බැඳී‍ෙම් ස්වභාවය කියන විවාහ රේඛාව

අත්ලෙන් හෙළි වන ජීවිත රහස්
අගෝස්තු 11, 2023

මිනිස් සමාජයේ පැවැත්ම ඉදිරියට ගෙන යාමට පවුල් සංස්ථාව ඉතාම වැදගත් වේ. එසේම පුද්ගලයකුගේ ජීවිතයේ පූර්ණත්වය සඳහා විවාහයක් කර ගත යුතු යැයි සමාජ සම්මතයකි. එහෙත් විවාහ අරමුණු පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්වේ.

සමහර පුද්ගලයන් වත්පොසත්කම් වැඩි කර ගැනීම සඳහා ද තවත් අයෙක් මාපියන්ගේ වුවමනාවට ද තවත් අයෙක් අනිත් අය කරන්නන් වාලේ ද විවාහ වෙති. ඒ කෙසේ වෙතත් නීතිමය බන්ධනය අත්ලෙහි සටහන් නොවන අතර, අත්ලෙහි විවාහ රේඛාවලින් පෙන්නුම් කරන්නේ තෝරාගත් අයෙකු සමඟ දෙදෙනාගේ කැමැත්ත මත නිරන්තරයෙන් පවතින ප්‍රීතිමත් කායික සම්බන්ධතාවයන්ය. එය විවාහය යැයි හැඳින්විය හැකිය.

විවාහය අත්ලෙහි රේඛා තුළ ස්ථාන කිහිපයකදිම දැක ගත හැකිවේ. හෘද රේඛාවෙන් ජීවන රේඛාව වෙත පැමිණෙන වක්‍රාකාර රේඛා ජීවන රේඛාව කපන ස්ථානයේදි ජීවන රේඛාව මත එම වයසේදි විවාහය හෝ ප්‍රේම සම්බන්ධතා ඇතිවේ. එමෙන්ම දෛව්‍ය රේඛාවට චන්ද්‍ර මණ්ඩලයෙන් පැමිණ සම්බන්ධ වන රේඛා වලින් ද ජීවන රේඛාවෙන් පහලට ලම්බකව එල්ලෙන කෙටි රේඛා වලින්ද කුටුම්භ රේඛාවෙන් ජීවන රේඛාවට අතු ශාඛාවක් එල්ල වීමෙන්ද බුධ මණ්ඩලය මතුපිට වැටෙන රේඛා වලින් ද විවාහ සම්බන්ධතා පෙන්නුම් කරයි. නමුත් ඉහත කී විවාහ රේඛාවල වැදගත්ම එනම් නොවැරදීම පවතින බුධ මණ්ඩලය මතුපිට වැටෙන රේඛා ගැන සලකා බලමු.

සුළැඟිල්ල පාමුල හෘද රේඛාවට ඉහළින් බුධ මණ්ඩලයේ පිට දාරයේ සිට මධ්‍ය දක්වා තිරස් අතට විහිදෙන රේඛා විවාහ රේඛා හෙවත් බන්ධන රේඛාවේ. මෙම රේඛාවල ස්වභාවය අනිකුත් රේඛා මෙන් වෙනස් වන අතර, රේඛා කිහිපයක් පැවතිය හැකිය. පුද්ගලයකුගේ අත්ලෙහි එක් ප්‍රබල රේඛාවක් පමණක් හෘද රේඛාවට සමාන්තරව විහිදේ නම් එම පුද්ගලයාගේ සාර්ථක යුග දිවියක් අපෙක්ෂා කළ හැකිය. ඉහත ආකාරයට ගමන් කරන රේඛාව කරුවක් ලෙස බෙදී පවතීනම් එම විවාහය නිරන්තරයෙන් ගැටීම් සහිතව ගමන් කරයි. දෙදෙනා මත දෙකක ක්‍රියාත්මක වන අතර, නිරන්තරයෙන් ගැටුම් පවති. එසේ වුවත් ඔවුන් අතර කායික සම්බන්ධතාවයන් තවදුරටත් පවති. එසේ කරුව සහිත විවාහ රේඛාව පහළට එනම් හෘද රේඛාව දෙසට නැමී ඇත්නම් ඔවුන් ගේ කායික සම්බන්ධතා නතරවන අතර දික්කසාදය කියන වචනය ඔවුන් අතරට පැමිණේ. තව දුරටත් එසේ පහලට නැමුණු කරුව සහිත විවාහ රේඛාව හෘද රේඛාව ස්පර්ෂ කරයි නම් දික්කසාදය සඳහා නීතිමය ක්‍රියාදාමයට අවතිර්ණ වේ. එම රේඛාවෙන් අතු ශාඛාවක් කුජ තලාවට ගමන් කර ඇත්නම් ඔවුන් දෙදෙනා වෙන්වන නඩු තීන්දු තීරණය ලැබේ.

