ඔබේ උපන් දිනයට ගැළපෙන මැණික

ජූලි 12, 2024

අතීතයේදී මෙන්ම වර්තමානයේදීත් මිනිසුන් තමාගේ අපල උපද්‍රවයන් දුරුකර ගැනීම සඳහාත් මානසික සුවය සහ ජයග්‍රහණයන් අත්පත් කර ගැනීම ඇතුළු විවිධ අරමුණු මූලික කරගෙන මැණික් පැළඳීම සිදුකරන බව කවුරුත් දන්නා කරුණකි.

මේ මැණික් පැලඳීම විවිධ ගුප්ත විද්‍යා සහ ඡ්‍යොතිෂ ක්‍රමවේද අනුව සිදුකරන අතර මෙහිදී පැහැදිලි කරනු ලබන්නේ අංක විද්‍යා ඡ්‍යොතිෂයට අනුව ඔබට ගැළපෙන මැණික් වර්ගය තෝරාගන්නා ආකාරයත් එය පැලඳීය යුතු ආකාරයත් පිළිබඳවයි. මෙමගින් මැණික් පැලදීම සම්බන්ධව උනන්දුවක් දක්වන ඔබට තිබුණු බොහෝ ගැටලු නිරාකරණය කර ගැනීමට හැකියාව ලැබෙන අතර ඒ සම්බන්ධයෙන් හොඳ අවබෝධයක් ලබා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

මේ මැණික් සහ ග්‍රහයන්ගේ කිරණ අතර යම් සම්බන්ධතාවයක් පවතින බවද දැන් නවීන විද්‍යාවෙන් තහවුරු කරගෙන ඇත. මේ මැණික්වලට ඇති ඉහළ ඉල්ලුම නිසාම වෙළෙඳපොල තුළ කෘත්‍රිමව නිර්මාණය කරන ලද ගල් වර්ගද පවතින බැවින් ඔබ මැණික් මිලදී ගැනීමේදී ඉතා විශ්වසනීයව බුද්ධිමත්ව සොයා බලා කටයුතු කළ යුතු බව අවධාරණය කරමි. කුමන ඡ්‍යොතිෂ ක්‍රමවේදය අනුව මැණික් තෝරා ගත්තත් ඔබ තෝරා ගත යුත්තේ ස්වභාවික ජීව ගුණයක් සහිත ඉරිතැලීම් සහ පලුදු නැති ගල් වර්ග පමණි. එවැනි ආකාරයේ ගල් තෝරා ගැනීමෙන් පමණක් ඔබට මෙමගින් සම්පූර්ණ යහපත් ප්‍රතිඵල ලැබීමේ හැකියාව පවතී.

මැණික් පැලඳීම මඟින් ලබාගත හැකි ප්‍රයෝජන රාශියක් ඇත. ඒ අතර කායික සහ මානසික රෝග නිවාරණය කර ගැනීම, නවග්‍රහයින්ගෙන් යෙදෙන අපල උපද්‍රව දුරුකර ගැනීම, අමනුෂ්‍ය දෝෂ දුරුකර ගැනීම, චිත්ත ශක්තිය ආත්ම ශක්තිය වර්ධනය කර ගැනීම, ආකර්ෂණය සහ තමාගේ බලය වර්ධනය කර ගැනීම, විවාහ දෝෂ දුරු කර ගැනීම, සැඟවුණු වාසනාව මතුකර ගැනීම, පවතින බාධා ඉවත්කර කටයුතු සපල කර ගැනීම, ධනය සමෘද්ධිය ඇති කර ගැනීම, දරුඵල සම්බන්ධ ගැටලු නිරාකරණය වැනි බොහෝ කාර්යයන් සපල කර ගැනීමට හැකියාව පවතී. මේ මැණික් පැලඳීම සම්බන්ධව පුරාණ වේද ග්‍රන්ථ, රසරත්නය, භාව ප්‍රකාශනය ආදී විවිධ ග්‍රන්ථයන් තුළ ද විස්තර කර ඇත.

විවිධ හේතූන් නිසා මිනිසා වටා පවතින වර්ණ හතකින් යුක්ත ඕරා ශක්තිය දුර්වල වන විට මිනිසාට විවිධ බලපෑම් සහ කරදර පහසුවෙන් ළඟාවෙයි. දුර්වල ඕරා ශක්තියක් ඇති මිනිසා වෙත ග්‍රහයන්ගෙන් නිකුත් කරන දුර්වල කිරණ ශක්තීන් සහ විවිධ නොපෙනෙන බලවේග සහ භූත ශක්තීන් පහසුවෙන් ලඟා වෙන අතර එමඟින් විවිධ බලපෑම් ඇති කරනු ලබයි. අපි එය ග්‍රහ අපල ලෙස හඳුන්වනු ලබයි. විවිධ මැණික්වලට ග්‍රහයින්ගෙන් නිකුත් කරන කිරණ ශක්තීන් අවශෝෂණය කර ගැනීමේ හෝ ඊට ප්‍රතිවිරුද්ධව ක්‍රියා කිරීමේ විශේෂ හැකියාවක් පවතී. මැණික් පැලඳීම ආකාර කීපයකට කරනු ලබයි. ඒ අනුව සුබ කිරණ ශක්තීන් බලවත් කිරීම සඳහා, අසුබ කිරණ ශක්තීන් දුර්වල කිරීම සඳහා සහ අසුබ ශක්තියට ප්‍රතිවිරුද්ධ ශක්තියක් ගොඩනැගීම සඳහා මැණික් පැලඳීම සිදු කරයි.

