සිංහල සිනමාවේ සිටි එකම ඡ්‍යොතිෂවේදී නිළිය එඩ්නා සුගතපාල

දෙසැම්බර් 29, 2023

 

ඇය ශ්‍රී ලාංකේය සිනමාවේ, රංග කලාවේ සහ රූපවාහිනියේ බහුවිධ නිපුණතා ඇති කලාකාරිනියක වුවාය. දක්ෂ පියානෝ වාදන ශිල්පිනියක, ගායිකාවක සහ ඡ්‍යොතිෂ ශාස්ත්‍රඥවරියක ලෙස ද නමක් දිනූ ඇය වෘත්තීය ඡ්‍යොතිෂ ශාස්ත්‍රඥවරියක් ලෙස ද කටයුතු කළ ශ්‍රී ලාංකේය සිනමාවේ එකම කලාකාරිනිය වූවාය. ඡ්‍යොතිෂ ශාස්ත්‍රය ඔස්සේ ඇය සමාජයට කලාවට සිදු කළ සේවය පිළිබඳ කතා බහට ලක් කිරීම මේ ලිපියේ අරමුණයි.

 

වසර 1946 ජනවාරි 3 වැනිදා පානදුරේ ගොරකානේදී උපත ලැබූ එඩ්නා සුගතපාල කොළඹ යහපත් එඬේරාගේ කන්‍යාරාමයෙන් අධ්‍යාපනය ලද්දීය. පසුව එම පාසලෙන් ඉවත්ව උසස් අධ්‍යාපනය දක්වා ඉගෙනුම ලද්දේ බම්බලපිටිය ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයෙනි. ඇගේ මව ස්වර්ණා මේරි බර්නාඩෙත්ය. ඇය ද කලාවට සම්බන්ධව සිටි ජනප්‍රිය චිත්‍රපට නිෂ්පාදකවරියක වූවාය. එඩ්නා ඇයට වයස අවුරුදු 6 දී තම සංගීත දිවිය ආරම්භ කළාය. පසු කලෙක ලන්ඩනයේ ත්‍රිත්ව විද්‍යාලයෙන් පියානෝ වාදනය පිළිබඳ උපාධිය ලබා ගත් ඇය රංගනයට යොමු වන්නේ ද ඉතා ළාබාල අවධියේදීය. ඇයගේ රංගන දිවිය ආරම්භ කළේ 1966 දී ඩික් ඩයස් විසින් නිෂ්පාදනය කරන ලද ගැහැනු හටන නාට්‍යය හරහාය. ඉතා කුඩා වියේදී එඩ්නා සුගතපාල දෛවයෝගය චිත්‍රපටයේ ‘දොයි දොයිය බබා’ ගීතය සඳහා දිවංගත රුක්මණී දේවි සමඟ රඟ පාන්නට එක්විය. එතැන් පටන් ඇය සිංහල චිත්‍රපට හා ටෙලිනාට්‍ය කලාවේ ජනප්‍රිය නිළියක වූවාය. එඩ්නා ඡ්‍යොතිෂ ශාස්ත්‍රය මනාව ප්‍රගුණ කළ කාලාකාරිණියක ද වූවාය. ඇය කලාකරුවන් පිළිබඳව පල කළ විස්මිත අනාවැකි බොහොමයක් විය. ඒවා ඒ ආකාරයෙන්ම ඉටු වූ බවට ඇය පුවත්පත්වලට දුන් සම්මුඛ සාකච්ජාවලදී පවසා තිබෙන අයුරු අද ද දක්නට ලැබේ.

 

ඡ්‍යොතිෂ ශාස්ත්‍රය හැදෑරීම

 

තමන් ඡ්‍යොතිෂ ශාස්ත්‍රය හදාරන්නට යොමු වූ ආකාරය එඩ්නා වරක් සිළුමිණ පුවත්පතට සාකච්ජාවක් සඳහා එක් වෙමින් මෙලෙස පවසයි. ‘‘ ඡ්‍යොතිෂය ගැන මම හදාරන්න ගන්නා විට මට අවුරුදු 13ක් තරම. මම ඒ ක්ෂේත්‍රය ගැන මැනවින් හදාරපු කෙනෙක්. අනාවැකි පවා කියන්න පුළුවන් ඡ්‍යොතිෂවේදිනියක්. නක්ෂත්‍රය පිළිබඳ ලිපි, යෝගී ක්‍රම පිළිබඳ ලිපි මම රැසක් පුවත්පත් සඟරාවලට රචනා කර තිබෙනවා. ඡ්‍යොතිෂය පිළිබඳව ප්‍රයෝගිකව හදාරනවා”.