පුද්ගලයකුගේ අත්ලෙහි විවාහ රේඛාව කරුවකින් ආරම්භ වී ඇත්නම් මුදල් දුෂ්කරතා රෝගී තත්වයන් හෝ වෙනත් දුර පළාතක හෝ රටක ජීවත්වීම නිසා විවාහය ප්‍රමාද වේ. එසේත් නැතිනම් මුලදි බාධක මැද කරගන්නා ප්‍රේම සම්බන්ධතාවය පසුව ස්ථාවර වීමක් ද විය හැකිය. මුල් කාලයේ වෙන්වී සිට පසුව සාර්ථක යුග දිවියක් ගෙවන බව පෙන්නුම් කරයි.

බන්ධන රේඛාව කෙළවර කුඩා කතිරයකින් කැපී ඇත්නම් කලාත්‍රයාගේ අභාවය පෙන්නුම් කරන ලක්ෂණයකි. එසේම දෙවැනි රේඛාවක් පවතීනම් එම රේඛාව උඩ අතට නැමී ඇතිනම් තවත් විවාහයකට ගමන් නොකරන බවත් නමුත් සම්බන්ධතා පැවත්විය හැකි

බවත් පෙන්නුම් කරන ලක්ෂණයකි. එසේම විවාහ රේඛාව දුරින් වක්‍රාකාරව නැමී හෘද රේඛාව ස්පර්ෂ කරන්නේ නම් කාලත්‍රයා දික් ගැස්සුණ අසනීපයකට ගොදුරු වන බවත් ආදරය මැදම අවසන් ගමන් යන බව පෙන්නුම් වේ. එම විවාහ රේඛාවට පසුව තවත් රේඛාවක් පවතින්නේ නම් එයින් පසුව දෙවැනි විවාහයකට පුද්ගලයා ගමන් කරයි. බන්ධන රේඛාව ආරම්භ වන්නේ දුපත් ලක්ෂණයකින් නම් එම පුද්ගලයා විවාහයට පෙර බන්ධන රාශියක් ඇති කර ගනී. විවාහය ප්‍රමාද වීමට මුල් අවධියේ වෙන්වීම ද සිදුවිය හැකිය. නමුත් රේඛාවේ ඉතිරි කොටස ප්‍රබලනම් ප්‍රිතීමත් එකතුවක් බලාපොරොත්තු විය හැකිය. විවාහයට පෙර සම්බන්ධතා යුග දිවියට අහිතකර ලෙස බලපායි.

විවාහය දිවියේ අවුල් වියවුල් ඇතිවිය හැකි ලක්ෂණයක් වන්නේ විවාහ රේඛාවේ ලප ඇති වීමයි. රේඛාවේ අග ලපයක් ඇති වීම අවුල් සහගත තත්වයක් නිසා දික්කසාදය වීමට ඉඩ ඇති බවත් රේඛාවේ මැද ප්‍රදේශයේ ලප ඇත්නම් කරදර බාධක මැද යුග දිවිය ගෙවයි. මෙ ලක්ෂණය ඇත්තේ කාන්තාවක්ගේ අත්ලේ නම් පුරුෂයාගේ ආයුෂ අඩුවේ. විවාහ රේඛාව කෙළවර බෝලයක් වැටි ඇත්නම් මෙම බෝලය වටා රුස් විහිදෙන්නාක් මෙන් තරංග යන්නාක් මෙන් පැතිර යයි නම් මෙහිදී විවාහයට අදෘෂ්‍යමාන බල වේගයක් බධා කරයි. කලාත්‍රයා එයට ගොදුරු වීමක් විය හැකිය. එසේම පවතින්නේ බෝලය පමණක් නම් මෙය හූනියමක් නොව කාලත්‍රයාගේ අසනීප තත්ත්වයකි. විවාහ රේඛාවේ මැද කොටසේ දූපතක් නිරුපණය වන්නේ නම් විවාහය අතර මැදදි කාලත්‍රයා අමනාපයෙන් වෙන්ව යාම සිදුවේ. නමුත් වසර කිහිපයකට පසු ඔහු නැවත පැමිණ විවාහය ආරම්භ කරනු ඇත. දුපත තිබෙන කාලය පුරාවටම විවාහ සම්බන්ධතා නොමැතිව ගත කිරීමට සිදුවන බවට අනාවැකියකි.

