අකුසල් යට කර වාසනාව උදාකරන ක්‍රම

අගෝස්තු 11, 2023

දින සති පසු කරමින්, ලද දිවිය අරුත් ගන්වන්නට වෙහෙසකර ගමනක යෙදෙන අප, නිරන්තරවම දුක සතුට තුළ දෝලනය වෙමින් සිටීමු.

සතුටේදී සිනහ සලන අප වේදනාවේදී කම්පාවට පත් වීමට පසුබට නොවෙමු. එවන් ජීවන රටාවක උරුමකරුවන් වන අපට, අපේ සැබෑ වාසනාව මතු කර ගත හැකි සියුම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට මෙම ලිපියෙන් මම උත්සහ දරමි.

පුද්ගලයෙකුගේ නිවැරදි උපන් වේලාව අනුව ඔහුට හෝ ඇයට හිමි වන්නා වූ ජන්ම ශක්තීන් නිර්ණයේ ප්‍රතිඵලයක් ලෙස මේ භවය තුළ ක්‍රියාත්මක වීමට නියමිත ඔහුගේ හෝ ඇයගේ කුසලාකුසල කර්මයන් ඉස්මතු වීම හඳුනාගත හැකි ක්‍රමවේදයක් වේදයේ සඳහන් වේ. උත්පත්ති ග්‍රහ තත්ත්වය අනුව ඔහු හෝ ඇය විසින් රැගෙන ආ කර්ම පල ප්‍රමාණයත්, ග්‍රහ ගෝචරය යෙදෙන්නා වූ රටාවෙන් මේ දක්වා රැස් වූ කර්මයන් පිළිබඳවත්, ගෙවී යන දශානුකූලව ජීවන රටාවත් හඳුනාගැනීමේ දක්ෂතාවය ජ්‍යෝතීර්වේදියා සතුය. ඒ අනුව ගත වූ සීමාව වෙනස් කළ නොහැකි වුවද, ග්‍රාහකයාගේ උත්පත්ති වාසනා ගුණය දරා ගැනීමේ ප්‍රමාණය පිළිබඳ යම් වැටහීමක් ලබා ගැනීමට දෛවඥයාට හැකිය.

වෙනස් වීමේ හැකියාවෙන් යුතු මනුෂ්‍යයකු ලෙස, පෙර කරන ලද පින් කන්දක් දරා මෙලොව ජනිත ව, අවස්ථාවක් ලැබීමේ වාසනා ගුණ සහිතව ජ්‍යෝතිර්වේදීයකු හමුවන ග්‍රාහකයා වෙත ඔහුගේ ජීවිතයට සරිලන නිවැරදි මග පෙන්වීමක් ලබා දීම තුළින් ඔහු විසින් අපේක්ෂිත අරමුණු ඉෂ්ට සිද්ධ කර ගැනීමට ඉවහල් වන්නා වූ, පෙර පින් කුසල් ඉස්මතු කරගත හැකි වත් පිළිවෙත් මාලාවක් වේදයේ සඳහන්ය.

නිවැරදි ජන්ම පත්‍ර පරීක්ෂාවකින් අනතුරුව ඒ ඒ පුද්ගලයන්ගේ දිවි අගතියට හේතු වන්නා වූ කරුණු කාරණාවන් ගෙනෙන ග්‍රහ බලපෑම් පළිබඳව මෙන්ම එම අපල දෝෂාදියන් සමනය කිරීම සඳහා කළ යුතු සෙත් ශාන්තීන් ද හඳුනා ගැනීම කළ හැකිය.

විවිධාකාර වූ එම සෙත් ශාන්ති කර්ම නිවැරදිව ඉෂ්ට සිද්ධ කිරීම තුළ ඔවුනට යෙදෙන අපල උපද්‍රව සමනය කර ඒකාන්ත වශයෙන් පෙන්විය හැකි ශුභ ප්‍රථිපල ප්‍රමාණය ග්‍රාහකයාගේ ශක්ති මට්ටම අනුව තීරණය වේ. මන්දබුද්ධික හෝ අංග විකල නොවූ ඕනෑම පුද්ගලයකු තම ජීවිතය වාසනාවන්ත කර ගැනීමට ප්‍රමාණවත් වන පමණ කුසල සම්භාරයක් සහිතවම උපත ලබා ඇත. යමෙකු සැපවත් හෝ දුක්බර ජීවිතයක උරුමකම් විඳීනුයේ ඒ ඒ අවස්ථාවන්හි ඔවුන් විසින් මුහුණ දෙන කර්මානුරූපීවමය. කුසල කර්මවිපාක දෙන විට සැපවත් ජීවිත ද අකුසල කර්ම ක්‍රියාත්මක වන විට ජීවිතය දුක්බරවද ගතවනා බව දෛවඥයාට දශානුකූලව හඳුනා ගත හැකය. නිසි මගපෙන්වීමක් ලැබන්නේ නම් ඕනෑම පුද්ගලයෙකුට තම ජීවිත සැපවත් කිරීමට අදාළ කුසල කර්ම ඉස්මතු කර ගැනීමේ හැකියාවක් පවත්නා බැවින් වරෙක බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කර වදාළේ ග්‍රහ තාරකාවන්ට කුමක් කළ හැකිද? යන්නය. කිසිවකුට අකුසල කර්මයන් විපාක දෙන අවස්ථාවන්හිදී මතු සඳහන් කරන්නට යෙදෙන වත් පිළිවෙත් හා කුසල් දහම්හි ඕනෑකමින් නිරත වීමෙන් ඔවුන්ගේ අකුසල් ශක්තීන් යටපත් කර කුසල් සිත් උපදවා උප්පත්ති තත්ත්වය වෙනස් කර ගැනීමේ වාසනාව උදා කර ගත හැකිය.

