ඇවැසි තැනට නැති දේහි ඵල කිම?

පඬි වදන්
අගෝස්තු 4, 2023

ලෝකය විවිධාකාර මිනිසුන්ගෙන් ගහනය. අයෙක් ඉතා ලෝභීය. පුළුවන් තරම් ධනය, වස්තුව එකතු කර ගැනීමේ නිරතව සිටියි. දැනුමෙන් පොහොසත් නැත. අදින්න පුබ්බක බමුණා වස්තු ලෝභියෙකි. සිය පුතුට අසනීප වූ කල ඔහු බැලීමට ගෙදරට මිනිසුන් පැමිණි විට වස්තුව පෙනේය කියා දරුවා නිවෙසින් බැහැරව තබයි. දරුවාට කුණ්ඩලාභරණයක් ලෙස සකසා දෙනුයේ ලෝහ කැබැල්ලක් තලා මට්ටම් කිරීමෙනි. එහෙයින් දරුවාට මට්ටකුණ්ඩලී යන නම ලැබිණ. ලෝභකම නිසා නිසි ප්‍රතිකාර නොලැබ දරුවා මියගිය පසු සොහොන ළඟට ගොස් අදින්න පුබ්බක වැළපෙයි. දිව්‍ය පුත්‍රයකුව උපන් මට්ටකුණ්ඩලී ඇයි මේ වැළපෙන්නේ ආදී වශයෙන් කරුණු කාරණා පියාට අවබෝධ කරවයි. ලෝභී අදින්න පුබ්බකගේ ධනයෙන් ඵලක් වූයේ නැත.

ලෝභකම නිසා මුගලන් හාමුදුරුවන්ට පුංචිම පුංචි කැවුමක් සාදා දී පිටත් කර හැරීමට ඉල්ලීස සිටාණන් ගත් වෙහෙස මෙහිදී සිහියට එයි. ඵල ප්‍රයෝජනයකට නොගන්නා ඒ වස්තුවෙන් ඵලක් නැත. ලෝභයාගේ දේ කූඹි කෑවා සේ යන්න ප්‍රකට කියමනකි.

අනේපිඬු සිටුතුමා, අනගාරික ධර්මපාලතුමා වැන්නෝ සිය ධනය, වස්තුව ඵලදායී කරුණුවලට යෙදවූහ. ධනය තිබුණ ද ලෝභී නම් ඒ ධනයෙන් ඵලක් නැත. ගෙවල් දොරවල් ඉඩකඩම් කොපමණ තිබුණත් ලෝභී ව ජන සමාජයේ ජීවත්වන්නා දෙස සමාජය බලනුයේ අවඥාවෙනි.

ඔබ මහා පණ්ඩිතයෙක්, ප්‍රාඥයෙක් දැනුම් සම්භාරයක් ඇත්තෙක් විය හැකිය. ලෝකයේ බොහෝ දෙනා ඔබගේ ඥාණවන්තභාවයට ප්‍රශංසා කරනු ඇත. එහෙත් ඔබට සතුරන් බොහෝ වෙත් නම් එම දැනුමින් ඔබට ඵලක් වේද?

ලස්සන අවශ්‍යය. ‘රුව ඇත්නම් අපටත් බස් දෙති ගෑනු’යි කියන්නේ රූපශ්‍රීය වැදගත්කම ගැනයි ය. රූපය බැබළෙන්නේ ගුණගරුකත්වය මතය. ඔබ තුළ ගුණ පරාක්‍රමලක්ෂණය පවතින කල රූපයෙන් ප්‍රයෝජන වන්නේය. රුව හා ගුණ එක් වූ තැන විශිෂ්ටය.

මිත්‍රත්වය උතුම්ය. සෑම දෙනාටම ජන සමාජයේ ජීවත්වීමේදී මිත්‍රයින් අවශ්‍යය. හුදෙකලාව ජීවත් වීම අපහසුය. පණ දෙන්නට මෙන් ඇසුරු කරන මිත්‍රයන් ඔබට සිටිය හැකිය. සැබෑ යහළුවන් නම් ඔවුහු ඔබට අවශ්‍ය සියලු අවශ්‍යතා ඉටු කරති.

මිතුරු තොමෝ දුක් සැප දෙකෙහිම පැව තී
බිතු සිතුවම් රූ මෙන් පිටු නොපාවි තී

යි කීවා සේ පවති සේ මිතුරු උත්තමයෝ දුක් සැප දෙකෙහිම එකසේ සිටිති. කිසි විටෙකත් පිටු නොපාති. එය බිත්තියේ අඳින ලද සිතුවම් මෙනැයි රාහුල හිමියෝ පැවැසූහ. අවශ්‍ය තැන පිටුපාන මිතුරා නියම මිතුරකු ලෙසින් සැලකිය නොහැකිය.

“අර්ථෙන කිං කෘපනහස්ත ගතෙන තෙන
ඥානෙන කිං සකලසත්ව ජනෙෂ වෛරාත්
රූපෙන කිං ගුණ පරාක්‍රම වර්ජිතෙන
මිත්‍රෙන කිං ව්‍යසන කාල පරංමුඛෙන”

යි ලෝභ පුද්ගලයාගේ වස්තුවෙන් අර්ථය ප්‍රයෝජනය කවරේද? බොහෝ සතුරන් ඇති පුද්ගලයාගේ ඥානයෙන් ප්‍රයෝජන කවරේද? ගුණ පරාක්‍රම නොමැති රූපයෙන් ප්‍රයෝජනය කවරේද? ව්‍යසනයක් වූ කල ඉවත බලන මිත්‍රයාගෙන් ප්‍රයෝජනය කවරේ ද? යනාදී ලෙසින් පැරැණි පඬිවරු ඔබට ඔවදන් දෙති.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
14 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.