වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
පෙරහර සම්ප්‍රදාය ජනතාවට කරන සංග්‍රහයක්
පෙරහර සම්ප්‍රදාය හා සංස්කෘතිය ශ්‍රී ලංකාවේ වැදගත් අංගයකි. එම සංස්කෘතිය කියවීම පිළිබඳ ඉතිහාසය බොහෝ ඈතට දිව යයි. ශ්‍රී ලංකාවේ පෙරහරක් පැවැත්වීම හා සම්බන්ධ වූ ලිඛිත සාක්ෂි මුලින්ම අපට හමුවන්නේ දේවානම්පියතිස්ස රජ සමයේදීය.
එම සමයේ මිහිඳු රහතන් වහන්සේගේ අනුශාසනා මත ධර්මාශෝක රජතුමාගේ අනුග්‍රහය යටතේ දඹදිව ශ්‍රී මහා බෝධින් වහන්සේගේ අංකුªරයක් මෙරටට වැඩමවීම සිදු කරනු ලැබුවේ සංඝමිත්තා තෙරණිය විසිනි. එම බෝධින් වහන්සේ මෙරටට වැඩම වූ පසු මෙරට වෙරළට මහ පෙරහරින් ගමන්කර මුහුදේ තරමක් දුර ගොස් සංඝමිත්තා තෙරණියගෙන් පිළිගෙන මහ පෙරහරකින් අනුරාධපුර රාජධානියට වැඩමවූයේ මහත් භක්තියෙනි. මහා පෙරහරක්, විශාල උත්සවයක් හා විශාල සැනකෙළියක් දේවානම්පියතිස්ස රජතුමා විසින් පැවැත්වූයේ එම වැදගත් වූ අවස්ථාව සමරමිනි. මෙලෙසින් වැඩම වූ බෝධින් වහන්සේගේ උත්සවය හා සම්බන්ධ වූ පෙරහර වාර්ෂිකව අප රට තුළ පැවැත්වීම රට පුරා සිදු විය. එය මහා වංශයේ හා බෝධිවංශයේ මූලාශ්‍ර මඟින් සනාථ කරයි. මෙවැනිම මහ පෙරහරක් පිළිබඳ අපට සාක්ෂි හමුවන්නේ කීර්ති ශ්‍රී මේඝවර්ණ රජසමයේ දන්ත ධාතුන් වහන්සේ ලංකාවට වැඩමවීමය. එම ඓතිහාසික සිදුවීම ද සමරමින් පැවැත්වු පෙරහර ද වාර්ෂිකව පැවැත්වීම මේ දක්වාම සිදු වන්නේ ඉතාම අභිමානවත් ලෙසිනි.
මේ අනුව පෙරහර සම්ප්‍රදාය අප රටේ මුල්ම රාජ අවධිය තෙක්ම දිව යයි. එය අප රටේ බෞද්ධ ඉතිහාසය ආරම්භය හා සමගාමීව නිර්මාණය වී තිබීම සුවිශේෂි සිද්ධියකි. ඒ අනුව අදත් දළදා මාලිගාවේ පෙරහර ඉතාමත් අලංකාරව අභිමානයෙන් පවත්වයි. එසේම දළදා වහන්සේ වැඩම වූ බොහෝ ස්ථානවල පෙරහර පවත්වනු ලබයි. ඒ සමඟම එය රට පුරාම පැතිර යමින් තවත් බොහෝ ආගමික සිද්ධස්ථාන රැසක සංස්කෘතික කරුණු මුල්කර ගනිමින් පවත්වනු ලබයි. එවැනි වූ සුවිශේෂ පෙරහරක් ලෙස බෙල්ලන්විල රජමහා විහාරයේ පෙරහර ඉතාම අලංකාරව පවත්වන සුවිශාල පෙරහරකි.
බෙල්ලන්විල පෙරහර 73 වැනි වරටත් පැවැත්වීමට සියලු කටයුතු දැන් සූදානම් කර තිබේ. පසුගිය වසර තුනක කාලයත් රට පුරා පැවැති විවිධ අර්බුද හමුවේ ක්‍රමවත්ව පැවැත්වීමට නොහැකි වුවත් මේ පෙරහර මෙවර ඉතාමත් අලංකාරවත් ලෙසින් පවත්වනු ලබයි. ඓතිහාසික බෙල්ලන්විල රජමහා විහාරය මුල්කරගනිමින් පවත්වන මේ පෙරහරේ ඓතිහාසික වැදගත්කම හා පෙරහර පිළිබඳ වූ ඓතිහාසික පිළිබඳ විමසීමක් කළේ බෙල්ලන්විල රජමහා විහාරයේ වත්මන් විහාරාධිපති, සිංගප්පූරුවේ ප්‍රධාන සංඝනායක බෙල්ලන්විල ධම්මරතන නාහිමියන්ගෙනි.