යම් කෙනෙකුට අපල තිබූ පමණින් ආසාව තිබූ පමණින් සහ මුදල් තිබූ පමණින් හැමෝටම මැණික් පැලඳීම සිදුකිරීමට නොහැකි බවද සඳහන් කළ යුතුය. ඒ සඳහා යම් වාසනා ගුණයක් තිබීම අවශ්‍ය වෙයි. අංක විද්‍යානුකූලව ඔබට ගැළපෙන මැණික් වර්ගය තෝරා ගැනීම මෙහිදී සඳහන් කළත් එය එතරම් පහසු කාර්යයක් නොවන වග ඔබට දැන් තේරුම් යනු ඇත. ඔබට එය ගැටලුකාරී නම් පලපුරුදු ජෝතිර්වේදියකුගේ උපදෙස් ලබා ගැනීමෙන් ඔබට එය නිරාකරණය කර ගැනීමට හැකියාව ඇත.

අංක විද්‍යා ජෝතිෂයට අනුව ඔබට ගැලපෙන මැණික් වර්ගය තෝරා ගැනීමේදී මෙහිදී ඔබගේ උපන් දින අංකය සලකා බලනු ලබයි. ඔබගේ උපන්දින අංකය සහ ඒ අනුව ඔබට ගැළපෙන මැණික් වර්ගය කුමක්ද යන්න දැන් විමසා බලමු.

ඔබ ඉපදුණේ ඕනෑම මාසයක 1, 10, 19, 28 යන දිනක නම් ඔබට රවි ග්‍රහයාගේ කම්පන බලවේගය ක්‍රියාත්මක වන අතර ඔබට ගැළපෙන මැණික් වර්ගය වන්නේ රූබිය, Ruby.. මෙය රන් මුදුවක පැලඳීම වඩා සුදුසු වෙයි. පිරිමි අයෙක් නම් දකුණු අත මැදගිල්ලද කාන්තාවක නම් වම් අත මැද ගිල්ලද පැළදිය යුතුය.

ඔබ ඉපදුණේ ඕනෑම මාසයක 2,11,20 යන දිනයක නම් ඔබ සඳු ග්‍රහයාගේ කම්පන බලවේගයට යටත් වන අතර ගැළපෙන මැණික් වර්ගය වන්නේ ස්වභාවික මුතු ඇටයක් හෝ චන්ද්‍රකාන්ති පාෂාණ වර්ගයයි, moonstone මේ සඳහා රිදී මුද්දක් සුදුසු වෙයි. පිරිමි අයෙක් නම් දකුණු අත වෙදැඟිල්ල හෝ සුළැඟිල්ලද කාන්තාවක නම් වම් අත වෙදැඟිල්ල හෝ සුළැඟිල්ලද පැලඳීම සුදුසුයි.

ඔබ ඉපදුණේ ඕනෑම මාසයක 3, 12, 21, 30, යන දිනයක නම් ගුරු ග්‍රහයාගේ කම්පන බලවේගය ක්‍රියාත්මක වන අතර පුෂ්පරාග මැණික් පැලඳීම සුදුසු වෙයි. රන් මුදුවකට සාදා පිරිමි අයෙකුගේ නම් දකුණු අත දබර ඇඟිල්ලේද කාන්තාවක නම් වම් අත දබර ඇඟිල්ලේද පැලඳීම සුදුසු වෙයි.

ඔබ ඉපදුණේ ඕනෑම මාසයක 4, 13, 22, 31, යන දිනයක නම් රාහු ග්‍රහයාගේ කම්පන බලවේගය ක්‍රියාත්මක වන අතර ගෝමේද මැණික් වර්ගය පැලඳීම සුදුසුය. රන් හෝ රිදී මුද්දකට සාදාගත හැකියි. පිරිමි අයගේ දකුණු අත මැදැ ඟිල්ලද කාන්තාවන්ගේ වම් අත මැදැඟිල්ලද පැලඳීම සුදුසුය.

ඔබ ඉපදුණේ ඕනෑම මාසයක 5, 14, 23 යන දිනයක නම් බුධ ග්‍රහයාගේ කම්පන බලවේගය පවතින අතර එමරල්ඩ් ඥථඥපචතඤ ගලක් හෝ කොළපාට පච්ච ගලක් පැලඳීම කළ යුතුය. රන් හෝ රිදී මුද්දකට සාදා ගැනීම සුදුසු වෙයි. පිරිමි අයගේ දකුණු අතේ මැදැඟිල්ල හෝ වෙදැඟිල්ලද කාන්තාවන්ගේ නම් වම් අතේ මැදැඟිල්ල හෝ වෙදැඟිල්ලද පැලඳීම සඳහා සුදුසුය.

