අද සිට බෙල්ලන්විල පෙරහරට අලුත් අංගයක් එක් වෙයි

අගෝස්තු 18, 2023

මේ වසරේ 73 වැනි වරට පැවැත්වෙන බෙල්ලන්විල ඇසළ පෙරහර මංගල්‍යයේදී පළමු වරට රන්සිවිලි පෙරහර වීථි සංචාර කිරීම අද රාත්‍රී 07.05ට යෙදෙන සුබ මොහොතින් ඇරඹේ. හෙට (19) පස්වරු 07.06ට යෙදෙන සුබ මොහොතින් වීථි සංචාරයේ යෙදීමට නියමිත රන්දෝලි මහ පෙරහරට පෙරහුරුවක් වශයෙන් සැලකිය හැකි මේ රන්සිවිලි පෙරහර උඩරට, පහතරට, සබරගමු නැටුම් රැසකින් මෙන්ම උඩරට හා පහතරට හේවිසිවලින් ද මෑත යුගයේ එක් වූ අලංකාර නැටුම්වලින්ද සමන්විතය. සුබ නැකැතින් සධාතුක කරඬුව රැගත් හස්තියා නැඟෙනහිර වාහල්කඩින් ප්‍රධාන මාර්ගයට ප්‍රවිෂ්ට වී විහාර මාවත, දෙහිවල - මහරගම ප්‍රධාන මාර්ගය, ශ්‍රී සෝමරතන මාවත, විහාර මාවත ඔස්සේ පැමිණ නැඟෙනහිර වාහල්කඩින් ම විහාරස්ථානයට ගෙවැදීම ට නියමිතය.

හෙට දිනයේ (19) පැවැත්වෙන රන්දෝලි මහ පෙරහර ද නැඟෙනහිර වාහල්කඩින් පිටත්ව සුපුරුදු මාර්ගය ඔස්සේ වීථි සංචාරය කොට එම වාහල්කඩින් ම විහාරස්ථානයට ගෙවැදීම ට නියමිතය.

අනිද්දා (20) සුබ මොහොතින් විහාරස්ථානයේ බටහිර වාහල්කඩින් පිටත්වන දියකපන පෙරහර බෙල්ලන්විල කටු ඇලේදී දිය කපන චාරිත්‍ර ඉටු කිරීමෙන් අනතුරුව ප්‍රදේශ වාසීන් විසින් පවත්වන දේවදානයට සහභාගී වී නැවත විහාරස්ථානයට පිවිසේ.

සධාතුක කරඬුව විහාරස්ථානය වටා පාවඩ මතින් වැඩමවා ඇතුළු මාලිගාවේ තැන්පත් කිරීමෙන් පෙරහර මංගල්‍යය නිමාවට පත් වන අතර පෙරහරට හා දේවදානයට සහභාගී වූ මෙන්ම නැරැඹූ සියලු දෙනාට සෙත් පතා කෙරෙන ආශීර්වාද නර්තනයෙන් මෙවර බෙල්ලන්විල ඇසළ පුණ්‍යෙීත්සවය නිමා කිරීමට නියමිතය.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
14 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.