දෛවඥයකු වනාහි නිතර ගුණ දහම් වඩන, වත් පිළිවෙත් නොපිරිහෙළා ඉෂ්ට සිද්ධ කරන, යම් මානසික දියුණුවක් ලද හෝ ඒ සම්බන්ධ හැඟීමක් සහිත පුද්ගලයන් ය. එවන් පුද්ගලයෝ පුබුදු කළ මානසික ශක්තීන් ද ඉවහල් කරගෙන සිය ග්‍රාහකයාගේ ජීවිතය සාර්ථක කර ගැනීමට අදාළ වන්නා වූ ක්‍රමවේදයන් මැනවින් හඳුනාගෙන ඒ සඳහා සහය වෙයි.

ඇතැම් විට ග්‍රහ බලපෑම් ඉක්මවා ගිය, ග්‍රාහකයා කෙරෙහි බල පවත්වන්නා වූ ඕරා ශක්ති ප්‍රමාණය දැන ග්‍රහ දෝෂ වින දෝෂ හෝ ඇස් වහ කට වහ ආදී දෝෂාන්ධකාරයන් හේතුවෙන් කුියාත්මකවත්නා වූ කර්ම දෝෂයන් ද හැඳීන, එක් එක් පුද්ගලයාට වෙන් වෙන් වශයෙන් ඉෂ්ට සිද්ධ විය යුතු වත් පිළිවෙත් කම් හඳුන්වා දෙන අවස්ථාවන් අපට දක්නට ලැබේ. එහිදී ග්‍රාහකයා විසින් තම ශක්ති ප්‍රමාණයෙන් තමා විසින්ම විසින් ම පිළිපැදිය යුතු වත් පිළිවෙත් කොටසක් මෙන්ම දෛවඥයා නැතහොත් ඇදුරුතුමන් විසින් සකස් කර ඉටුකරනු ලබන කොටසක්ද ඇතුළත් විය හැකිය.

තවද දෛවඥයා විසින් පවරනු ලබන සියලු වත් පිළිවෙත් නොපිරිහෙළා ක්‍රමවත්ව එක්වනම ක්‍රියාත්මක කිරීම තුළින් එම ගුප්ත විද්‍යාත්මක ශක්තීන්හි බලය ඇස් පනාපිට දැකිය හැකිය. යම්කිසි රෝගාබාධයක් උදෙසා වෛද්‍යවරයා විසින් පවරනු ලබන බෙහෙත් හේත් සියල්ල නිවැරදිව භාවිතා කිරීම තුලින් එම රෝගාබාධය සම්පූර්ණයෙන්ම සුවපත් කර ගත හැකි වන්නාසේ, ග්‍රහ අපලයක් යෙදී ඇති විට පවරන්නා වූ වත් පිළිවෙත් සියල්ල නිවැරදිව ක්‍රියාත්මක කිරීම තුළින්, එම දෝෂයන් යටපත් කර හෝ විනාශ කර දැමීමේ හැකියාවක් ශාන්ති කර්ම මගින් ඉටුකර ගත හැකිය. වෛද්‍යවරයා විසින් රෝගය හැඳීන ප්‍රතිකර්ම ලෙස දෙනු ලබන බෙහෙත් නිසි අයුරින් රෝගියා විසින් භාවිතයට නොගන්නේ නම් රෝගය සුවවීම පිලිබඳව වෛද්‍යවරයාට කළ හැකි දෙයක් නැත . එලෙසම දෛවඥයා හෝ ගුප්ත විද්‍යාඥයා විසින් ඔහුගේ කාර්‍යයන් කොපමණ නිවැරදි ලෙස ඉෂ්ට සිද්ධ කළ ද ග්‍රාහකයා සිය කාර්යයන් අතපසු කරන්නේ නම් එහි ප්‍රතිඵල ලැබීම ද උගහට ය. එබැවින් දෙදෙනාම නිවැරදිව තම ශක්තීන් කුියාත්මක කරන්නේ නම් මෙම ගුප්ත විද්‍යාත්මක ශාන්ති කර්මයන්හි ප්‍රතිඵල එදා මෙන්ම අදද එකසේ ක්ෂණිකව ලැබිය හැකිය.

