වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
නිවැරැදි පිරිත් දෙසුමකින් ඇතිවන දස විධ බලය
අස්සුනං සුනාති
සුතං පරියෝද පේති
කඛං උජුං විහරති
දිට්ඨිං උජුං කරෝති
චිත්තං මස්සං පසීදතී
නොඇසූ දේ දැන ගැනීමටත් ඇසූ දේවල් තහවුරු කරගැනීමටත් සැක සංකා දුරුකර ගැනීමටත් තම දෘෂ්ටිය තහවුරු කරගැනීමටත් සිතේ පැහැදීම ඇති කරලීමටත් පිරිතේ දස විද බලයක් ජනිත කරවන අයුරු කෙසේද කියා විමසා බලමු.
ශාන්ති කර්මවල මූලාරම්භය වෛදික යුගයටත් එහා සිට පැවත එන අතර වෛදික යුග අදෘශ්‍යමාන බලවේග හා ශක්ති ගැන පර්යේෂණාත්ම යුගයන් ලෙස හැඳින්විය හැකිය. දන්වන්තරී ආදී සෘෂිවරු ඔවුන්ගේ අසහාය ඥානයෙන් මිනිසාගේ ශාරීරික මානසික සුඛ විහරණය සඳහා අදෘශ්‍යමාන එම ශක්ති ප්‍රවාහ ප්‍රයෝජනයට ගැනීම පිණිස ශබ්ද තරංග යොදාගනිමින් මන්ත්‍ර ශාස්ත්‍රය ගොඩ නැඟූහ. ඒ සඳහා යන්ත්‍ර, මන්ත්‍ර යාග හෝම උපකාර කරගත්තේ ය.
ලොව්තුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේද සර්වඥතා ඥානයෙන් ලෝකය විනිවිද දුටු ලෝක විදූ ගුණයෙන් මිනිස් ඇසට හා සිතට නොපෙනෙන නොදැනෙන ශක්ති ප්‍රවාහයන් සත්වයාගේ හිත සුව පිණිස භාවිත කළයුතු ආකාරයත් පෙන්වා දුන් සේක. කරණීයමෙත්ත සූත්‍රය, රතනසූත්‍රය ආදී තවත් සූත්‍ර ගණනාවකින්ම අමනුෂ්‍ය දෝෂ, රෝග භය, ස්වභාවික විපත් දුරුකර ගැනීමට හේතුවන ධර්මතා පෙන්වා වදාළ සේක.
මේ නිසා පූර්ණ ආරක්ෂා ක්‍රමයක් ලෙස පිරිත් සජ්ඣායනා කිරීම බුදුන් වහන්සේ ජීවමාන කාලයේ සිටම අඛණ්ඩව පැවත එන ශාන්ති කර්මයෙකි.
ශාන්ති කර්ම සිදුකිරීමේ දී ඇදුරෝ ඒ ඒ ශාන්තිකර්ම සඳහා නොයෙක් විදියේ මල් බුලත් තට්ටු, පිදේනි හෙවත් පිදුම් තට්ටු, මල් පැල හා නොයෙකුත් බලි බිලිවලට අවශ්‍ය ද්‍රව්‍ය හා සුවඳ දුම් පිණිදිය ආදිය භාවිත කරති.
පිරිත් දේශනා කිරීමේදී ද ඒ සඳහා විශේෂ වූ පිරිත් මණ්ඩපයක් සාදා ඊට අවශ්‍ය දේවල් ලෙස පිරිත් මණ්ඩපයේ සුදු වියන් බැඳ ඊට යටින් තොල බෝ, ගිලිදා බුලත්, කිනිති පුවක් කිනිති, නා දළු ආදී අතුවර්ග එල්ලා පිරිත් පැන්කළය ගොක් අතුවලින් ආවරණය කොට සරසා ගොක් රැහැන් අග මල් ගැටගසා පුවක් කිනිත්තකින් හඳුන් කිරි පැන්, පිණිදිය ඉස ගනිති. එසේම පිරිත් මණ්ඩපය තුළට බුදු පිළිමයක් වැඩමවා ඊට ඉදිරියෙන් මල් පහන්, දැහැත්, ගිලන්පස ආදිය කෙසෙල් පත් ඉරුවක් මත තබති.
