ඡ්‍යොතිෂ ශාස්ත්‍රයේ නම තැබූ කවියා

සෝමපාල විජේසූරිය
පෙබරවාරි 9, 2024

 

ජන්ම පත්‍රයක්, නැකැත් පත්‍රයක් අතට ගත් කල ඔහුට දැනෙන්නේ අප්‍රමාණ සතුටකි. ඒ තමා දැන උගත් ඡ්‍යොතිෂ ශාස්ත්‍ර දැනුමෙන් සමාජයට සැලකිය යුතු සේවයක් සලසන්නට ඔහුට හැකිව ඇති බැවිණි. ඡ්‍යොතිෂ ශාස්ත්‍රයේ නමක් දිනූ මේ ප්‍රවීණයා එස්. සෝමපාල විජේසූරිය නමින් කා අතරත් ප්‍රසිද්ධත්වයට පත්ව ඇත්තේ ඡ්‍යොතිෂ ශාස්ත්‍රයෙන් ඔහු අද ද සමාජයට මහත් වූ වැඩ කොටසක් සලසන බැවිණි. ඔහු පිළිබඳ ලියැවෙන මේ ලිපිය ඒ නිමිත්තෙනි.

 

උපත

දැයට වැඩදායි දූ පුතුන් රැසක් බිහිකළ සියනෑ කෝරලයේ නිට්ටඹුව ග්‍රාමයේ දී පාරම්පරික ඡ්‍යොතිෂ ශාස්ත්‍රඥ සරනේරිස් විජේසූරිය මහතාගේ සහ කංකානමලාගේ ඇලිස් හාමිනේගේ දෙවැනි පුත්‍රයා ලෙස 1946 අගෝස්තු මස15 වැනි දා උපන් කුමරුවාට නම් තැබුණේ එස්. සෝමපාල විජේසූරිය ලෙසය. පරම්පරාවෙන් උරුම වූ ඡ්‍යොතිෂ ශාස්ත්‍රය රැකගන්නට පුතකු ලැබීම පිළිබඳව සරනේරිස් විජේසූරිය මහතා අප්‍රමාණ සතුටට පත්විය. බිලිඳා උපන් වෙලාව අනුව ජන්ම පත්‍රය පිළියෙල කළ යුතුය. වෘශ්චික ලග්නය උදාවී තිබිණි. ග්‍රහ පිහිටීම් ද සුබය. ළදරු අවස්ථාවේ සිටම වාසනාවේ මල් මේ දරුවා වටා පිපෙන්නට විය. තමා දැන උගත් ඡ්‍යොතිෂ ශාස්ත්‍රය තම පුතුටද උගන්වන්ට ඔහු කටයුතු කළේ දරුවා යමක් කමක් තේරුම් ගන්නට උත්සාහකළ අවස්ථාවේ පටන්ය.

 

අධ්‍යාපනය

නිට්ටඹුව සංඝබෝධි මහා විද්‍යාලයෙන්, නිට්ටඹුව බෞද්ධ විද්‍යාලයෙන් මෙන්ම විද්‍යානන්ද පිරිවෙණින් සාර්ථක ලෙස අධ්‍යාපනය ලබන්නට සෝමපාල සිසුවාට හැකි විය. පාසල් අවධියේ සිටම කවියට ලේඛනයට මෙන්ම ඡ්‍යොතිෂ ශාස්ත්‍රයටත් හපන්කම් පෑ සෝමපාල තරුණයා පාසල් සමයේ දී කැපී පෙනෙන ශිෂ්‍යයකු ලෙස කටයුතු කළේය. පිරිවෙන් අධ්‍යාපනයෙන් පසුව වර්ෂ 1975 දී ලේක්හවුස් ආයතනයට එක් වූ සෝමපාල මහතා එහි 2002 වර්ෂයේ සේවයෙන් විශ්‍රාම ගන්නා තුරු එහි විවිධ අංශවල සේවය කළේය. මේ සමයේද ඔහු පුවත්පත්වලට ලිපි ලේඛන, කවි රචනා කිරීම සිදු කළේය. ඔහු කවියට දැක්වූයේ උපන් හපන්කමකි. මිහිර, නවයුගය, සරසවිය ඒ හැකියාවන් වැඩි දියුණු කර ගන්නට ඔහුට අත්වැලක් සැපයූ පුවත්පත්ම විය. මුතුලතා බෝමුල්ල කිවිඳය සමඟ විවාහ වු සෝමපාල මහතා දියණියන් දෙදෙනකුගේ ආදරණීය පියෙකි. දියණියන් දෙනොගෙන් එක් දියණියක ලේක්හවුස් ආයතනයේ සේවය කළ අතර අනෙක් දියණිය ගුරුවරියක ලෙස සේවය කරන්නීය.