එඩ්නාගේ සිත ඡ්‍යොතිෂය කෙරෙහි ඇදී යන්නේ ඇගේ මව නිසාය. ඒ ගැන ඇය වරක් සරසවිය පුවත්පතට මෙලෙස පවසයි. ‘ මගේ අම්මා උග්‍ර කතෝලික බැතිමතියක්. ඇය කිසම දවසක කේන්දර ගැන විශ්වාස කළේ නැහැ. අම්මා නොයෙක් කරදරවලට මුහුණ දුන්නා. හිතවතකුගේ කීමට අම්මා නුගේගොඩ ප්‍රදේශයේ සිටි ඩැනියෙල් ගමආරිය ගුරුන්නාන්සේ ළඟට ගියා. ඒ ඇගේ කේන්දරය බලවා ගන්න. එතැනදී තමයි අම්මාට තමන්ගේ නිවැරදි කේන්දරය මොකක්ද කියලා දැනගන්නට ලැබුණේ. අම්මා ඇයට මුහුණ පාන්නට වන කරදර බාධක ගැනත් බොහෝ දේ දැනගත්තා. ඒ ගමනට මමත් එක් වුණා. මේ දේවල් බලන් ඉන්න විට මට මේ ශාස්ත්‍රය ඉගෙන ගන්නට බලවත් ආශාවක් ඇති වුණා. ගෙදර ඇවිත් මම අම්මාට මගේ අවශ්‍යතාවය කිව්වා. අම්මා පානදුරේ හිටිය එච්.එච්. ප්‍රේමරත්න ගුරුන්නාන්සේ ළඟට මාව යැව්වා. යවල මට මේ ශාස්ත්‍රය ඉගැන්වූවා. මමත් ආශාවෙන් ඒ හැමදේම ඉගෙන ගත්තා.‘‘ එඩ්නා තමන් ඡ්‍යොතිෂයට පිවිසි අන්දම එසේ විග්‍රහ කර ඇත. 1973 වර්ෂයේ පෙබරවාරි 28 වැනි දින විවාහ දිවියට එක් වන ඇයට වීනා නම් එක් දියණියක් සිටියි.

 

ඡ්‍යොතිෂයෙන් එඩ්නා කියූ අනාවැකි

 

සිංහල සිනමා කලාවේ සිටින ඡ්‍යොතිෂය දැනුම ඇති එකම නිළිය ලෙස අදටද මතකයට නැගෙන එඩ්නා සුගතපාල තම සමකාලීන කලාකරුවන් බොහෝ දෙනෙකුට අනාවැකි පවසා තිබුණාය. ඒවා බොහෝ විට හරියටම හරි ගියේය. ඒ බව ඇය පිළිබඳ ලියැවුණු පුවත්පත් ලිපි සාක්ෂි සපයයි.

එඩ්නා සුගතපාල කිසිවිටෙක මුදලට හෝ සෑම දෙනෙකුටම අනාවැකි ශාස්ත්‍ර කියන්නට නොගියාය. ඇය හැමවිටම තමා දන්නා ඡ්‍යොතිෂය අත්හදා බලමින් තම හිතවත් කලාකරුවන්ට ඔවුන්ගේ ජීවන තොරතුරු පවසන්ට කටයුතු කළාය. ඇය පිළිබඳ ලිපියක් ලියමින් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු වන හෙන්රි ප්‍රියශාන්ත මෙන්දිස් මෙලෙස පවසයි.

