එඩ්ගා කේසි නින්දෙන් කියූ විස්මිත අනාවැකි

ජුනි 28, 2024

ඇමෙරිකාවේ කෙන්ටකී ප්‍රාන්තයේ දුප්පත් පවුලක 1877 මාර්තු 18 උපන් එක්තරා පිරිමි ළමයෙක් අසීමිත ලෙස බයිබලය කියවීමට යොමු වී සිටියේය. සම වයසේ පිරිමි ළමයින් විවිධ ක්‍රීඩාවල යෙදෙද්දී මේ ළමයා නිදහසේ බයිබලය කියවීමට තෝරා ගත්තේ අසල වනරොදය.

මේ වන විට 11 හැවිරිදි වියේ පසු වූ ඔහුට දිනක් වනාන්තරයේදී අද්භූතජනක අත්දැකීමකට මුහුණ දීමට සිදු විය. ඔහු සිය දෙමව්පියන්ට පැවසු පරිදි එක්වරම පිහාටු සහිත සුන්දර කාන්තාවක් ඔහු ඉදිරියට පැමිණ ඇත. ඇය ඔහුගෙන් අසා ඇත්තේ “ඔබට ජීවිතයේ වැඩියෙන්ම වුවමනා කුමක්ද?” යන්නයි. ඔහුගේ පිළිතුර වී ඇත්තේ තමාට සමාජයේ අනික් මනුෂ්‍යයින්ට, විශේෂයෙන්ම අසනීපව සිටින කුඩා දරුවන්ට උදව් කිරීමට අවශ්‍ය බවය.

මේ සිදුවීමෙන් අනතුරුව දිනක් ඔහුගේ ප්‍රගති වාර්තා පොත පරීක්ෂා කර බැලූ ළමයාගේ පියාට පෙනී ගොස් ඇත්තේ ඔහු භාෂා දැනුම සඳහා ඉතා අඩු ලකුණු ප්‍රමාණයක් ලබාගෙන ඇති බවය. කෝපයට පත් වූ පියා ඔහුට තදින් පහර දී නොසෑහෙන ලෙස බැණ වැදී ඇත. එදින සවස් කාලයේ මේ පිළිබඳ කනගාටුවට පත්ව සිටින ළමයාට වනාන්තරයේ දි හමුවූ කාන්තාවගේ කටහඬ යළි ඇසී තිබේ.

ඇය ඔහුට පවසා ඇත්තේ තමාට පාඩම් කිරීමට අවශ්‍ය පොත කොට්ටය යටින් තබාගෙන නිදා ගන්නා ලෙසය. ඇය පැවසූ ආකාරයට නිදාගත් ළමයාට පසු දින මුළු පොතම වචනයෙන් වචනයට කිව හැකි ආකාරයට මතකයේ රැ¼දී තිබුණු බව පැවසේ.

මේ ළමයාගේ නම එඩ්ගා කේසිය. පසු කලෙක ලෝ පතළ පුද්ගලයකු බවට පත්වූ එඩ්ගා කේසී යම් සුවිශේෂතවයක් සහිත දරුවකු බව දෙමව්පියන්ට වැටහෙන්නට පටන් ගත්තේ පෙර කී සිදුවීම හේතුවෙනි. වරක් පාසැලේ යම් ක්‍රීඩාවක නිරතව සිටියදී ඇද වැටීම නිසා ඔහුගේ කොන්දේ ආබාධයක් ඇතිවිය. මේ අබාධය හේතුවෙන් ඔහු තාවකාලික ලෙස අංශභාග රෝගී තත්ත්වයට පත් වූයේය. අසනීපයෙන් ගිලන් ඇඳ මත නිදා සිටියදී පෙර කී දිව්‍යමය කාන්තාව යළිත් ඔහුට සිහිනයෙන් පෙනී ඇත. ඒ සිහිනයේදී ශාකසාරවලින් සාදාගත හැකි ඖෂධයක් පිළිබඳව ඇය විසින් ඔහුව දැනුවත් කර තිබිණි.

ඊළඟට එඩ්ගා කේසී ඉතා දරුණු ලෙස තම ස්වරතන්තු ඉදිමීමේ රෝගයකට ද ලක්වී ඇති අතර වෛද්‍යවරුන්ට එයට හේතුව දැනගත නොහැකී වී ඇත. මේ අවස්ථාවේදී මෝහන නිද්‍රාවකට ඇතුළු වූ ඔහු තමාට මේ ආබාධය ඇති වී තිබෙන්නේ මානසික අංශභාග තත්ත්වයක් නිසා බව ඔහු විසින්ම දැනගෙන තිබේ. එම නිසා ශරීරයේ එම අංශයට වැඩිපුර රුධිරය ලබා දෙන ලෙස ඔහු තම යටිසිතට උපදෙස් දී තිබේ.