සුවඳ දුම් අල්ලා හඳුන්කූරු පත්තු කර, පිරුවාණා පොත්වහන්සේලා ද තැන්පත් කර පිරිත් මණ්ඩපයේ සිව්දොර පහන් දල්වා පිරිත් මණ්ඩපයට පිටතින් මිදුලේ මල්පැලවල් දෙකක් සාදා දෙවියන් උදෙසා සුවඳ දුම් අල්ලා මල් පහන් තබති. පිරිත් මණ්ඩපය ඉදිරියේ හා මල්පහන් පැල් ඉදිරියේ හේවිසි, දවුල් බෙර, සක්, හොරණෑ ඈ පංචතූර්යය නාදය සහිත ශබ්ද පූජා පවත්වනු ලබති.
මේ පිළිවෙත් තුළින් අපේක්ෂා කරනුයේ දසවිද බලයක් ගොඩනගා ඒ තුළින් අමනුෂ්‍ය දෝෂ, ග්‍රහ දෝෂ, භූත දෝෂ, භූමි දෝෂ නිසා ඇතිවන්නාවූ විපත් කරදර ලෙඩදුක් සමනය කර සුබසෙත උදාකර දීම හා සියලුම සැප සම්පත් උදාකර ගැනීමට ද එම ශක්තිය උපයෝගි කරවා ගැනීමයි. එම දසවිධ බලි මෙසේ නම් කර ඇත. ජනන බලය, ජීවන බලය, තාඩන බලය, බෝදන බලය, අභිෂේක බලය, විමලීකරණ බලය, අප්‍යායන බලය, තර්ජන බලය, දීපන බලය, ගෝපන බලය වේ.
ජනන බලය
කිසියම් බලයක් ශක්තියක් ජනිත කිරීම ජනන බලය වේ. පිරුවානා පොත්වහන්සේ තුළ පිරිත් සූත්‍ර රාශියක් ඉතාමත් නිවැරැදිව ලේඛණගත කොට ඇතත් එයට ජනක ශක්තියක් නැත. පිරුවානා පොත්වහන්සේ පන්සල්වල, පුස්තකාලවල, නිවෙස්වල සුරක්ෂිතව තබාගෙන සිටිය ද පලක් නොවන්නේ ඒ තුළ ජනන බලය ආදී දසවිධබලයන් ඉබේ ඇති නොවන නිසාය. එම නිසා ශබ්ද තරංග තුළින් පිරිත් සූත්‍ර සජ්ඣායනා කරන විටදී පිරිත් දේශනා කරන සිල්වත් පිරිසගේ ඇසත්, සිතත්, පිරිත් පොතත් නිසා මුඛයෙන් පිටවන වචන උච්චාරණය කිරීම තුළින් ජනන බලය ගොඩනැඟෙයි.
ජීවන බලය
ජනන බලයෙන් උපදින වචනාර්ථය තුළින් ජීවන බලය නැතහොත් ප්‍රාණ බලය හටගනී. සබ්බීතියෝ විවජ්ඡන්තු - සබ්බ රෝගෝ විනස්සතූ යනුවෙන් සෙත් පිරිත් සජ්ඣායනා කරන විට එම ශබ්දය හා බැඳී පවතින අර්ථය තුළින් ජිව බලයක් ඇති කරයි. සියලු භය නැති වී සැම ලෙඩදුක් නැති වී සියලු අනතුරුවලින් මිදී සැපවත් ජීවිතයක් උදාවේවායි අසන විට දී ගතට සිතට නව ජීවයක් ලැබෙයි.
තාඩන බලය
පිරිත් දේශනා කරන විටදී මුවෙන් පිටවන වායු තරංග තුළින් ඇතිවන පීඩන බලය තුළින් පඨවි, ආපෝ, තේජෝ, වායෝ අකාශ යන පංච මහා ධාතූන් තුළ ඇති විෂම ශක්තීන් පලවා හැර හිතකර ශක්තීන් ළඟා කරවයි.
බෝදන බලය
ප්‍රබෝදමත් බවක් ඇතිකරලීම භවතු සබ්බ මංගලම් රක්ඛන්තු සබ්බදේවතා සබ්බ බුද්ධානුභාවේ, සම්බ ධම්මානු භාවේන සබ්බ සංඝානු භාවේන සදා සොත්ථි භවන්තු තේ ආදී වශයෙන් සෙත් කරන විටදී බෝදන බලය ඇතිවේ.