“වරක් මීගමුවේ සුගතපාල මංජරියට පැමිණ ජායාරූප කිහිපයක් රැගෙන දෙන ලෙස එඩ්නා මගෙන් ඉල්ලීමක් කළා. මම ඇගේ නිවෙසට ගියා. එඩ්නා කොට්ටයකට අලුත් උරයක් දමමින් සිටින අයූරු මගේ නෙත ගැටිණි. මා දුටු එඩ්නා එන්න ප්‍රියශාන්ත ගෙට යැයි පැවැසීය. මොකද මේ මහ දවල් කොට්ටවලට උර දමන්නේ ? පෙරළා මම ඇගෙන් ප්‍රශ්න කළෙමි. අද සඳුදා ඔබ මගේ ඉල්ලීමට අපේ ගෙදර ආවා. ඒත් ලබන සඳුදා දහවල් ඔයාට මගේ මහත්තයා බලන්නට රෝහලට එන්නට වේවි ප්‍රියශාන්ත. යැයි ඇය පැවැසුවා. ලබන සඳුදා උදෑසන මගේ මහත්තයට හෘදයාබාධයක් වැලඳෙනවා. මම දැන් තියාම එයට සූදානම් වෙනවා. එයින් ඔහුට අනතුරක් නම් වෙන්නේ නැහැ. නමුත් තත්ත්වය බරපතළ වෙනවා. ‘ එඩ්නා එසේ පවසා තිබුණි. ඒ අනුව සතියක් ඉක්ම ගොස් ඊළඟ සතියේ සඳුදා දිනය උදා විය. හෙන්රි පි‍්‍රයශාන්තගේ දුරකථනයට ඇමැතුමක් ලැබිණි. ඒ එඩ්නාගෙනි. ප්‍රියශාන්ත. ඇවිත් බලන්න. මම ඉන්නේ රෝහලේ. මහත්තයට ටිකක් අමාරුයි.” හෙන්රි රෝහලට ගියේ එඩ්නාගේ අනාවැකිය නිවරැදි දැයි බැලීමටය. එය සැබෑවකි.

මෙවැනිම අනාවැකියක් එඩ්නා මෙරට පළමු සිනමා නිළිය වූ රුක්මණී දේවියට ද පවසා තිබුණි. ඒ ඇය සංගීත සංදර්ශනයක් සඳහා පිටව යන විටය. “ඩේසි අක්කේ ඔය ගමන යන්න එපා. ඔයාට කරදරයක් වෙනවා” යැයි ඇය රුක්මණීගේ හඳහන අනුව පවසා තිබුණි. එහෙත් තම මවට බෙහෙත් ගැනීමට මුදල් අවශ්‍ය බැවින් රුක්මණී දේවිය එම ප්‍රසංගයට ගියාය. එඩ්නාගේ අනාවැකිය සැබෑ කරමින් රිය අනතුරකින් රුක්මණිය අවසන් ගමන් ගියාය. මේ ආකාරයෙන්ම ඇය සිනමාවේ ලැම්බට් මොරමුදලිගේ හඳහන බලා අනාවැකියක් පවසා ඇත. ඒ අනුව අසවල් දිනය ඔබට අසුබ යැයි පවසා ඇත. එවිට ලැම්බට් මොරමුදලි ඇයට විහිළුවෙන් සිනාසෙමින් පවසා ඇත්තේ ‘අනේ පළයන් යන්න‘ යනුවෙනි. එහෙත් එඩ්නා කියූ පරිදි ඔහුට එම දිනය පසු කරන්නට නොහැකි විය. මේ අකාරයට සිංහල සිනමාවේ බොහෝ දෙනකුට ඇය කිව් අනාවැකි සැබෑ වී තිබුණි.

කලාකාරිනියක ලෙස විවිධ භූමිකා රඟ දැක්වූ ඇය 2015 මාර්තු 14 දින, වීණා නමින් සංගීත භාණ්ඩ සහිත සංයුක්ත තැටියක් නිකුත් කරමින් කලා දිවියේ 50 වසර සැමරුවාය. එලෙසම ඇය සුගත චින්තා නමින් පොතක් ද ලිවීය. ඇය මිය යනතෙක්ම කලාකටයුතුවල මෙන්ම ඡ්‍යොතිෂයෙහිද කටයුතු කළාය.

අමාවක පොහෝ දිනයක මෙලොව එළිය දුටු එඩ්නා රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී 2018 මාර්තු 14 දින මිය ගියාය. ඇයගේ කැමැත්ත පරිදි මෘත දේහය වෛද්‍ය විද්‍යාලයකට භාර දෙන්නට ඇගේ පවුලේ අය කටයුතු කරන ලද්දෝය.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.