වශී ගුරුකම්වල ඇතුළු පැත්ත

අගෝස්තු 11, 2023

විපරිත ලෝකයේ එක එක කාලයට එකිනෙකට වෙනස් වූ විපර්යාස ඇති වනවා. ඒ කිව්වේ එක කාලයකට තදින් වැස්ස, තව කාලයකට තද ගී‍්‍රෂ්මය, කුණාටු, ජල ගැලීම්, සුනාමි වගේ දේවල් ඇති වනවා. තවත් කාලයකට රටේ අපරාධ රැල්ල මුදුන් වනවා. මේ හැම දෙයක්ම වන්නෙ විශ්ව ශක්තියේ බලපෑම උඩයි. පුංචිම උදාහරණයක් තමයි වඩදිය, බාදිය ඇති වීම.

ඡ්‍යොතිෂයේ මෙහෙම කියනවා කිව්වොත් ඔබ පුදුම වනවාද? සමහරු මේවා විශ්වාස කරන්නේ නෑ. ඒ අය හිතාගෙන හිටියට ඔක්කොම දන්නවා කියලා ඒ ගැන අපට ඇත්තේ සැකයක්.

ඡ්‍යොතිෂයේ කියැවෙන රාශීන්, ග්‍රහ කිරණ, ග්‍රහ යෝග වීම, ග්‍රහ බලපෑම් ගැන ඉගෙන ගන්නව නම් මේ කරුණු ඔබටත් වැටහේවි. පෘථිවිය කිව්වේ සෞරග්‍රහ මණ්ඩලයට අයත් පුංචි ග්‍රහ ලෝකයක්. මේකෙන් කිසියම් ආකර්ෂණයක් තිබෙනවා. අපි ඒකට පෘථිවි ආකර්ෂණ බලය කියනවා. සමහර බොහෝ ලෝකවල මිනිස් වාසස්ථානයක් නොවුණද පොළෝතලය මිනිස් වාසස්ථානයක්මයි. ඒක නිසා ග්‍රහ බලපෑම වැඩියි. ජීවයක් නැති තැනට ග්‍රහ බලපෑමක් ඇති වුණාට ඒක වැටහෙන්නෙ නැහැ. ඕනෑම දෙයක් අවබෝධ කරගන්ට පුළුවන් වන්නෙ ඒ ගැන වැටහීමක් තිබුණොත් පමණයි. ජීවයක් තිබෙන හැම තැනම වැටහීමක්, බයක්, ලජ්ජාවක් හෝ සතුටක් ඇති වෙනවා. ඒක අන්‍යෝන්‍ය වශයෙන් දැනුණාම ප්‍රතිඵලය ඇතිවනවා. උදාහරණයක් වශයෙන් මිනිහාට මේ ඔක්කොම ඇති වනවා. සත්ත්වයාට ලජ්ජාව නැතත් අනිත් ඒවා එනම් බය, සතුට ගැන වැටහීම තිබෙනවා. ඌ ඒක සංඥාවෙන් පෙන්වනවා. ශාක විද්‍යාඥයින් කියන අන්දමට ගහ කොළවලටත් බය දැනෙනවා.

මනුෂ්‍යයාට මේ ඔක්කොම ඇතිවන නිසා ස්වකීය පරිසරය දියුණු කරගන්ට හෝ විනාශය කරා යන්නට හැකියාව පවතිනවා. ඒ ස්වකීය දැනීම උපයෝගී කරගෙන. විශේෂයෙන් මිනිසාට දැනීම තිබෙනවා. සමහර විට ග්‍රහ කිරණ පොළොවට වැදුණම පොළොවේ සිටින මිනිසාගේ ස්නායු පද්ධතිය ක්‍රියාත්මක වනවා. එවිට දැනෙනවා. දැනීම කියන්නෙ ඒකයි. දැනීම ගණන් නොගෙන සිටීම භයානකයි. පසුගිය දිනක මම ඡ්‍යොතිෂ විස්තරයක් කිව්වා. මේ දිනවල මනුෂ්‍යයාට කාමුක බලපෑම් වැඩි බවත් මුදල් ලැබීම අඩු බවත් ඒකට හේතුවත් ලිව්වා. ඒක නිසාම තමයි රටේ වශී ගුරුකම් කිරීම සුලභ වන්නේ.

වශී ගුරුකම් කියන්නෙ මොනවටද? මේකේ ඇතුළු පැත්ත මොකක්ද? කොහොමද වන්නේ, කියලා දැනගත්තොත් නරකද....? විශේෂයෙන් මේක ලියන්නේ මේ දිනවල වශී ගුරුකම් රැල්ලක් තිබෙන නිසා. ඔය රැල්ල මේ විදියට හැමදාම පවතින්නෙ නැහැ. මේ රැල්ල එන්නෙ කලින් සඳහන් කළ ග්‍රහ බලපෑම් නිසා. මේ වශී ගුරුකම් කරන බොහෝ දෙනා මේ රැල්ල පිළිබඳ කිසිවක්ම දන්නෙ නැහැ. ඒ අය හිතනවා මේ රැල්ල හැමදාම එක් ආකාරයට පවතිනව කියලා. අවශ්‍ය ඕනෑම කෙනෙක්ව වශී කරනවලු. මුදලුත් එපාලු. සෑම දෙයම නොමිලේම තමයිලු කරන්නේ. ලංකාව පුදුම බෝධිසත්ත්ව රටක් වෙලා. ඒකනේ මේ විදියට නොමිලේ ගුරුකම් කරන්නෙ. නමුත් මේ රටේ ඉතාම අඩු මුදලකට වැඩි පෝෂ්‍යදායී ආහාරයක් වන බිත්තරයක් රුපියල් 60යි. පාන් ගෙඩියක් රුපියල් 150යි. මේ ආකාරයට ඕනෑම කෙනෙක්ව වශී කරගන්න පුළුවන් නම් මම ලංකාවේ හොඳම සල්ලිකාරයාගේ බිරිඳව යාළු කරගන්නවා වශී කරලා. එතකොට මට වෙන රක්ෂාවක් ඕන නැහැ. මම එතකොට පළමු සල්ලිකාරයා වනවා.

