වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
නයිට්වරයාගේ නිවහන
මේ කතාවෙන් දැක්වෙන සිද්ධියට තිදෙනෙකු සම්බන්ධය.
ඒ මගේ ආදරණීය බිරිඳ ලෝරා, මා සහ මගේ මිතුරකු වූ අයර්ලන්ත ජාතික වෛද්‍යවරයෙකි. විවාහයට පෙර මමත් මගේ පෙම්වතිය ලෝරාටත්, තිබූ මූලික බලාපොරොත්තුවක් වූයේ පිටිසරබද පළාතකින්, යහපත් ස්ථානයක පිහිටි සුන්දර නිවහනක් සොයා ගැනීමය.
පරිසරය යහපත් වීමත්, නිවෙස සුන්දර වීමත්, එය අපගේ ආර්ථිකයට ඔරොත්තු දීමත් යන කාරණා තුනම එකට ගැළපීම කලාතුරකින් සිදුවන්නක් නිසා මේ බලාපොරොත්තුව ඉටුකර ගැනීම කිසිසේත්ම ලෙහෙසි පහසු කටයුත්තක් නොවී ය.
මේ කාලයේ මා චිත්‍ර ශිල්පියකු ලෙසත්, මගේ පෙම්වතිය ලෝරා ලේඛිකාවක ලෙසත් කටයුතු කළ අතර, අප දෙදෙනාටම ජීවත්වීම සඳහා ලැබුණු ආදායම කා බී ජීවත්වීමට ප්‍රමාණවත් මට්ටමක පැවතුණි. ජීවත්වීම සඳහා සීමාව ඉක්මවා ගිය මහා බලාපොරොත්තු අපට නොවී ය.
එහෙත් අප දෙදෙනාගේ ම සිතට සරිලන ගෙයක් සොයා ගැනීම බලවත් දුෂ්කර කටයුක්තක්ව පැවතිණ. සමහර තැනක නිවෙස සහ වත්ත ආදිය සියයට සියයක්ම ගැළපෙන බව පෙනී ගියද, නිවෙස අද්දරින් වාගේ අප ද්‍රව්‍ය රැගත් කුණු ඇළක් ගලා යනු දක්නට ලැබුණි. තවත් ස්ථානයක අප සොයන කාරණා සියල්ලෙන්ම අංග සම්පූර්ණව පැවතිය ද, වැසි කාලයට ගෙට ගොඩ විය යුත්තේ පාරුවකින් ගමන් කරමින් යයි ආරංචි වීම නිසා ඒ ගෙය මිලදී ගැනීම අත්හැර දැමිණි. මේ අතර, මතුපිටින් සුන්දර වුවද, ඇතුළට ගිය විට හුස්මගත නොහැකි තරමට උණුසුම දැනෙන ගෙවල් ද, දිවා ආලෝකය ඇති විටකදී වුවද, අඳුරු අහුමුලු ඉතිරිව තිබූ ඒවාද මේ අතර විය. මේ ආකාරයට අප සොයන හැම අංශයකින් ම සම්පුර්ණ ගෙයක් දෙකක් හමුවුණද, අපේ ආර්ථික ශක්තිය ඒවා මිල දී ගැනීමට තරම් ප්‍රමාණවත් වුයේ නැත.
එහෙත් අවසානයේ දී “සොයන්නාට සම්බ වේ” යයි කියන්නාක් මෙන් අපේ මනදොළ සපුරාලන ආකාරයේ කදිම නිවහනක් සොයා ගැනීමට හැකි වූ අතර, කුඩා කඳු ගැටයක් මතට වන්නට පිහිටා තිබීමෙන් එය වඩාත් සුන්දරව පෙණිනි. විසිත්ත කාමරයේ ජනේලයකින් බැලූ කල එක් පසෙකින් සැතපුම් භාගයක් පමණ ඈතින් නිල්වන් මුහුදු තීරයක දර්ශනය රස විඳීමට ලැබීම නිවසත් සමඟ අතිරේකව ලැබූ ප්‍රසාද දීමනාවක් බඳු කාරණයක් විය.
අප නිවෙස බ්‍රෙන්සෙට් නැමැති මේ සුන්දර ග්‍රාමයේ කෙළවරට වන්නට හුදෙකලාව පිහිටීමද, අපගේ වෘත්තීන්වල ස්වභාවයටම ගැළපුණ අතර, විශේෂම කාරණය වූයේ අපට හිතාගන්නටවත් බැරි තරම් අඩු මිලකට එය ලබා ගත හැකිවීමය.