“බෙල්ලන්විල රජ මහා විහාරයේ පෙරහර නිර්මාතෘ ලෙස බෙල්ලන්විල ශ්‍රී සෝමරතන නාහිමියන් හඳුවන්න පුළුවන්. උන්වහන්සේ මේ පෙරහර ආරම්භ කළේ දළදා පෙරහර සම්බන්ධ කර ගනිමින්. අපේ විහාරයට තිබෙන ඓතිහාසික වටිනාකමට සංස්කෘතික වටිනාකමක් එක් කිරීමේ අදහසින් තමයි මේ පෙරහර මීට වසර 73 පෙර 1950 වර්ෂයේදී කළේ. ඒ පෙරහර පැවැත්වූයේ දළදා පෙරහර පිළිබඳ වසර ගණනක අධ්‍යනයක් කිරීමෙන් පසුවයි. මම මේ විහාරස්ථානයේ පැවිදි බව ලබා ගන්නේ ඒ වසරේදීමයි. මට ඒ පෙරහරටත් මුලින්ම සම්බන්ධ වෙන්න ලැබුණා.
පෙරහරක වැදගත්ම අංගයක් වන්නේ අලි ඇතුªන් ගමන් කිරීම. අද එය බරපතළ ප්‍රශ්නයක් වුණත් එදා මුල්ම අපේ පෙරහරටත් අලි ඇතුන් 60 කට වඩා සහභාගි කර ගත්තා. අද එය දුෂ්කර කාර්යයක් . වරක් අලි ඇතුන් 111ක් සහභාගි කරගත් අවස්ථා තිබුණා. අපේ බුදු දහම රැකී තිබෙන්නේ බෞද්ධ සංස්කෘතිය නිසයි. ඒ නිසා අපි සැමවිටම බුදුදහම රැක ගැනීමට අපේ සංස්කෘතියට මුල්තැන ලබාදිය යුතුයි. ඒ නිසා මොන පීඩන තිබුණත් පෙරහර වැනි සම්ප්‍රදායක් අප රැක ගනිමින් එය පැවැත්විය යුතුයි. තායිලන්තය, කාම්බෝජය, බුරුමය, සිංගප්පූරුව වැනි රටවල මෙවැනි බෞද්ධ සංස්කෘතියකින් තිබෙනවා. ඒ රටවල ඒ සංස්කෘතිය රැකගන්නේ බුදු දහම නිසයි.
මේ පෙරහර ආගමික, සංස්කෘතික උත්සවයකට එහා ගිය විශාල අධ්‍යාත්මික ජනතා සංග්‍රහයක්.
අද ජනතාව සතුටු කරන බොහෝ උත්සවයන්ට වඩා මේ උත්සවයේ විශාල අර්ථයක් තිබෙනවා. සංගීත සංදර්ශන, නැටුම් සංදර්ශනවලට සිය දහස් ගණනක තරුණ පිරිස් සහභාගි වෙනවා. මම ඒවා විවේචනය කරන්නේ නැහැ. රටක ජනතාවට පී‍්‍රතිවිය හැකි, විනෝදය ලබා ගත යුතු උත්සව පැවැත්විය යුතුයි. නමුත් ඒ උත්සවයන්හි විනයක්, පාලනයක් තිබිය යුතුයි. අතීතයේ පෙරහර නිර්මාණය වුණේ ආගමික හා සංස්කෘතික පදනමක් මත පමණක් නොවෙයි. ජනතාවට එයින් වින්දනයක් ලබා ගැනීමටත් අවස්ථාව ලැබුණා.
මේ වගේ පෙරහර රාශියක් අගනුවර වටා විහාරස්ථානවල පැවැත්වෙනවා. ඒවා නරඹන්න ලක්ෂ සංඛ්‍යාත පිරිසක් සහභාගි වෙනවා. ඔවුන් එය නැරඹුමෙන් විශාල සතුටක් ලබනවා. එය පෙරහරේ විශේෂ අංගයක්. එසේම විදේශ සංචාරකයන්ගේ ආකර්ෂණයන්ටත් ඉතා වැදගත්.