 

ඡ්‍යොතිෂ ශාස්ත්‍රය

සෝමපාල විජේසූරිය මහතා ඡ්‍යොතිෂ ශාස්ත්‍රය දැන උගත්තේ කුඩා කල සිටදී වුවත් ඡ්‍යොතිෂ කටයුතු කෙරෙහි වඩ වඩාත් නැඹුරු වන්නේ, තම වෘත්තියෙන් විශ්‍රාම ගත් පසුවය. ඒ පිළිබඳ මතකය ඔහු මෙලෙස අවදිකරයි.

‘කුඩා කල සිටම මට පිය උරුමයෙන් දායාද වූ ඡ්‍යොතිෂවේදය විද්‍යාත්මකව හැදෑරීමට ද මට අවස්ථාව උදාවුණා. ලිත් හෝඩිය ඇතුළු තවත් ඡ්‍යොතිෂ පත පොත මම ස්ව උත්සාහයෙන්ම හැදෑරුවා. මගේ සීයා, පියා නිසා ඡ්‍යොතිෂයෙහි ප්‍රගුණතාව තහවුරු කර ගැනීමට තවදුරටත් මට ඉඩකඩ සැලැසුණා. ඒ වගේම හෙන්ද්‍රක් සිල්වා හෙට්ටිගොඩ මහතාගෙන් ඡ්‍යොතිෂ ශාස්ත්‍රයේ යම් යම් ගැටලු ඒකාලයේ විමසා දැන ගන්නට මට අවස්ථාව සැලැසුණා. එතුමාගෙන්ද මේ ශාස්ත්‍රය පිළිබඳ දැන ගන්නට ලැබීම මට සතුටක්. ඒ වගේම ගණිත ශාස්ත්‍රයටත් මම දක්ෂයි. එයත් විශේෂයෙන්ම ඡ්‍යොතිෂයේ ඉගැනුමට මට බලපෑවා. ‘

එලෙස භාව කේන්ද්‍ර ගණිතය පිළිබඳ ඔහු තමා සතු මනා අවබෝධය පිළිබඳව ද පවසා සිටින්නට මෙහිදී අමතක නොකළේය. තම පිය උරුමය අනුව පාරම්පරිකව ලද ඡ්‍යොතිෂ ශාස්ත්‍රයෙන් වගේම මෙරට ප්‍රවීණයන්ගෙන් ලද දැනුම්වත් කිරීම් තුළින් තම ඡ්‍යොතිෂ ඥානය පොහොසත් කරගත් ඔහුට රටට සේවය කරන්නට අවකාශ ලැබීමත් සමඟ ඡ්‍යොතිෂය පිළිබඳ හසළ දැනුමකින් සන්නද්ධව පලාපල කථනය, ලග්න පලාපල, යනාදී විශේෂාංග යටතේ සුබසෙත පුවත්පතට ලිපි ලියමින් පාඨක ප්‍රතිචාර ළං කර ගැනීමට සමත්විය. ඔහු තම පෑන මෙහෙයවමින් ඡ්‍යොතිෂය පිළිබඳ කළ විග්‍රහයන් අදටත් වලංගු වන අයුරු ඔහු ප්‍රකාශ කරන සමහර ඡ්‍යොතිෂ අනාවැකි පිළිබඳ සුපරික්ෂාකාරීව සොයා බැලීමේ දී පැහැදිලි වේ. ඔහු සතු දැනුම ඔස්සේ සුබසෙත පුවත්පතට නිතරම තම ඡ්‍යොතිෂ දැනුමෙන් ලිප සපයමින් ජනතාව දැනුම්වත් කරන්නට ඔහු අද ද කටයුතු කරන්නේය. 1998 වසරේදී සෝමපාල මහතා ඡ්‍යොතිෂය සම්බන්ධව ‘සුබ මුහුර්ත ‘ නමින් කෘතියක් රචනා කළේ ඡ්‍යොතියේ නියැළෙන්නට දැනුම් සම්භාරයක් ලබා දීමේ අරමුණෙනි. අනගි මුතු නමින් කවි පොතක්ද ඔහු නිකුත් කළේ ඡ්‍යොතිෂයට මෙන්ම කවියට ද බොහෝ සේ ඇළුම් කරන නිසාවෙනි. 2009 වසරේදී සාහිත්‍ය කලාවට මෙන්ම ඡ්‍යොතිෂය වෙනුවෙන් කරන ලද මෙහෙවරට උපහාරයක් ලෙස සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවෙන් රාජ්‍ය කලාභූෂණ සම්මානයෙන්ද විජේසූරිය මහතා පිදුම් ලැබුවේය. සමස්ත ලංකා සිංහල කවි සම්මේලනයෙන් කාව්‍ය භූෂණ සම්මානය ද ඔහුට හිමි විය. ඡ්‍යොතිෂ ශාස්ත්‍රය සෑම ශාස්ත්‍රයකටම වඩා අගනා ශාස්ත්‍රයක් බව පවසන විජේසූරිය මහතා මේ ශාස්ත්‍රයට පිවිසෙන ආධුනික ඡ්‍යොතිෂවේදීන් වෙත වටිනා උපදෙස් ලබා දෙන්නේ මෙලෙසිනි.