බබළන හිරු රැසින් අවට පරිසරයේ සුන්දරත්වය නෙතට මෙන්ම සිතට ප්‍රබෝධයක් ඇති කළ අතර, ජනෙල් කවුළු තුළින් නිවසට ආ දිවා ආලෝකය හා නිර්මල වාතස්කන්ධය අප දෙදෙනා තුළම ජීවිතය අරභයා අලුත් ප්‍රබෝධයක් ඇති කරවන්නට සමත් වී තිබිණි. ජනේලය අසල වූ මේසය ළඟ ලෝරා තමාගේ අලුත් ම කවි පොතට නව පැදි පේළි එක් කළ අතර, මා දිගටම චිත්‍ර ඇඳීමේ යෙදී සිටියේ කිසිදු වෙහෙසකින් තොරවය. ඉවුම් පිහුම් සහ ගෙදර දොර කටයුතු කිරීම පිණිස මැදි වයස ඉක්මවමින් සිටි ගැමි කාන්තාවක සොයා ගැනීමට ද අපට හැකි වී තිබූ අතර, ඒ සඳහා වූ ඇයගේ දක්ෂතාවය ද අපගේ සතුට වැඩි දියුණු කිරීමට හේතුවක් විය.
විශ්වාසවන්ත බුද්ධිමත් කාන්තාවක වූ ඩෝර්මන් මහත්මිය මේ ප්‍රදේශයේ සංස්කෘතිය හා බැඳුණු බොහෝ කතාන්තර දැන සිටියාය. වැඩ කටයුතු අවසන් වීමෙන් පසු ඇය ඒවා ලෝරාට කියා දුන්නා ය. මහත් ආශාවෙන් ඒවාට සවන් දුන් ලෝරා, මේ වෘතාන්ත තමා සේවය කළ සඟරාවේ කොටස් වශයෙන් පළවන කතා මාලාවක් බවට පත්කර ගන්නට සමත් වූවා ය.
අපගේ එකම අසල්වැසියා වූයේ ශක්තිමත් සිරුරකින් හා යහපත් ගති පැවතුම්වලින් හෙබි අයර්ලන්ත ජාතික තරුණ වෛද්‍යවරයෙකි. නගරයේ හැදී වැඩුණු පුද්ගලයෙකු වුවද, ඔහු මේ පළාතේ පදිංචිය තෝරා ගෙන ඇත්තේ සොබා දහමට අලුම් කළ, හුදෙකලාවේ පොතපත කියවන්නට ප්‍රිය කළ හෙයිනැයි දැන ගන්නට ලැබීම අපගේ මිත්‍රත්වයට පදනම වී තිබුණි. මේ අයුරින් තෙමසක කාලයක් ගෙවී ගියේ “ජීවිතය නම් මේ යයි” අප දෙදෙනාටම තහවුරු වන ආකාරයේ චමත්කාරයකින් යුතුව ය.
සන්ධ්‍යා භාගයේ ලෝරා, ඩෝර්මන් මහත්මිය සමඟ සුපුරුදු පිළිසඳරේ යෙදී සිටියදී, ඇතැම් විටෙක මා මිත්‍ර වෛද්‍යවරයාද සමඟ ඇවිදීමට යාම මේ වන විට පුරුද්දක් බවට පත්ව තිබිණි. මෙදින ද එසේ පිටතට යෑමට ඇගෙන් සමු ගනිද්දී කුමක් හෝ විහිළුවක් කරමින් ඇය ඉතා මිහිරි ලෙස සිනා නැඟුවා ය.
එහෙත් අපගේ සැඳෑ චාරිකාව අවසන් කොට ආපසු එද්දී ඇය සිටියේ හඬමින් ඉකි බිඳීමිනි.
“අනේ රත්තරනේ මොකද මේ අඬන්නේ?” ඇයව මගේ තුරුළට ගනිමින් විමසුවේ දරාගත නොහැකි ශෝකය හා විමතිය විසින් හදතුළ ප්‍රචණ්ඩ කුණාටුවක් ඇති කරද්දී ය. අප ප්‍රේම කරන කාලය තුළ හෝ ඇය මේ අයුරින් හඬනු තබා සොවින් පසුවන දිනයක්වත්, මා දැක නැති හෙයින් මේ ඉතා සුන්දරව ඇරඹූ දිවි ගමන ආරම්භයේ දී ම කඩා වැටුණු හෙණය කුමක්දැයි මම දැඩි සේ වික්ෂිප්තව සිටියෙමි. මගේ උරහිසට මුහුණ ඔබාගත් ඇය තවදුරටත් නිහඬව සිටියේ ඉකිබිඳීම හේතුවෙන් කතා කළ නොහැකි තත්ත්වයට පත්ව සිටි හෙයිනි.
