55 වසක සෙත පිළිබඳ සුබ මතක

මැයි 31, 2024

ගම්පහ දිස්ත්‍රික්කයේ ගණේමුල්ල, කැන්දලියැද්දපාළුවේ ගැමි පරිසරය තුළ සෞන්දර්යවත් නිවෙසක දිවි ගෙවූ මේ අපූරු හෙළයේ මහා ගත්කතුවරයෙක් මෙන්ම ජ්‍යෙෂ්ඨතම අති දක්ෂ මහා පත්‍රකලාවේදියා පත්තර මහගෙදර දිනමිණ පත්‍රයේ ප්‍රධාන සංස්කාරක ලෙස සිය දෛනික වැඩ කටයුතුවල නියැළුණේය.

අළු පැහැති යුරෝපීය ඇඳුම් කට්ටලයකින් සැරසුණු මේ උත්තුංග දේහධාරි, කාලවර්ණ පැහැයෙන් යුත් මෙතුමා ලේක්හවුස් මන්දිරයේ පියගැටපෙළ නඟින විට දිස්වනුයේ මහ කළු සිංහලයෙක් ලෙසටය.

මේ කතා කරන්නේ ඔබ සැම හොඳින් දන්නා හඳුනන දිනමිණ පත්‍රයේ කර්තෘ පුවත් පත් කලාවේදී පියසේන නිශ්ශංක සූරීන් ගැනයි.

ඒ කාලයේ මා නිතර ලේක්හවුස් ආයතනයට ගියේ මිහිර පත්‍රයට ලිපි සහ චිත්‍ර බාරදීමටය. ක්‍රමක්‍රමයෙන් එතුමා සමඟ සමීප සබඳතාවක් ගොඩ නඟා ගතිමි.

එක් දිනෙක එතුමා වැඩ කරන කාමරයෙහි තරමක කලබලකාරී බවක් දක්නට තිබිණ. දහවල් වන විට වෙද ඇදුරු පණ්ඩිත ජී.පී. වික්‍රමආරච්චි, ආර්. බුද්ධදාස, නීලම්මහර වෙද රාළහාමි, ඩී.ඇම්. ජයසිංහ සෞදිරිස් වැනි දේශීය මහා වෙද ඇදුරන්ගේ එකතුවක් දක්නට ලැබිණ. ප්‍රකට ඡ්‍යොතිෂ සහ ගුප්ත විද්‍යාවේදීන්ගේ සහභාගිත්වයත් තිබිණ. පැය කිහිපයකට පසු සාකච්ඡාව නිම විය.

බෙරණ නැකත න - දේව ගණය දීඝායු ඇති පරිදි දිව්‍යමය අක්ෂරයක් වන ස හෙවත් සුබසෙත නමින් ඡ්‍යොතිෂ පත්‍රයක් පටන් ගැනීමට යන බවට සුබ ආරංචිය ලේක්හවුසිය පුරාම පැතිර ගියේ ය. පියසේන නිශ්ශංක මහතාට උණසුම් සුබ පැතුම් එක්රොක්වන්නට පටන් ගත්තේ ය. කවුද ඡ්‍යොතිෂ පත්‍රයකට අකමැති? සිරස්තලයට සුබසෙත නම ඇඳීමට චිත්‍රශිල්පීන්ට බාරදුන් අතර එවක පත්‍රයේ සිටි චිත්‍රශිල්පි ජී.ඇල්. ගෞතමදාස මහතාගේ නාමාක්ෂර මාලාව තෝරා ගත්තේ ය. සුබසෙත පත්‍රයේ ප්‍රධාන කර්තෘ පියසේන නිශ්ශංක මහතා වූ අතර දක්ෂ ඡ්‍යොතිෂවේදියක් වූ විජයසිරි විද්‍යාරත්න මහතාට පත්‍රයේ සියලුම වැඩකටයුතු බාර කරන ලදි.

පසුකාලීනව සුබසෙත පත්‍රය ඡ්‍යොතිෂ වාස්තු සහ ගුප්ත විද්‍යාවන්ට පමණක් සීමා නොකර එයට ආයුර්වේදය, දේශීය පාරම්පරික වෙදකමත් ඈඳා ගන්නා ලදී. ඊටපසු සුබසෙත ඡ්‍යොතිෂායුර්වේද පුවත්පත නමින් පාඨකයන් අතර ජනපි‍්‍රයත්වයට පත්විය. එදා සුබසෙත පත්‍රයට ලංකාවේ ඉතාම දක්ෂ ඡ්‍යොතිෂ සහ ආයුර්වේද මෙන්ම පාරම්පරික වෛද්‍යවරුන් ලිපි ලියන ලදී. සතිපතා ‘දෝ සතර’ සංග්‍රහය කරවූ සුබසෙත දොරට වැඩිය දා සිටම අද වන තෙක්ම දෙස් විදෙස් පාඨකයන් අතර ඉතාම ජනපි‍්‍රයත්වයට පත් වී තිබේ. විවිධ කතුවරුන් විසින් සුබසෙතට යාව ජීවකත්වයක් පුද කරන ලදි.

හිටපු සුබසෙත කතුවරුන් අතර සෑම කෙනෙකුගේම ආදරය දිනා ගැනීමට සමත් වූයේ ඡ්‍යොතිෂ විද්‍යා විශාරද ජයතිලක අඹුවන්ගල මහතා ය. එතුමා සමඟ මිනිත්තු කිහිපයක් පමණක් කතා බහ කරන විට පැය විසි හතරේම ඇඟේ ලේ පිරිසුදු වේ. එතරමට කාරුණිකය, ළෙන්ගතුය. මානවහිතවාදීය. ඡ්‍යොතිෂ පත්‍රයක කතුකමක් කිරීම තරමක අපහසු දෙයකි. ඒ අපහසුව කෙතරම් ද යත් කතාවක් තියෙනවා බිහිරි බූරුවෙක් විය යුතුයි කියා.

පියසේන නිශ්ශංක මහතාට ලැබෙන ලිපි දෙකට ඉරා කූඩයට දමන සිරිතක් නොවිණ. කිසිම ලේඛකයකුගේ සිත් නොරිදවයි. හාස්‍යය, මිත්‍ර කතාව අහන්න හරිම ආසයි. එතුමා ගමේ පාරම්පරික දක්ෂ ගොවියෙකි. වී ඉස අස්වැන්න ගෙන බුදුන් පුදා සහල් මංගල්‍යය පවත්වයි. ආගමික පසුබිම මත සිය දිවිය ගෙවීය. අලුත් අවුරුද්ද එතුමාගේ ද මහා සැණකෙළියකි. එතුමා උදේට ගණේමුල්ලෙන් දුම්රියට නැග කොටුව දක්වා ගමන් කරන්නේ විශාල කලාකරුවන් පිරිසක් සමඟය. මුළු දුම්රිය මැදිරියම සරස්වතී මණ්ඩපයකි.

පියසේන නිශ්ශංක වැනි මහා උදාර මනුෂ්‍ය රත්නයක් ඇසුරු කිරීමට ලැබීම පෙර කරන ලද පිනකි. එතුමාගේ පන්හිඳෙන් එළිදක්වන ලද සුබසෙත සති සංග්‍රහයේ නව කතුතුමිය ඇතුළු කතු මඬුල්ලට ශක්තිය, ධෛර්යය ලැබේවායි පතමු.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.