“ඇත්තටම ඡ්‍යොතිෂ ශාස්ත්‍රය අගය කර සැලකිය යුතු ශාස්ත්‍රයක්. සාමාන්‍යයෙන් ජනතාවට තමන්ගේ ජීවිතය පිළිබඳව විස්තර කියන ශාස්ත්‍රයක්. එහෙත් මේ ශාස්ත්‍රය අද සමාජයේ වැරදි පිරිස් අතට ගිහින් තිබෙනවා. මේ ශාස්ත්‍රය භාවිත කරමින් මිනිසුන් මුළා කරන පිරිස් මේ සමාජයේ සිටිනවා. මේ ශාස්ත්‍රය නිවැරැදිව භාවිත කිරීම ඡ්‍යොතිෂවේදින්ගේ යුතුකමක් වගේම වගකීමක්. ඕනෑම පුද්ගලයකුගේ ජීවිතයේ ලබන දුක සැප පිළිබඳ සියයට අනූනවයක්ම සාර්ථක පලාපලයක් මේ ශාස්ත්‍රය ඔස්සේ පවසන්නට පුළුවන්. නැකතක් බලන විට එය නිවැරැදිව සිදු කළ යුතුයි. පලාපල කථනයේදිත් ග්‍රහ යන්ගේ බල දුබලතා නිවැරැදිව බලා ඒ අනුව එය සිදු කළ යුතුයි. ජනතාව හැමවිටම අපි ළඟට එන්නේ අපෙන් පිහිටක් ලබන්නටයි. ඒ එන ජනතාවට අපි සැබෑ ලෙසට පිහිට විය යුතුයි. එසේ වුවහොත් පමණයි මේ ශාස්ත්‍රයේ බලය ඡ්‍යොතිෂවේදියාට පිහිටන්නේ. මේ ගැඹුරු, පින්වත් ශාස්ත්‍රය නිවැරැදිව භාවිත කරන්න කියා මම ආධුනික ඡ්‍යොතිෂවේදීන්ගෙන් ඉල්ලා සිටිනවා. එවිට තමයි මේ ශාස්ත්‍රය තව තවත් දියුණූ වන්නේ” සෝමපාල මහතා පවසන්නේ ඡ්‍යොතිෂ ශාස්ත්‍රය සඳහා වූ මහත් භක්ත්‍යාදරයෙනි.

සැමවිමට ඡ්‍යොතිෂ කටයුතුවලදී තමාට පැවරෙන කවර කාර්යයක් වුවද උපරිම සාර්ථකත්වයෙන් ඉටුකිරීමට නිරතුරු කටයුතු කරන සෝමපාල විජේසූරිය මහතාගේ ශබ්ද කෝෂයේ නැහැ බැහැ පස්සෙ බලමු ආදී වචන නොමැත. තම සේවාදායකයන්ට තිතටම නිවැරැදි පලාපලයක් ලබා දීම ඔහුගේ එකම අරමුණ වන බවත් එතරමටම ඔහු අහස, පොළොව, ඉර, හඳ සහ තාරකා සමඟ දිවිහිමියෙන් බැඳී සිටින බවත් ඔහු සමඟ කතා බහ කරත්දී කවරෙකුට වුවද තේරුම් යනු ඇත.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.