ඔබ ඉපදුණේ ඕනෑම මාසයක 6, 15, 24 යන දිනයක නම් සිකුරු ග්‍රහයාගේ කම්පන බලවේගය ක්‍රියාත්මක වන අතර දියමන්ති ගලක් හෝ සුදුනිල් ගලක් තෝරාගත යුතුය. රිදී මුදුවකට සාදා ගැනීම සුදුසුය. පිරිමි අයගේ දකුණු අතේ මැදැඟිල්ලද කාන්තාවන්ගේ වම් අතේ මැදැඟිල්ලද පැලඳිමට යොදා යුතුය.

ඔබ ඉපදුණේ ඕනෑම මාසයක 7, 16, 25 යන දිනයක නම් කේතු ග්‍රහයාගේ කම්පන බලවේගයට යටත් වන අතර වයිරෝඩි, කැට්ස්අයි භාවිතා කිරීම සුදුසුය. රන් හෝ රිදී මුදුවකට සාදා පිරිම අයෙකුගේ නම් දකුණු අතේ දබරැඟිල්ලට හෝ වෙදැඟිල්ලටද, කාන්තාවකගේ නම් වම් අතේ වෙදැඟිල්ලට හෝ දබරැඟිල්ලටද පැලඳීම සුදුසු වෙයි.

ඔබ ඉපදුණේ ඕනෑම මාසයක 8, 17, 26 යන දිනයක නම් සෙනසුරු ග්‍රහයාගේ කම්පන බලවේගයට යටත් වන අතර කාකනිල් ගලක් පැලඳීම සුදුසු වෙයි. රන් මුදුවකට සාදා පිරිමි අයගේ දකුණු අතේ මැදැඟිල්ලටද කාන්තාවන්ගේ වම් අතේ මැදැඟිල්ලටද පැලඳීම සුදුසු වෙයි.

ඔබ ඉපදුණේ ඕනෑම මාසයක 9, 18, 27 යන දිනයක නම් කුජ ග්‍රහයාගේ කම්පන බලවේගය ක්‍රියාත්මක වන අතර රතු කොරල් පැලඳීම කළ හැකිය. රන් මුදුවකට සාදා ගැනීම සුදුසු වෙයි. පිරිමි අයගේ දකුණු අතේ මැදැඟිල්ලද කාන්තාවන්ගේ වම් අතේ මැදැඟිල්ලද පැලඳීම කළ යුතුය.

ගැළපෙන මැණික් වර්ගය තෝරා ගැනීමේදී නියමිත බරින් සහ මිලි ප්‍රමාණයෙන් යුක්තව තෝරාගත යුතුය. අවම වශයෙන් මිලි දෙසීයක් වත් බර තිබීම වඩා ප්‍රතිඵලදායක වෙයි. තවද කිසිවිටෙකත් විශේෂඥ උපදේශයක් නොමැතිව මැණික් වර්ග කිහිපයක් එකට පැළලදිම නොකළ යුතුය. මැණික් පැලදීම බුද්ධිමත්ව කළ යුතු දෙයක් වන අතර වැරදි ආකාරයෙන් මැණික් පැලඳීමෙන් අනිසි ප්‍රතිඵල ගෙන දීමටද හැකියාව පවතින බව සඳහන් කළ යුතුය. තවද මැණික් පැලඳීමේදී ඒ ඒ ග්‍රහයින්ට අදාළ දිනවල සුබ කාල හෝරාවකින් සුභ දිසාවක් බලා ඒ ඒ ග්‍රහයින්ට අදාළ ස්තෝත්‍රවලින් එකසිය අට වාරයක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ස්ත්‍රෝත්‍ර කර දේවාශීර්වාදය ඇතිව පැලඳීම තුළින් ප්‍රතිඵල දෙතුන් ගුණයකින් වැඩි කර ගැනීමට හැකියාව ඇත. තවද සුභ ශක්තීන් සහ ග්‍රහකිරණ ශක්තීන් බලවත් කිරීම උදෙසා මැණික් පැලඳීමේදී ඒ ගල් ශරීරයේ ස්පර්ශවන ආකාරයට පැලඳීම සුදුසුය. එමෙන්ම ඉන්දියානු ක්‍රමවේදයකට අනුව මැණික් සහිත මුදුව සාදා එය අමු එළකිරිවල පැයක් පමණ බහා තබා පැලඳීම මඟින් බලය වැඩිකර ගත හැකි බවට විශ්වාසයක් ද පවතී. ඔබටත් මේ නිසි ක්‍රමවේද අනුගමනය කර නිවැරැදි ආකාරයෙන් තමාට ගැළපෙන මැණික් වර්ගය තෝරා පැලඳීම තුළින් සතුට සෞභාග්‍යය නිරෝගිභාවය අත්කර ගැනීමේ හැකියාව පවතී.තිර්වේදී අමිල ජීවන්ත දීපාලෝක

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.