“මොකද වුණේ ලෝරා දැන් මම ඉන්නවනේ ”
යැයි මම අප්‍රමාණ කරුණාවෙන් යුතුව ඇගේ කඳුළු පිස දමමින් විමසුවෙමි. “අපේ ඩෝර්මන් නෝනා..”
කතා කරගත හැකි තත්ත්වයට සිය ආවේගය තුනී වූ පසු පැවසුවා ය.
“ඔව් ඔව් ඉතින්? ඩෝර්මන් නෝනා... මොකද එයාට?”
මම ඇයගෙන් මඳක් පසුපසට වෙමින් ඇසුවේ සිදු වී ඇති දෙය ඇගේ මුවින් කෙසේ හෝ කියවා ගැනීමට උත්සාහ ගනිමිනි.
“මේ මාසෙ ඉවර වෙන්න දවසකට හරි කලින් එයාට, තමන්ගේ ලේලිව බලන්න යන්න ඕනෙලු”
එය හඬා වැලපිය යුතු තරමේ දුකක් මා තුළ ඇති කොකළද, ඇය විසින් හිටිවනම මෙවැනි තීරණයක් ගැනීම ගැනත්, මගේ ආදරණීය ලෝරා බලාපොරොත්තු විරහිත ලෙස මානසික පීඩනයකට ලක් වීම නිසාත්, ම සිතෙහි කේන්තියක් හටගැනීම නොවැළක්විය හැකි කරුණක් විය.
“ඔයා ඇහුවෙ නැද්ද මොකද්ද මේ හදිසියේ හැදුණු අසනීපය කියලා..? එහෙම නැතිනම් කොහොමද මේ බව දැන ගත්තේ කියලා."
"මම කියන්නේ මේක ලොකු බොරුවක් කියල” මම පැවසුවෙමි.
“මමත් ඒ කතාව විශ්වාස කරන්නෙ නෑ. ඒත් එයා කියනවා. එයා එනකොටත් ලේලි හිටියෙ අසනීපෙන්ලු. මාසෙ අන්තිම වෙද්දී එනව කියල පොරොන්දු වෙලාලු ආවෙ, කලින් කියන්න බැරි වුණ එක ගැන සමාවෙන්න කියල මට බැගෑපත් වුණා”
ලෝරාට ඉවුම් පිහුම් ඇතුළු ගෘහ කටයුතු ගැන එතරම් පරිචයක් නැති බව ඇත්ත ය. එහෙත් මේ මොහොතේ ඇති වී තිබුණේ තමාට බොහෝ සමීප වූ අයකු හදිසියේ ඈත්වීම නිසා ඇති වූ සාංකාව බව මම දැන ගතිමි. මේ හැරුණු කල ඉවුම් පිහුම් ඇතුළු අනෙකුත් වැඩවලට යොමු වීම නිසා, බලාපොරොත්තු වූ ආකාරයට අපේ වෘත්තිමය වැඩ කටයුතු නිමකර ගත නොහැකි වනු ඇත. ගෙදර දොර වැඩ කටයුතුත් සමඟ අපේ නිර්මාණාත්මක වැඩ කටයුතු සඳහා එක එල්ලේ සිත යොමු කර ගැනීම අප දෙදෙනාටම දුෂ්කර කටයුත්තක් වනු ඇත. "හොඳයි මම ඩොර්මන් නෝනාත් එක්ක කතා කරන්නම්. එයාට එන්න කියන්න.."
මෙසේ පැවසූ මම මගේ කාමරයට ඇතුළුව මේසය ළඟ වාඩි වූයේ පයිප්පය දල්වා ගනිමිනි. තවත් මොහොතකින් ඩෝර්මන් මහත්මිය මගේ කාමරයට ඇතුළු වූවා ය. එහෙත් ලේ සිඳුණු මළ මිනියක් වන් මුහුණින් යුතුව ඇය කියන්නට පටන් ගත්තේ ලෝරාට නම් සිහිනයකින්වත් නොපෙනිය යුතු තරමේ භයංකර කතාවකි.
(තව කොටසක් ලබන සතියේ)
(එව්ලින් නෙස්බිට්ගේ නැමැති කෙටිකතාව ඇසුරිනි)