ඉතාම උසස් පොහොසත් කෙනකු සමඟ විවාහ වීමට ඇති භාග්‍ය බන්ධන රේඛාව හෙවත් විවාහ රේඛාව රවි රේඛාව ස්පර්ෂ කිරීමෙන් පෙන්නුම් කරයි. නමුත් රේඛාව රවි රේඛාව කපාගෙන යන්නේ නම් ඉහත කාරණාවට ප්‍රතිවිරුද්ධ ව විවාහය නිසා තම තත්වය ධනය නැතිවන බවට ලක්ෂණයකි. විවාහ රේඛාව අග කොක්කක් සේ නැමි අවසන් වී ඇත්නම් එම විවාහය හෝ ප්‍රේම සම්බන්ධතාවය නැවත් යථා තත්ත්වයට පත් නොවන ආකාරයට කෙළවර වන බව පෙන්වන ලක්ෂණයකි. වැරදි අවබෝධය මෙයට හේතුවේ. එසේම පුද්ගලයකුගේ සිකුරු මණ්ඩලයෙන් එන තිරස් රේඛා වක් බන්ධන රේඛාවලට මුණ ගැසේනම් ස්ත්‍රියක් නම් වෙනත් ස්ත්‍රියකගේ බලපෑමටද පුරුෂයෙක් නම් වෙනත් පුරුෂයකුගේ බලපෑමට යටත් වීම නිසා විවාහ දිවිය අවුල් කර ගනි.

යම් පුද්ගලයකුගේ අත්ලේ දම්වැල් ආකාරයේ විවාහ රේඛාව පිහිටා ඇත්නම් දෙදෙනා අතර ඇත්තේ අල්ප ආදරයකි. ජීවිතයේ ප්‍රීතියක් ඇත්තේම නැත. දෙදෙනාගේ නොගැළපීම හෝ ආත්මාර්ථකාමය නිසා යුග දිවිය අසාර්ථක කර ගනී. මෙවැනි පිහිටීමක් ඇතිනම් විවාහ නොවි සිටීම වඩාත් ප්‍රතිපල දායකය. කාලාත්‍රයා ලිංගික බෙලහීනතාවයකට පත්වන බව පෙන්වනුයේ ස්ත්‍රියකගේ අත්ලෙහි විවාහ රේඛාව පහළට නැවීමත් සමඟම පහළට නැමෙන ස්ථානයේ උඩ කුඩා කතිර සලකුණක් මඟිනි. ශීර්ෂ රේඛාවෙන් එන කෙටි හරස් රේඛාවක් මඟින් විවාහ රේඛාව කපයි නමි හොඳ ආදර සම්බන්ධයක් එක් අයකුගේ දඩබ්බරකම නිසා විනාශ වේ. විවාහ රේඛාවේ පසු කොටසේ ප්‍රබලතාවය අනුව දික්කසාදය වේද සම්බන්ධය පවත්වාගෙන යයිද යන්න තීරණය වේ. විවාහ රේඛාව තරුවකින් අවසන් වීමද විවාහය අපකීර්තියකින් අවසන් වන බව පෙන්වන ලක්ෂණයකි බොහෝ අඬදබර ඇතිකර ගනී. විවාහ රේඛාව රවි රේඛාව කපාගෙන ගොස් තරුවකින් අවසන් වේ නම් අපකීර්තිය වඩාත් ප්‍රසිද්ධ වේ. එම පුද්ගලයාගේ සහකරු හෝ සහකාරිය වැදගත් පුද්ගලයෙකි.

 

 

සැලසුම්ශිල්පී, වාස්තු විද්‍යා සහ

මනෝ විද්‍යා උපදේශක,

හස්ත රේඛා පරික්‍ෂක, මාතලේ නාඋල

බී.ඒ ජයවර්ධන

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.