බෙල්ලන්විල ගම කියන්නේ මේ ප්‍රදේශයේ ඉතාම කුඩා ග්‍රාමයක්. මෙහි තිබෙන ඉතාම වැදගත් ඓතිහාසික සිද්ධස්ථානය වන්නේ මේ උතුම් වූ බෙල්ලන්විල බෝධීන් වහන්සේ. ඒ වටා ගොඩනැගුණු පුද පූජා හා වැදුම් පිදුම් නිසා තමයි මේ බෙල්ලන්විල මේ තරම් ප්‍රසිද්ධියට පත්වුණේ. මේ ගමේ මුලින්ම තිබුණේ ගෙවල් 12 යි. එහෙත් අද මුළු රටම අද බෙල්ලන්විල විහාරය බෝධින්වහන්සේ සහ පෙරහරට ගෞරවය දක්වනවා. මේ සඳහා මුල්වුණේ බෙල්ලන්විල සෝමරතන නාහිමි හා මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නාහිමියන්. ඒ දෙනම කළ සේවාව ජාත්‍යන්තරය දක්වා රැගෙන යාමේ අවස්ථාව ලැබුණා.
මේ විහාරස්ථානය හා දේවාලවල පවත්වන පුද පූජා පමණක් නොවෙයි. මෙ වන විට මේ විහාරස්ථාන කේන්ද්‍ර කර ගනිමින් විශාල සමාජ සද්කාර රාශියක් ද පැවැත්වීමට අප කටයුතු යොදා තිබෙනවා. මහාචාර්ය විමලරතන හිමියන් ආරම්භ කළ එම කටයුතු මම උපරිම අන්දමින් ඉදිරියට ගෙන යනවා. අප වැනි රටක් පන්සලත්, සමාජයටත් සේවයක් යුතුයි යන අදහසින් තමයි පූජා සංවර්ධන පදනම ආරම්භ කළේ. ඒ පදනම මඟින් වෘත්තිය පුහුණු වැඩසටහන් රාශියක් පවත්වනවා. සෞඛ්‍ය වෛද්‍ය සායනයක් මාසිකව පැවැත්වීම සිදු කරනවා. ඒ සඳහා වෛද්‍යවරු 40කට අධික සංඛ්‍යාවක් සහභාගි කර ගන්නවා. අපගේ විහාරස්ථානයේ විශාල දහම් පාසලක් ද ඉතාම හොඳින් ක්‍රියාත්මකයි. එහි ගුරුවරු 80ක් පමණ සේවය කරනවා. මෙවැනි සමාජ සද්කාර රාශියක් විහාරය මඟින් සිදු කිරීම විශේෂත්වයකි.
අප මේ විහාරස්ථානයේ පෙරහර හෝ වෙනත් ආගමික උත්සවයක් කළත් ඒ කටයුතු සඳහා මහජනතාව බරක් නොවී සිදු කිරීමට උත්සාහ කරනවා. අපේ දායක සභාව, පෙරහර කමිටුව ඒ සඳහා විශාල කැපවීමක් සිදු කරනවා.
අප මේ පෙරහරට නොගැළපෙන අංග කිසිවක් එකතු කරන්නේ නැහැ. එයට අපේ පැරැණි සංස්කෘතියට මුල් තැන ලබා දෙනවා. සමහර අවස්ථාවල අලුත් අංග එකතු කිරීම් නිසා පෙරහරට විවේචන එල්ල වුණා. එවැනි අංග පිළිබඳ අපි සොයා බලා ඉවත් කළා. නමුත් ඕනෑම අලුත් අංගයක් වුණත් අපේ පෙරහර සම්ප්‍රදායට පටහැනි නැත්නම් ඒවා අපි ඉවත් කරන්නේ නැහැ. උදාහරණයක් ලෙස මොනර නැටුම ඉතාම ජනපි‍්‍රයයි. එය අතීතයේ තිබුණේ නැහැ. නමුත් මේ නැටුම අපේ පෙරහර සම්ප්‍රදායට පටහැනි නැහැ. එය අතීතයේ නැටුම් සම්ප්‍රදායේ විකාශයක් ලෙස එය පෙරහරට එක්කර ගැනීම වරදක් නොවෙයි. වරක් වසර 25කට පෙර සිංහ නැටුම මම මේ පෙරහරට එක් කර ගත්තා. චීන සම්ප්‍රදායික ප්‍රධාන නැටුමක්. මෙය වෙන සම්ප්‍රදායක් වුණත් එය අපට ගැළපෙනවා නම් එහි වරදක් නැහැ. අපේ රට පුංචි වුණාට උතුරේ දෙමළ සම්ප්‍රදායේ සිට දකුණේ උඩරට, පහතරට සබරගමු ආදී නැටුම් රාශියක් තිබෙනවා. සිය ගණනක මේ නැටුම් තවමත් හඳුනාගෙන නැහැ. අප ඒ දේවල් එකතු කරන්න සෑම විටම උත්සාහ කරනවා. ඒ වගේම අලුත් නැටුම් එක්කර ගන්නා විට අපේ පෙරහර සම්ප්‍රදායට ගැළපෙන දේ තෝරා ගැනීමට අප උනන්දු වෙනවා.
