්ට සෙත ශාන්තිය උදාකරලීමේ බලාපොරොත්තුවෙනි. මේ තුන්තිස් පැයේ පිරිත ආරම්භ කිරීමට පෙර පිරිත් මණ්ඩපයේ සිට කතරගම මහ දේවාලය දක්වා පිරිත් නූලක්ද සම්බන්ධ කෙරේ. පිරිත අවසානයේ දී මහා දේවාලය දක්වා යන පිරිත් පැන් පෙරහරක් ද පැවැත්වේ.
ගණ දෙවි දේවාලය
දෙවැනි රාජසිංහ රජුගේ අනුග්‍රහයෙන් ගණදෙවි දේවාලය ගොඩනංවා අත. ගණදෙවියන්ට පූජා තැබීමේ දී පොල් තැබීමට හා පොල් ගැසීමට බැතිමත්හු බෙහෙවින් උනන්දු වෙති. කතරගම දෙවියන්ගේ දේවාලයෙන් පසු ඉපැරැණි හා විශාල පුද පූජා රැසක් තබන දේවාලය ගණදෙවි දේවාලයයි.
තේවානි අම්මාන් කෝවිල
කතරගම දෙවියන්ගේ එක් බිරිඳක් වන තේවානි අම්මාන් නමින් වන කෝවිල දෙවැනි රාජසිංහ රජ සමයේ දී ඉදිකරන ලද්දකි. මේ තේවානි අම්මාන් කෝවිල හින්දු ජනතාවගේ යෝගී කටයුතුවලට යොදා ගනී.
වල්ලිමාතා දෙවොල
කතරගම දෙවියන්ගේ අනෙක් බිරිද වන වල්ලි දෙවඟන ආදී වාසී පරපුරට සම්බන්ධකම් ඇති කාන්තාවකි. කතරගම ඇසළ පෙරහර ඇරැඹුණු දා සිටම පෙරහර මහා දේවාලයෙන් පිටත්ව වල්ලිමාතා දේවාලය වෙත ගොස් දේවාභරණ, වල්ලිමාතා දේවාලයට වැඩම කරලීම, සිදු කෙරෙන චාරිත්‍රයන්ද පැවැත් වේ.
පත්තිනි දේවාලය
කතරගම පත්තිනි දේවාලයට බාරහාර වීමට පැමිණෙන බැතිමතුන් අතර කාන්තාවන් වැඩිවශයෙන් පැමිණෙන පත්තිනි දේවාලය දරුවනට වැලඳෙන රෝගාබාධවලදී ද දෙයියන්ගේ ලෙඩ ලෙස සැළකෙන රෝගවලදී මෙන්ම විවාහවීමේදීත් දරුවන් ලැබීමට සිටීමේදීත් පත්තිනි දේවාලයට භාරවීමට භාර වී පුද පූජා තැබීමට පැමිණේ.
ඊශ්වර දේවාලය
ඊශ්වර දේවාලයද ඉපැරණි දේවාලයකි. මෙහි වඩාත්ම වැදගත් ලෙස පුද පූජා පවත්වමින් උපවාස ශීලයේ දිනය වන්නේ සෑම වසරකම පවත්වනු ලබන සිව රාත්‍රී පූජාවයි. දිවයිනේ නන් දෙසින් පැමිණෙන බැතිමතුන් සිව රාත්‍රී දිනයේදී උපවාස ශීලයේ යෙදෙමින් පුද පූජා පවත්වමින් තම බලාපොරොත්තු සපල කරදෙන ලෙස ඉල්ලා සිටියි.
දැඩිමුණ්ඩ දේවාලය
දැඩි මුණ්ඩ දේවාලයට ද පැමිණ බැතිමතුන් තමන්ට සිදුව ඇති අසාධාරණකම්වලට සහනයක් ලබා දෙන ලෙස ඉල්ලමින් පුද පූජා පවත්වති.
සුමන සමන් දේවාලය
සුමන සමන් දෙවියන්ටද පූජෝපහාර පවත්වමින් සෙත් ශාන්තිය ලබාදෙන ලෙස බැතිමත්හු ඉල්ලා සිටිති.
කඩවර දේවාලය
අසාධාරණකම්වලට, ව්‍යාපාරික කටයුතුවලට දියුණුවට හා ආරක්ෂාව පතා සහනය ලබාදෙන ලෙස ඉල්ලා පුද පූජා පවත්වති.
ශ්‍රී සිද්ධසූනියම් ගම්භාර දේවාලය තම බලාපොරොත්තු ඉටුකර ගැනීමට සෙත ශාන්තිය ලබා ගැනීමටත් විරුද්ධවාදීන්ට දඬුවම් ලබාදීමටත් ආරක්ෂාව ඇතිකර ගැනීමටත් අවශ්‍ය කාරණා කියමින් පුද පූජා පැවැත්වීමට බැතිමතුන් නිතර නිතර මේ දේවාලයට පැමිණේ.
ලක්ෂ සංඛ්‍යාත මහ ජනකායන් රැයක් දවාලක් නොබලා කතරගමට බැඳී සිටිති. ඔවුහු අපේක්ෂිත සහනයද ලබති. ඒ මානසික සහනයයි. මානසික සහනය ලැබෙන විට කායික සහනයද ලැබේ.
ඡ්‍යොතිෂ ප්‍රභාෂ්වර
මොරටුවේ තිස්ස මහානාම