ටික වේලාවකදී ඔහුගේ ගෙල ප්‍රදේශය රත් පැහැයට ලක් වූ අතර, මෝහන නිද්‍රාවෙන් අවදීවීමත් සමඟ එම රෝගයද සම්පූර්ණයෙන්ම සුවපත් වූ බව ඔහු පිළිබඳ වාර්තාවල සඳහන් වේ.

යෞවනයේදී ඔහු පෙම් බැඳී තරුණියත් සමඟ ඔහු තමා පිළිබඳ මේ තොරතුරු පවසා තිබේ. ඇය ඔහුට පවසා ඇත්තේ “දෙවියන්ගෙන් ඔබට ලැබුණු මේ මහානර්ඝ ත්‍යාගය ලෝකයේ අසරණ වූ ජනතාව සමඟ බෙදා ගන්න” යන්නය.

ඇයගේ අවවාදය පිළිගත් එඩ්ගා කේසී මෙම අනාවැකි පවසනු ලැබුවේ කවිච්චියක් මත දිගාවී ස්වයංමෝහන නිද්‍රාවකට පත්වීමෙන් පසුවය. මේ නිසා ලෝකය ඔහුව හඳුන්වනු ලැබුවේ “නිද්‍රාශීලී අනාගත වක්තෘවරයා” වශයෙනි.

1902 වසරේදී පස්හැවිරිදි වියේ පසුවූ කුඩා ගැහැනු ළමයෙක් යම්කිසි රෝගයක් නිසා අසාධ්‍ය තත්ත්වයට පත්ව සිටියදී ඔහු වෙත රැගෙන එන ලදී. හදිසි අනතුරක් හේතුවෙන් ඇගේ මොළයට දරුණු ලෙස හානි වී ඇති බව වෛද්‍යවරු පවසා තිබේ. එඩ්ගා කේසී පවසා ඇත්තේ දැරිය කොඳු ඇට පෙළෙහි ආබාධයකින් පෙළෙන බවත්, එය යථා තත්ත්වයට පත්කළ හැකි බවත්ය. මේ උපදෙස් මත කරන ලද ප්‍රතිකාරවලින් පසු දැරිය සුවපත් වූඅතර, එඩ්ගාකේසීගේ කීර්ති නාමය එයින් පසු ඇමෙරිකාවෙන් ඔබ්බටද පැතිරෙන්නට පටන් ගත්තේය.

එතැන් සිට ජීවිත කාලය මුළුල්ලේ ඔහු විසින් පවසන ලද අනාවැකි සංඛ්‍යාව දහස් ගණනකි. නමුත් ඔහු පිළිබඳව ලෝකයේම අවධානය යොමු වන්නට පටන් ගත්තේ පෞද්ගලික මට්ටමින් එක් එක් පුද්ගලයින්ට පවසන ලද අනාවැකි නිසා නොවේ. සමස්ත ලෝකයාටම බලපාන දේශපාලනික, පාරිසරික, සහ භූ විද්‍යාත්මක ලෙස වැදගත්වන අනාවැකි පළ කිරීම හේතුවෙන්ය. එම අනාවැකිවලින් යම් ප්‍රමාණයක් සැබෑවීම නිසා ඔහු අන්තර්ජාතික කීර්තියට පත් විය.

මේ අනාවැකිවලින් සමහර ඒවා හරිද වැරදිදැයි සොයා බලා ගැනීමට අප තව කලක් බලා සිටිය යුතු නමුත්, මේ වන විටත් සැබෑ වූ ප්‍රධාන පෙළේ අනාවැකි ගණනාවක් ඇති බව කිව යුතුය.

ඒ අතරින් සුප්‍රකට අනාවැකිය වී තිබෙන්නේ 1929 දී සිදුවුණු ඇමෙරිකානු කොටස් වෙළඳපොළ කඩා වැටීම පිළිබඳවය. එම සිදුවීම ගැන ඔහු පවසා ඇත්තේ එයට මාස හයකට පෙරය. එහෙයින් තමන් සතුව ඇති කොටස් විකුණා දමන ලෙස ඔහු සිය හිතවතුන්ට පවසා තිබේ. ඔහුගේ උපදෙස් පිළිනොගත් මිතුරන් මේ මොහොතේදී විශාල ලෙස පාඩු ලැබූ බවත්, සෙස්සන් ජයග්‍රහණය කළ බවත් අමුතුවෙන් කිවයුතු නැත. මේ අන්දමට ඔහු පැවසූ ඊළඟ අනාවැකිය වූයේ 1931 දී ඇමෙරිකාව මුහුණ දුන් ආර්ථීක අවපාතය පිළිබඳවය. එමෙන්ම 1933 දී යළිත් එය ස්ථාවර වන බවද, ඔහු පැවසුවේය.