පෙරහර සම්ප්‍රදාය අප රටේ ඇතිවීමට ප්‍රධාන හේතුවක් වන්නේ සොබාදහමේ බලපෑමයි. එයට නැකත් චාරිත්‍ර එක් වන්නේ සොබාදහමේ මේ අපූර්වතම සබැදියාවත් සමඟිනි. පෙරහර මුලින්ම නිර්මාණ වූයේ සිය දහස් සංඛ්‍යාත පිරිසක් නිරායාසයෙන්ම එකතුවීමෙනි.
ලක් දෙරණට ශ්‍රී මහා බෝධින් වහන්සේ වැඩමවීම හා දන්ත ධාතුන් වැඩමවීමේදී පවත්වන ලද පෙරහර සමඟ බිහි වූ පෙරහර සම්ප්‍රදාය පසුව ජනතාව තුළ රටේ අභාග්‍යසම්පන්න දුර්භික්ෂ ඇති වූ විට එය දුරුකිරීමට පෙරහරක් පැවැත්වීමෙන් ආශිර්වාදයක් ලබා ගැනීමට හැකිවන බවට විශ්වාසයක් ඇති විය. එයින් රටේ පවතින දුර්භික්ෂ රෝග පීඩා නැති වී නිසි කලට වැසි ඇති වී රට සශී‍්‍රක වන බවට ඔවුන්ගේ මතය විය. ඒ නිසා පෙරහරෙන් වැස්ස සංකේතවත් විය. රටේ දුර්භික්ෂයක් හා නියඟයක් ඇතිවූ විට බෞද්ධ චාරිත්‍ර අනුගමනය කරමින් පෙරහර පැවැත්වීමෙන් වැසි ලැබෙන බව ඓතිහාසික ග්‍රන්ථයන්හි සටහන්ව තිබේ. එය බෝධිවංශයේ සහ මහාවංශය හා දීපවංශයේ ද සඳහන් වේ. මේ ඓතිහාසික පසුබිම හා නිර්මාණය වූ පෙරහර චාරිත්‍රානුකූලව නැකත් ශාස්ත්‍රයට අනුව සිදු කිරීම පිළිබඳ විමසීමක් කළේ ඓතිහාසික බෙල්ලන්විල රජමහා විහාරයේ දායක සභාවේ සාමාජික නැකැත් කමිටුවේ අධ්‍යක්ෂ විශ්‍රාමික විදුහල්පති ශාස්ත්‍රපති ඒ. රණවීර ආරච්චිගේ මහතාගෙනි. ඔහු ඒ පිළිබඳ අපට වඩාත් හොඳින් විග්‍රහ කරනු ලැබුවේ මෙලෙසිනි.
“අපේ රටේ වැස්ස ලබා ගැනීම සඳහා පෙරහර පැවැත්වීම සිදු කළේ ඈත අතීතයේ පටන්ය. වැස්ස ලබා ගැනීම, විදුලි කෙටීම හා දිය කැපීමෙන් පසු වැස්ස ඇතිවීම යන ක්‍රියාවලිය තුළ පිළිබිඹු වන්නේ පෙරහරක මුල සිට අග දක්වා වූ නැටුම් අංග රාශියකි.
නැකැත් චාරිත්‍රවලදි ගොවියා සෑම කටයුත්තම ආරම්භ කළේ නැකතටය. ‘කරණ’ නමින් කියන නැකැත් චාරිත්‍රයේ සඳහන් නැකතක් තිබෙනවා. ගොවි කරණයේ ගොයම පාළු නොකරන නැකතක් ගන්න කියලා තියනවා.
