රට රටවල් නව වසර පිළිගන්නා සිරිත් විරිත්

දෙසැම්බර් 15, 2023

2024ට එළැඹි නව වසර ඒ ඒ රටවලට ආවේණික වූ සිරිත් විරිත් හා වත් පිළිවෙත් අනුගමනය කරමින් ලෝක ජනතාව සමරනු ලබන්නේ සාමය සතුට සමගිය හා සෞභාග්‍යය ප්‍රාර්ථනා කරමිනි. ඒ අනුව නව වසරේ ලිත ඇරඹෙන්නේ ජනවාරි පළමුවැනිදාට වුවත් සමහර රටවල නව වසරේ ආරම්භය සිදුවන්නේ ඒ ඒ රටවල පැවති මාස දින මුල්කර ගනිමිනි. අප රටේ මෙන්ම ලෝකයේ බොහෝ රටවල නව වසර ආරම්භ වනු ලබන්නේ ජනවාරි මාසයේදී වුවත් සමහර රටවල අවුරුද්ද ආරම්භ වන්නේ මාර්තු, අප්‍රේල් හෝ සැප්තැම්බර් මාසවලදීය.

වසරක් ගෙවී දෙසැම්බර් තිස් එක් වන දා රාත්‍රී කාලයේ දී ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් උත්සව පැවැත්වීම බොහෝ රටවල සිරිතකි. ශ්‍රී ලංකාවේ ලිත් ක්‍රමයට අනුව අප්‍රේල් මැද භාගයේ දී සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වන අවස්ථාවේ දී රට පුරා සෑම ස්ථානයකදීම රතිඤ්ඤා පත්තු කරමින් රබන් ගසමින් සිංහල අවුරුද්ද මහ ඉහළින් සඅමරෙයි. එහෙත් හැම වසරකදීම නව වසරක උදාව සමරමින් ශ්‍රී ලංකාවේ දී ද සර්වරාත්‍රික පිරිත් දේශනා බෝධි පූජා, දේව පූජාව මෙන්ම දේවස්ථානවල දේව මෙහෙයන් ද කෝවිල්වල පුද පූජාවන් ද පවත්වනු ලැබෙයි. එසේ පවත්වනු ලබන සෑම ආගමික කටයුත්තකදීම උදාවන්නා වූ වසරට සෙත් පැතීමක් මෙන්ම සශි‍්‍රකත්වයෙන් පිරි රටක් වේවා යැයි ප්‍රාර්ථනා කරති.

සෑම වසරක් අවසානයේදීම නව වසරට සෙත් පතා නිදහස් චතුරශ්‍රයේ දී මුළු මහත් ලෝකවාසී ජනතාවට සෙත්පතා සර්ව රාත්‍රික පිරිත් දෙසුමක් ද පවත්වති. එමෙන්ම ශ්‍රී දළදා මාලිගාවේ දී මෙන්ම කතරගම දේවාලයේ දී ද අනෙකුත් දේවාලවලත් බෝධීන් වහන්සේලා අභියසත් පුද පූජා පවත්වා රටට ජනතාවට සෙත් පතති. ගුවන්විදුලිය, රූපවාහිනී නාලිකා මඟින් ද සර්ව රාත්‍රික පිරිත් දෙසුම් හා පුද පූජා පැවැත්වීම, විසුරුවා හරිමින් ආගමික වතාවත්වලට ජනතාව යොමු කරවීමට දැඩි මෙහෙයක් ඉටු කරයි.

රුසියාව

රුසියාවේ නව වසර සමරනු ලබන්නේ මොස්කව් නුවරදීය. නව වසර උදාවීමට ප්‍රථම දෙසැම්බර් තිස් එක් වන දා උත්සවය ආරම්භ කොට මහත් උත්සවාකාරයෙන් උත්සවය පවත්වයි. ක්‍රෙම්ලින් මන්දිරයේ පිහිටි ඔරලෝසු කණුව දෙසැම්බර් තිස් එක්වැනිදා මැදියම් රැයේ දී දොළොස් වරක් මහ හඬ දෙමින් ශබ්දය පතුªරුවා හරින විට රුසියාවේ මුළු ජනතාවම ඔරලෝසුවේ එම ශබ්දයෙන් පිබිදී නව වසරට සූදානම් වේ. රුසියාවේ පවත්වන නව වසරේ විශේෂ ලක්ෂණයක් වන්නේ නව අවුරුදු ගසයි. එම ගස ඉදි කරනු ලබන්නේ ක්‍රෙමිලින් භූමියේ ය. ෂැම්පේන් පානය, සව්දිය පිරීම සුබ පැතුම් පැතීම ත්‍යාග පිරිනැමීම මෙහිදී සිදු කෙරේ.

නව අවුරුද්ද උදාවන රාත්‍රියෙහි රුසියන් ජනතාව වීදි බැස සතුට ප්‍රකාශ කරමින් සුබ පතමින් යන එන අයට ආසිරි ගන්වති. ගෙන් ගෙට යමින් උසුළු විසුළු කරමින් විනෝද වෙති. මෙසේ විනෝද වන ජනතාව උදාවන ජනවාරි පළමුවැනිදා හිරු මුදුන් වී හිරු රැස් නිවෙස්වලට පතිත වන විට එම උත්සව අවසන් කොට නිවෙස්වලට යති.