ඇඩොල්ෆ් හිට්ලර් නැමැත්තෙක් 1934 දී ජර්මනියේ පාලකයා වන බව එඩ්ගා කේසී අකුරටම කියූ එක් අනාවැකියකි. කල්ගත වන විට ඔහු මුළු ලෝකයටම බරපතළ කරදරයක් වී, අවශේෂ රටවල පාලකයන් විසින් බලයෙන් නෙරපා දමන තුරු එහි රැඳී සිටින බවත්, ඒ අනාවැකියේ ඇතුළත්ව තිබිණි.

තවත් ලෝක යුද්ධයක් ගැන ජනතාව තුළ කිසිදු හැඟීමක් නොමැති මොහොතක ඒ පිළිබඳව එඩ්ගා කේසී පවසා ඇත්තේ ඉන් වසර පහකට පෙරය. එනම් 1935 දීය. මේ මහා සංග්‍රාමයට ජර්මනිය, ජපානය, සහ ඔස්ටි‍්‍රයාව එකතුව පෙරමුණක් සෑදෙන බව ඔහුගේ අදහස විය. ඔහු පැවසුවේ 1941 දී ඇමෙරිකාවද මේ යුද්ධයට සම්බන්ධ වනු ඇති බවය.

මේ කාරණා දෙකට අමතරව සුප්‍රකට ඇමෙරිකන් ජනාධිපතිවරුන් වූ ෆ්‍රෑන්ක්ලින් රූස්වෙල්ට් සහ ජෝන් එෆ් කෙනඩිගේ අභාවයන් සිදුවන දින වකවානු ගැනද නිවැරදිව ප්‍රකාශ කිරීමට එඩ්ගා කේසී සමත් වී තිබේ. 1960 දශකයේ දී ඇමෙරිකාව තුළ ඇති වූ වර්ගවාදී ගැටුම් සහ ඒ හේතුවෙන් ඇති වූ සිවිල් යුද්ධ පිළිබඳව ද එඩ්ගා කේසී ඉතා නිවැරදි අනාවැකි පවසා ඇත.

අන්තර්ජාතික දේශපාලනය අරබයා ඔහු කියූ ප්‍රකට අනාවැකියක් වන්නේ 1991 දී සෝවියට් සමාජවාදී ජනරජය බි¼දී වැටෙන බවට කළ ප්‍රකාශයයි. එසේම 1930 දශකය තුළ ඔහු පැවසූ තවත් වැදගත් අනාවැකියක් ලෙස පෙන්වා දිය හැක්කේ ඇමෙරිකාවේ 44 වැනි ජනාධිපතිවරයා කළු ජාතිකයෙකු වන බවය. ඒ බැරැක් ඔබාමාගේ පත්වීම සම්බන්ධවයි.

මේ හැර එල් නීනෝ වැනි කාල ගුණික විපර්යාස ගැන ද අනාවැකි පළකර ඇති ඔහු මීට වසර දසදසකට පෙර අතුරුදහන් වී ඇති ඇට්ලාන්ටිස් නමැති ශිෂ්ටාචාරය 1068 දී බිමිනි නමින් නැවත මතුවිය හැකි බවද පවසා ඇත. එය සාර්ථක නොවූවද 1938 දී ඔහු පැවසූ පරිදි ෆ්ලොරිඩා මුහුදු ආසන්නයේදී බිමිණි නමින් හැඳීන්වෙන පූජනීය ස්ථානයක නටඹුන් මතු ව තිබේ.

ඒ වාගේම 1998 වසරේදී පෘතුවියේ උත්තර සහ දක්ෂිණ ධ්‍රැවයන් අංශක 16 සිට අංශක 20 දක්වා වෙනස් වන බවට පළ කරනු ලැබූ අනාවැකියත් ඒ අයුරින්ම සාර්ථක වූ බව පෙනෙන්නට නැත. නමුත් ඒ පිළිබඳ පරීක්ෂණවල යෙදුණු විද්‍යාඥයින්ට එම ධ්‍රැවවල යම් වෙනසක් සිදුවී ඇති බව නම් නිරීක්ෂණය කළ හැකි වී තිබේ.

ඔහු දුකට පත් මහජනතාවට එම සේවය සැලසීමේදී එක සතයක්වත් අයකර නැති බවද දැන ගන්නට ලැබී ඇත.

සිය ජීවිතයේ අවසානම අනාවැකිය පවසන ලද්දේ 1945 වසරේ ජනවාරි 01 දිනය. එදින ඔහු පැවසුවේ තවත් දින හතරක් ඇතුළත තමාගේ භූමිදානය සිදුවන බවය. ඊට දවස් 03ක් ගතවන විට හෘදයාබාධයක් හේතුවෙන් ඔහු මියගිය අතර, අවසන් කටයුතු කරනු ලැබුවේ 04 වෙනිදාය.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.