අභිෂේක බලය
පිරිත් පැන් කළයක් ලෙස නොඉඳුල් කළයක් පිරිසුදු වතුරින් පුරවා පිරිත් මණ්ඩපය තුළට රැගෙන ඒමෙන් පසු පිරිත් නූල පැන් කළයට සම්බන්ධ කර පිරිත් දේශනය අවසන් වන තුරුම මණ්ඩපය තුළ තබාගත් විට එයට පවිත්‍ර වූ අභිෂේක බලයක් ඇතිවේ. එම පිරිත් පැන් ඉසීමෙන් පානය කිරීමෙන් අපල උපද්‍රව ලෙඩ රෝග දුරු වී සෙතක් ශාන්තියක් ඇතිවේ.
විමලීකරණ බලය
මළානික අප්‍රාණික ගති දුරුවී පිබිදීමක් ඇතිකරලීම විමලීකරණ බලයයි. විමලිකරණ බල ඇති කර ගැන්ම සඳහා පිරිත් පැන්කළයට පොල්මලක් දැමීම සිදු කරයි. පොල් මලක් තලල වෙලල කපාගත් විට ඒතුළින් වැගිරෙන තෙලිජ්ජ උණුකර පැණි හෝ හකුරු සාදා ගත හැකියි. එසේම තෙලිජ්ජ පැසෙන්න හැර රා බවට පත්කර ගත හැකිය. පොල්මල් තුළ ඇති එම ශ්‍රාවය පිරිත් පැන්කලයේ වතුරට දැමූ පසු නෑඹුල් කලයට වතුර උරා ගැනීමට ඇති හැකියාවන්හි ජලය තුළින් ඇතිවන ඇද ගැනීමේ ක්‍රියාවලිය තුළින් පොල්මලේ ඇති විමලීකරණ ශ්‍රාවය පිරිත් පැන්වලට මුසුවෙයි. පිරිත් පැන්වල නෑඹුල් සුවඳක් හා බලය මේ නිසා ඇති වේ.
අප්‍යායන බලය
පිරිත් මණ්ඩපයට පිටතින් භූමියේ මල් යහන් සාදා පහන් දල්වා සුවඳ දුම් අල්ලා දෙවි දේවතාවන්ගේ ආශිර්වාද ලබා ගැනීම තුළින් අප්‍යයන බලය ඇතිවේ.
තර්පන බලය
පිරිත් මණ්ඩපයේ පූජාසනය පසෙකින් තබා තිබෙන පිරුවානා පොත් වහන්සේලා පොල් තෙල් පහන් හා බුලත් හා කපුරු පෙති දැල්වීම තුළින් තර්පන බලය ලැබෙයි.
දීපන බලය
පිරිත් මණ්ඩපය මත වඩා හිඳුවා ඇති බුද්ධ ප්‍රතිමාව සහ කෙසෙල් කොළ මත තබා ඇති බුලත් කොළ මල් පොල්තෙල් පහන් තුළින් දීපන බලය ඇති කරවනු ලබයි.
ගෝපන බලය
පිරිත් සජ්ඣායනා කිරීමේ දී අකුරු ඉස්පිලි පාපිලි අල්ප ශබ්ද මහප්‍රාණශබ්ද හල් අකුරු බැඳි අකුරු ආදී සියල්ල නිවැරැදිව උච්චාරණය කිරීම නිසා ඇතිවේ. එසේ නොවන විට දෝෂ අටක් ඇතිවේ. අභක්ති දෝෂය, භ්‍රාන්ති දෝෂය, ලුප්ත දෝෂය, ජින්න දෝෂය, ස්වප්ප කථන දෝෂ, භ්‍රස්වදෝෂ දීර්ග දෝෂ, කථන දෝෂ යනුවෙන් එම දෝෂයන් දක්වා ඇත.
මෙකී ආකාරයට පිරිත් දේශනා කිරීමේ දී ඇතිවන දසවිධ බලය ශබ්ද තරංග, ජල තරංග, තේජෝ තරංග, පඨවි තරංග වශයෙන් අවකාශ ධාතුව පුරා පැතිරෙන අතර පිරිත් නූල්වල ඇති සියුම් අංශුවලද ඒවා තැන්පත් වෙමින් ගලායයි. භක්තියෙන් යුතුව පිරිත් නූල් අල්ලාසිටින අය තුළට එම ශක්තිය ඍජුවම ලැබෙයි.
ඡ්‍යොතිෂවේදී කොබ්බෑවල සුමනදාස වීරසිංහ