ශාන්ති කර්මයන් පිළිබඳව සඳහන් කිරීමේ දී බෝධි පූජා පින්කම් පවත්වා සෙත් ප්‍රාර්ථනා කිරීම ප්‍රමුඛ ස්ථානයක් ගනී. මෙහිදී ඇතැම් දෛවඥවරුන් විසින් දින තුනක්, හතක්, නමයක්, ආදී වශයෙන් බෝධි පූජාවන් පැවැත්විය යුතු යැයි නිගමනය කෙරේ. එලෙස සඳහන් කිරීමට හේතුව වනුයේ එක් එක් පුද්ගලයාගේ ග්‍රහ ශක්තීන්ගේ මට්ටම අනුවය. කෙසේ වෙතත් බෝධි පූජාවන් පැවැත්වීම ග්‍රහ අපල ඇති අයට සේම යහපත් කාල වකවානු ගත කරන්නන්ට ද එකසේ ප්‍රයෝජනවත්ය. ඒ වාගේම දින 21 ක බෝධි පූජාවක නිරතවීමේ දී ඒ සම්බන්ධව කරනු ලබන කැපවීමේ ප්‍රමාණය අධික වීමත්, යම් කාර්යයක් විසි එක් වතාවක නිරත වීම තුළ ලබන වඩාත් සුබදායක ප්‍රතිඵලත් සැලකිල්ලට ගෙන දින විසි එකක් නොකඩවා එකම තැනක බෝධි පූජා පැවැත්වීම වඩාත් සුබදායක බව දකිමි. බෝධි පූජාවන් පැවැත්වීමේ දී සූත්‍ර දේශනාවන් සජ්ඣායනය කිරීම ද, දෙවියන්ට සහ තම නමින් මළගිය ඇත්තන්ට පින් අනුමෝදන් කිරීම වෙනුවට පොදුවේ පින් බලාපොරොත්තුවෙන් සිටින්නාවූ සියලුම ඇත්තන්ට පින් පෙත් අනුමෝදන් කිරීම වඩාත් ඵලදායක බව දැක ඇත. එසේ පින් අනුමෝදන් කිරීමෙන් අනතුරුව ග්‍රාහකයා වෙත සෙත් ප්‍රාර්ථනා කිරීම ද දෙවියන්ගේ රැකවරණ ආශිර්වාද පතා භාරහාර වීම ද,සෙත්කවි ගායනා කිරීම ද ක්ෂණික ප්‍රතිඵල ලද හැකි ක්‍රමවේදයකි. මෙහිදී අපල උපද්‍රවයනට ගොදුරුව ඇති ආතුරයාගේ නැකැතට, නමට සීහුම් වන පරිදි පෞද්ගලිකවම සෙත් පැතීමේ කටයුතු සිදු වන බැවින් ක්ෂණිකව ප්‍රතිඵල දැකිය හැක. ඒ වගේම සෙත් ශාන්ති යන්ත්‍ර භාවිතය ද සමාජයේ සුලභව දැකිය හැකිය. මිනිසාගේ පාලනයෙන් පරිබාහිරව ක්‍රියාත්මක වන කටයුතු තම රිසි පරිදි පාලනය කිරීම සඳහා යන්ත්‍ර ප්‍රයෝජනයට ගනී. යන්ත්‍ර ශාස්ත්‍රය පුළුල් පරාසයක් හරහා පැතිර පවතී. මේවා සෙත් ශාන්ති යන්ත්‍ර, ආරක්ෂක යන්ත්‍ර, ආකර්ෂණ යන්ත්‍ර, වශීකරණ යන්ත්‍ර ආදී ලෙස සිය අවශ්‍යතාවන් අනුව විවිධ කාරණයන් සපුරා ගැනීම සඳහා ප්‍රයෝජනයට ගනු ලබයි. එක් එක් ග්‍රහයන්ගෙන් වෙන් වෙන් වශයෙන් සිදු වන්නා වූ අපල උපද්‍රවයන් සඳහා භාවිත කරනු ලබන නාගාර්ජුණ යන්ත්‍රය, මෘත්‍යුංජය යන්ත්‍රය රතන, නවග්‍රහ, අභිසම්භිදාන ආදි යන්ත්‍ර ඒ ඒ ග්‍රහයාගෙන් පැමිණෙන්නා වූ අපල උදෙසාම භාවිත කළ යුතුව ඇත.

 

ඡ්‍යොතිර්වේදිනී සුශාන්ති ලේඛාංජලී වඩුගේ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
14 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.