වර්ෂ 2024 ක්වූ December 27 වැනිදා Friday
කඩුවෙල සිද්ධ පත්තිනි රංකඩු දේවාලයේ ඇසළ මහ පෙරහර
සියවස් ගණනාවක් පුරා කැලණි නදියේ නමස්කාරය ලබමින් බැතිමතුන් වෙතින් වැඳුම් පිදුම් ලබන, ඔවුනට පිහිට, ආරක්ෂාව සපයන ඓතිහාසික කඩුවෙල සිද්ධ පත්තිනි රංකඩු දේවාලයේ වාර්ෂික ඇසළ මහ පෙරහර මංගල්ලය මෙවරත් අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සියල්ල සූදානම්.
මෙහි ඉතිහාසය කෝට්ටේ යුගයේ 6වැනි පරාක්‍රමබාහු රජ සමය දක්වා දිවෙයි. කෝට්ටේ, සීතාවක හා මහනුවර යුග ත්‍රිත්වය පුරා වසර 600 කට ආසන්න කාලයක් මුළුල්ලේ පැවැත එන කඩුවෙල සිද්ධ රංකඩු පත්තිනි දෙවොලේ දෙවොල් මංගල්ලය ක්‍රිස්තු වර්ෂ 1812 දී ආරම්භ වී මේ දක්වා වාර්ෂිකව පැවැත්වේ. පත්තිනි දෙවියන් උදෙසා ඇසළ පෙරහර, ගම්මඩු උළෙල හා අවසාන දිනයේ දී ගරායක් ශාන්තිය යන ත්‍රිවිධ අංගයන්ගෙන් සියලුදෙනාටම සෙත් පැතීම මෙහි අරමුණයි.
මෙරට විශාල ප්‍රමාණයක් පත්තිනි දේවාල ඉදි වූ බවට තොරතුරු සැපයෙන්නේ 6වැනි පරාක්‍රමබාහු රජතුමාගේ කාලයේ දී සහ සීතාවක රාජසිංහ රජ යුගයේ දී බව ඉතිහාසයේ සඳහන් වේ. ඒ අනුව සිද්ධ රංකඩු හෙවත් කඩු දෙවොලේ ආරම්භය ඇති වන්නේ ද කෝට්ටේ යුගයේ බව සනිටුහන් වේ. එසේම පත්තිනි දෙවියන්ගේ රන් කඩුව තැන්පත් කළ ස්ථානය ලෙසත් ඒ හා සමාන වෙනත් ජනශ්‍රැති හා ජනප්‍රවාද රැසක් වටා ගෞරවාදරයට පත් කඩුදෙවොල ඉතා සුවිශේෂී පුදබිමකි. ඉන්පසු සීතාවක රාජසිංහ රජු (1581- 1592) විසින් තමා තුළ පත්තිනි දේවිය කෙරෙහි පැවති අසීමිත දේව භක්තිය නිසා සීතාවක යුගයටත් පෙර සිටම පැවතුණු කඩු දෙවොල පිහිටි දේවාල කන්ද ප්‍රධාන ආරක්ෂිත මුර කඳවුර ලෙස තෝරා ගත් බව සඳහන් වෙයි. පෘතුගීසින් සමඟ නිරන්තරව ඇති වූ යුද ගැටුම් හා ඉන් පසු ඇති වූ විදේශීය දේශපාලනික බලපෑම් හේතුකොට ගෙන කාලාන්තරයක් මුළුල්ලේ කඩු දෙවොල තිබුණ ද පුද පූජා හා පෙරහර චාරිත්‍ර කිරීමට තරම් පසුබිමක් මෙරට තිබුණේ නැත. ඉන්පසු මහනුවර යුගයේ දී ක්‍රි.ව. 1812 වන විට නැවතත් මෙරට බෞද්ධ හා දේවාල ආශ්‍රිතව තිබූ උත්සව උද්දීපනය වෙමින් තිබිය දී එම වකවානුවේදී ඇසළ පෙරහර නැවතත් ආරම්භ වීමත් සමඟම කඩු දොවොල රංකඩු පත්තිනි දේවාලයේ ද පුද පූජා හා පෙරහර මංගල්ලන් අරඹන්නට කටයුතු කර ඇත.