වශී ගුරුකම් එහෙම කරන්න බැහැ. යූ ටියුබ් නාලිකාවල, මුහුණු පොතේ මේ ආකාරයට ප්‍රචාරය වුණාට කාරි නැහැ. ඔබ ඒවා ඇහැව්වටත් කාරි නැහැ. ඔළුවට ගන්ට එපා. නිකරුණේ ඔබේ මුදල් වැය කරන්ට එපා. මේ අය ඇත්තටම ගුප්ත ශාස්ත්‍රය විකුණාගෙන කනවා. විශේෂයෙන් ඔය වලපනේ පැත්තේ ඇත්තම රොඩී ගුරුකම් නැහැ. මන්ත්‍ර ශාස්ත්‍රය ටිකක් ඉගෙන ගන්නව කී නිසා පුංචි මන්ත්‍ර 2ක් දුන්නා. මීට මාස 8 කට පෙර ඉගෙන ගන්නවා කියු ඒ පුද්ගලයා අද වලපනේ පාරම්පරික ගුරු මෑණියන් කෙනෙකුගේ ස්වාමියෙකි. වශී ගුරුකම් කර කර ඉන්නවා. මේක කෙනාගෙ වරදක් නොවේ. එතැනට යන අයගේ වරද කියලයි මට හිතෙන්නේ. වශී ගුරුකම් හරි යන්නේ ඒ දෙපළ අතර පෙර දිනක කිසියම් හෝ ආලවන්තකමක් තිබිල තිබුණොත් විතරයි. එහෙම නැතුව රූප බන්ධන, නාම බන්ධන හරි යන්නෙ නැහැ. කිසිම සම්බන්ධයක් නැතිව විශේෂයෙන් වශී ගුරුකම් හරි යන්නෙ නැහැ.

විශේෂයෙන් අප දැනගත යුතුම දෙයක් තමයි දෙවියන්ව වශී කරන්න බැහැ. අනික බලන්න කිසිම දෙවියෙක්ගේ රූප ස්වභාවය සාමාන්‍ය පරිදි නැහැ. එයාගෙ බලය පෙන්වන්න එක එක අස්වාභාවික පෙනුම ඇති කරනවා. මේවා ජෛන ආගමේ චාරිත්‍ර. විශේෂයෙන් තව කියන්ට ඕන දෙයක් තමයි. කිසියම් හෝ ආත්මභාවයක සිටින කෙනකුට වෙනත් ආත්මභාවයක සිට උදවු කරන්ට බැහැ. දෙවියො ඉන්නෙ වශී උදවු කරන්නට නොවේ. කෙනකුට පිහිට වන්ට විතරයි. ඒකත් කර්ම ශක්තියෙන් බැහැර වන්ට ඕනෑ. කර්ම ශක්තිය දේව ශක්තියට වඩා ප්‍රබලයි. දෙවියො ඉන්නෙ කෙනකුට පිහිට වන්ට මිස කෙනකුගෙන් කෙනකුට වශී කරවන්න නොවේ.

ගුප්ත ශාස්ත්‍රයේ රූප කැපීම, කටු ගැසීම, පිල්ලි යැවීම දේව සංකල්පයට අයිති නැහැ. ඒක සම්පූර්ණයෙන් මීට වෙනස්. එතැන තිබෙන්නෙ ගුප්ත බලවේගයක්. වශී කරන්නෙ දේවාලවල ඉන්නවායි කියන දෙවියො නොවේ. අතරමං වූ අන්තර්භවයක සැරිසරන ප්‍රේත බලවේග. මේ බලවේගවලට ස්ථිරභාවයන් නැහැ. හරියට දඩාවතේ යන සුනඛයො වගේ. ඌව තාවකාලිකව පුරුදු කර ගත්තාම අවශ්‍ය වැඩේ කරගන්ට පුළුවන්. ඒකත් තාවකාලිකයි. මේවා පැරැණි ක්‍රම. ඔබ දන්නවද පැරැණි මිනිසුන් කැලෑ ඌරන් අල්ලපු හැටි, දඩයම් බල්ලන් ලවා, වශී ක්‍රමයත් ඒකමයි. හැබැයි දිෂ්ටි මන්ත්‍ර පාවිච්චි කරලා කරන ක්‍රම ඊට වඩා ටිකක් සංකීර්ණයි. ඔන්න වශීවල ඇතුළු පැත්ත ලිව්වා. අවබෝධ කර ගැනීම හෝ නොගැනීම ඔබට භාරයි.

 

පාරම්පරික ඡ්‍යොතිෂවේදී

ගුප්ත විද්‍යාධර මීපේගණිතගේ රන්ජිත් විද්‍යාරත්න

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.