ගොවි නැකතේදී අස්විද නැකත තමයි ඉතාම සුබ ලෙස සලකන්නේ යැයි පැවසූහ. සැළලිහිණි සංදේශයේ සඳහන් වන්නේ
සඳේ මුදුන් පත අස්විද නැකත සිට
යෙදේ ගමන් යහළුව මෙපුරෙන් තොපට
මේ පූර්ව සම්ප්‍රදායෙන් තමයි පෙරහර ආරම්භ වන්නේ. නුවර පෙරහරේ එය වඩාත් හොඳින් සිදු කරනවා. පෙරහරක කප් සිටුවීම සිදු කරන්නේ නැකතට අනුවයි. බෙල්ලන්විල විහාරයේ පෙරහරේ එය සිදු කරන වැදගත් චාරිත්‍රයක්. කුඹල් පෙරහර පැවැත්වීමටත් නැකත් බලනවා.
කුඹල් පෙරහර පැවැත්වීමේ ඓතිහාසික කතාවේදී ජලය නොමැතිව පෙරහර පැවැත්වීම පිළිබඳ ගැටලුවක් ඇති වෙනවා. එහිදී කුඹලෙක් මැටි ගෙනෙන ස්ථානයක් රාජ පුරුෂයෝ දකිනවා. එම පාර දිගේ ගොස් ජලය සොයාගෙන ඒම පිළිබඳ වූ ඓතිහාසික ජනප්‍රවාදය නිසා කුඹල් පෙරහර නිර්මාණ වූ බවට ද මතයක් තියෙනවා.
කුඹල් පෙරහර වගේම අනෙක් පෙරහරවල් සියල්ලම පවත්වන්නේ ගුරු හෝරාවෙන්. ඒ අනුව පෙරහර සඳහා කප් සිටුවීම හා දිය කැපීමේ නැකැත් අනුව සිදුවන චාරිත්‍රයක්. දිය කැපීම ඉරිදා උදේ කාලයේ පවත්වන්නේ රාහු කාලයට පෙරයි. රාහුකාලය ඉරිදා දිනයේ උදා වන්නේ පස්වරු 4.30ට පසුවයි. දේව දානය දීමේදී රාහු කාලය ලබන අතර එයින් අගතියක් නොවෙයි.
පෙරහර සම්ප්‍රදාය දෙවියන් හා බැඳෙනවා. පෙරහරක් පැවැත්වීමට පෙර සති පිරිතක් පවත්වනවා. එයින් දෙවියන්ට පින්දෙනවා. වැස්ස ලබා දෙන්නේ වැස්ස වළාහක දෙවියන් බව විශ්වාසයක් පවතිනවා. පෙරහරේ යන ඇතා සංකේතවත් වන්නේ වැහි වළාවකට. ඉදිරියේ යන ගිනිබෝල කස ගැසීම විදුලි කෙටීම සංකේතවත් කරනවා. පෙරහර සංකේතවත් කරන්නේ වැස්සටයි. දිය කැපීමෙන් සංකේතවත් වන්නේ වැස්ස ලැබීමයි. පසුගිය වසරේ ජලය ඉවත්කර අලුත්වතුර තැන්පත් කර දේව දානය දීමෙන් සිදු කරන්නේ ජනතාවට ආශිර්වාද කිරීමයි.
පෙරහරට පෙර සති පිරිත පැවැත්වීම තුළ විශාල බලයක් පවතී. බුදු දහම දේව ආගමක් නොවුණත් එය ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ග්‍රහ අපල දුරුවීමට පවා පිරිත් දේශනා පවත්වනවා. අප රාහු කාලය අත්හැර බුධ හෝරාව තෝරා ගන්නේ ඒ නිසායි. ධාතුන් වහන්සේ වැඩම කරන අතර කරඬුව ඇතා සමඟ වැඩමවීමේදී භික්ෂුවන් වහන්සේලා දෙනමක් වැඩමවීම සිදු කරන්නේ සැරියුත් මුගලන් අගසව් දෙනම සංකේතවත් කරමින්. ඒ අනුව නිතර මහා දේවාලවල පෙරහර ගමන් කරන්නේ එය සංකේතවත් කරමිනි.
විශේෂ ස්තුතිය
බෙල්ලන්විල රජමහා විහාරයේ
පෙරහර කමිටුවේ මාධ්‍ය සම්බන්ධිකාරක වනිගසිංහ මහතාට
දුමින්ද කාරියවසම්