ජපානය

ජපානය ද නව වසරේ උදාව මහත් උත්සවාකාරයෙන් සමරති. ජපානයේ එම උත්සවය පවත්වනු ලබන්නේ ඔසෝගයිටිසු නමිනි. මේ උත්සවයේ විශේෂත්වයක් වන්නේ ජපන් ජාතික හැම දෙනාම එකට මුණ ගැසෙන අතර මාපිය වැඩිහිටියන්ගේ නිවෙස්වලට ගොස් සමඟියෙන් සමාදානයෙන් විනෝදයෙන් ගත කිරීමයි. ඉන් අනතුරුව ඒ සෑම කෙනෙක්ම විහාරස්ථානවලට රැස්වේ. එසේ යන විට මහ මගදී හමුවන අයට නව වසර වාසනාවන්ත වේවා කියමින් ප්‍රාර්ථනා කරති. ජනවාරි පළමුවැනිදා දරුවන්ට තෑගි භෝග ලබාදෙමින් විනෝද වෙති.

වියට්නාමය

වියට්නාමයේ ලබන්නා වූ නව වසර පවත්වනු ලබන්නේ චන්ද්‍ර මාසය අනුව ජනවාරි මාසයේ අග හෝ පෙබරවාරි මාසය මුලදීය. අවුරුදු දිනය උදාවීමට පෙර දිනයේ සෑම කෙනෙක්ම තම තමන් ඉන්නා ස්ථාන මල්වලින් සරසති. මෙසේ සැරසීම නිසා එම ස්ථාන එකම මල්වත්තක් මෙන් දිස්වීම හැමගේ විනෝදයට හේතුවේ. එමෙන්ම නිවෙස්වල කෑම මේස ද මල් බඳුන්වලින් අලංකාරවත් කර පවතී. නිවෙස්වල බිත්ති ද ආදර්ශ පාඨවලින් සකසා ඇති අතර අලංකාර චිත්‍රවලින් ද ලස්සන කර ඇත. නව අවුරුද්ද මිතුරන් හා එක්ව සමරන ඔවුන් පීච් ගස් අතු තෑගි දීම ද සිරිතකි.

ඉරාණය

ඉරානය නව අවුරුද්දට පිවිසෙන්නේ මාර්තු මස විසි දෙවැනි දා සිටය. මෙදින ගම්වල තුවක්කු මඟින් නිකුත්කරන වෙඩි හඬින් ගම් ගිගුම්දෙයි. වෙඩි ශබ්දය සමඟ හැමදෙනාම රිදී කාසි අතට ගනී. කාසි අතට ගැනීමට නොහැකි වුවහොත් ඔවුන්ට අවුරුද්දම තම රටින් පිට වාසය කිරීමට සිදුවෙතැයි විශ්වාස කෙරේ.

බ්‍රිතාන්‍යය

බ්‍රිතාන්‍යයේ දෙසැම්බර් තිස් එක් වැනි දා මධ්‍යම රාත්‍රියෙහි ඔරලෝසුවේ දොළහ වැදුණු සැණින්ම නිවෙස්වල දොරවල් ඇර තබති. ඒ නව අවුරුද්දට නිවෙස්වලට එන අය පිළිගැනීමටයි එසේ එන අයගේ හිසකෙස් දුඹුරු හෝ රතුපාට නම් වසර වාසනාවන්ත වන බවට විශ්වාස කෙරේ.

තායිලන්තය, මියන්මාරය, ඉන්දියාව ආදී රටවල ද නව වසර සමරනු ලබන්නේ ආගමානුකූලව වත් පිළිවෙත් අනුගමනය කරමිනි.

ශ්‍රී ලංකාව

ශ්‍රී ලංකාවේ නව වසර සමරනු ලබන්නේ ජනවාරි මස පළමුවැනිදාය උදෙන්ම කිරි ඉතිරවීමෙන් හා කිරිබත් පිසීමෙන් බුද්ධ පූජාවට හා දේව පූජාවට කිරිබත් තබා අරඹන අවුරුද්දේ නව කටයුතු ඇරැඹීම සඳහා විහාරස්ථානය කරා යමින් ස්වාමීන් වහන්සේලාට දාන මානාදිය පිරිනමමින් ආශිර්වාද ලබා ගනිති. කතෝලික ජනතාව දේවස්ථානවල මධ්‍යම රාත්‍රී පූජාවට සහභාගි වී යන එන අයට සුබ පතමින් නිවෙස් කරා යයි. මුස්ලිම් හා දෙමළ ජනතාව තම ආගම්වලට අනුකූලව වත් පිළිවෙත්වල යෙදෙමින් ආශිර්වාද කරති. ශ්‍රී ලංකාවේ ජනතාව දෙසැම්බර් මස තිස් එක්වැනිදා රට පුරාම සර්ව රාත්‍රික පිරිත් දෙසුම් පවත්වා රටටත් ජනතාවටත් නීරෝගි සුවය හා සෙත් ශාන්තිය ප්‍රාර්ථනා කරති.

බත්තරමුල්ල පැලවත්ත 
රාජපුර වෙද මැදුරේ 
ප්‍රධාන ආයුර්වේද වෛද්‍ය 
සුමිත් එම්. පී. රාජපුර

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.