සීතාවක රාජ්‍ය සමයේ තිබූ යුදමය වාතාවරණය නිසා පෘතුගීසීන්ගෙන් හා පසුව ලන්දේසීන්ගේ විදේශ ආක්‍රමණ හේතුවෙන් ඓතිහාසික රංකඩු දෙවොල බොහෝ කාලයක් නිහඬ පුද බිමක් බවට පත්ව තිබුණි. මෙයින් වසර 211 කට පෙර දී එය යළිත් වන්දනාමාන කිරීමට එළිපෙහෙළි විය. එතැන් පටන් මේ පුද බිම යළිත් බැතිමතුනගෙන් පිරී ගොස් පත්තිනි දේව ආශීර්වාදය ලබන්නට හැකි පින් බිමක් බවට පත්විය.
වර්තමනයේ සිද්ධ රංකඩු පත්තිනි දෙවොලේ ප්‍රධාන කපු ධූරන්දර තනතුර හොබවන්නේ විජේතුංග කුලරත්න මහතාය. ඔහු සඳහන් කරන පරිදි මේ භූමිය පිළිබඳ මුඛ පරම්පරාවෙන් කියැවෙන පුරාවෘත්තය මෙවැන්නකි. මහනුවර යුගය වන විට දේවාල භූමි ප්‍රදේශය වැසීගොස් තිබුණි. ඒ අවදියේ දී මේ භූමිය භාවිතයට ගෙන තිබුණේ හේන් ගොවිතැන සඳහාය. ගම්වාසීන් විසින් කුරහන්, තල, මඤ්ඤොක්කා වැනි භෝග මෙහි වගාකර ඇත. ඝන කැලෑවක්ව පැවැති මේ භූමිය තල වගාව සඳහා හෙළිපෙහෙළි කරගෙන යාමේ දී විඩාවට පත් ගොවියෝ තම දිවා ආහාරය ගැනීමට සූදානම් වූහ. එදින ඔවුන් ගෙනැවිත් තිබී ඇත්තේ ඌරු මස් සහිත ආහාරය. ආහාර අනුභව කරන්නට පටන්ගත් ඇසිල්ලේ වන ලැහැබින් නාගයන් මතුවන්නට පටන්ගෙන ඇත. කිසියම් අද්භූත බලයකින් මෙවැන්නක් සිදුවන බව වැටහී භීතියට පත් ගොවීන් තම කෑම බීම මේ භූමියෙන් පිටතට ගෙන ගොස් දමා ඇත. ඉන්පසු නැවත පැමිණ පහන් දල්වා කිසියම් වරදක් වුණි නම් සමාවෙන ලෙස දෙවියන්ගෙන් අයැද ඇත. ඉන්පසු මතු වූ නාගයන් ක්‍රමයෙන් අතුරුදන් වූ බව කියැවේ. ඉන්පසු ක්‍රමයෙන් පත්තිනි දේව මෑණියන් උදෙසා නැවත පුද පූජාවන් ආරම්භ වී ඇත.
මේ අනුව නුවර සම්ප්‍රදානුකූලව මඟුල් කප් සිටුවීම එළැඹෙන ජූලි මස 06 වැනි දින සවස සුබ මොහොතින් සිදු කෙරේ. අගෝස්තු මස 05, 06, 07, 09, 10, 11, 12 යන දිනයන් හි රාත්‍රීයේ දී උඩ මළුවේ පෙරහර පවත්වා වැඳ පුදා ගැනීමට පැමිණෙන බැතිමතුන්ට රාත්‍රී දානය පිරිනමා දෙවියන්ට පිං අනුමෝදන් කරවීම සිදුවේ. අගෝස්තු 13 අලුයම දිය කැපුම් මංගල්ලය පැරැණි පුදසිරිත් අනුව කැලණි නදියේ බුලත්ගම්පත අසලදී සිදු කෙරේ. බියගම තොටුපොළෙන් නැවත දේවාභරණ වැඩම කර එතැනදී පිරිනැමෙන දානය පිළිගෙන, ගරායක් ශාන්තිය පවත්වා අලි ඇතුන්, නැටුම් ගැයුම්වලින් සමන්විත මහා පෙරහර කොට්ටුන්න මාර්ගයේ ගොස් බියගම ප්‍රධාන මාර්ගයට පිවිස කඩුවෙල නගරයට සංචාරය කර දේවාලයට ගෙවදීමට නියමිතව ඇත.
ලංකාවාසී සැමටත් දේවාලයට අයිති ගම්කොරටුවල්වලට සෙත්පතා පවත්වනු ලබන ගම්මඩු මංගල්ලය, ගිනිමැල පෑගීමේ මංගල්ලය හා ගරායක් ශාන්තිය අගෝස්තු 19, 20, 21 යන දිනයන්හි දී රාත්‍රී මුළුල්ලේ දී පැවැත්වීමෙන් මේ මාහැඟි දේව මංගල්ලය නිමාවට පත් වේ.