වර්ෂ 2024 ක්වූ December 27 වැනිදා Friday
තුන් කෝරළයේ ඓතිහාසික සංස්කෘතික මංගල්‍යය
කෑගල්ල දිස්ත්‍රික්කයේ කරවනැල්ලට නුදුරුව කබුළුමුල්ල රජ මහ පත්තිනි දේවාලයේ ආරම්භය සීතාවක රාජසිංහ රජ දවස සිදුව ඇති බව සීතාවක යුගය පිළිබඳ ලියවුණු ඓතිහාසික කෘතීන්වල සඳහන් වේ.
ජනකතාවලින් කියවෙන අන්දමට සීතාවක රාජසිංහ සමයේ දේවාලය ඉදි කළ ස්ථානය මඟුල් කප් සිටවූ මුල්ල කපළුමුල්ල පසුව කබුළුමුල්ල වී ඇත. කබුළුමුල්ල දේවාලය වර්ෂ 400 වඩා පැරණි බව පැවසේ. ජනකතාවලට අනුව රාජසිංහ රජුගේ සෙනෙවියෙක් වූ රණසිංහ මුදියන‍්සේ කළුතොට බලකොටුව බාරව සිටියේය.
රජුගේ විශ්වාසවන්තයකු වූ ඔහු කෙරෙහි නොමනාපයෙන් පසු වූ පිරිසගේ කේලාම් නිසා රජු රණසිංහ සෙනවියා අත්අඩංගුවට ගන්නට නියම කළේය. එකල දේවාල කන්දට නුදුරු මංගෙදර මුල්ල පත්තිනි දේවාලයේ කපු මහතා ලෙස කටයුතු කර ඇත්තේ රණසිංහ සෙනෙවියාගේ සහෝදරයෙකි.
කිසිදු වරදක් නොකළ එම සොහොයුරාට වූ අසාධාරණය පිළිබඳ ඔහු දිනපතා පත්තිනි මෑණියන් ඉදිරියේ රතු රෙද්දක් ඇඳ රජුට පළි ගසා කන්නලව් කරමින් සොහොයුරා එනතුරු නොනැඟිටින අදහසින් නිදා සිටියේය.
දිනක් රාජසිංහ රජු සිරියහනේ නිදි සුව විඳීමින් සිටින විටදී සිහිනෙන් රතු රෙදි ඇඳ, කඩු, පළිහ ගත් පත්තිනි මෑණියෝ රජු බිය කරමින් සිරභාරයට ගත් සෙනෙවියා වහා නිදහස් කරන ලෙස නියෝග කරනු ලැබිණි.
සිහිනයේ අවසානයේ යහන කැඩී රජු බිම ඇද වැටී ඇත. මේ පිළිබඳව සිත සසල වූ රජු පසු දින අලුයම ඇමැතිවරු කැඳවා රණසිංහ මුදියන්සේගේ තතු විමසීය. රණසිංහ බලන්නට ගිය ඇමැතිවරුන්ට දකින්නට ලැබී ඇත්තේ දෑත දෙපයට ලූ විලංගු උඳු මුං සේ කැබලී වී ගොස් නිරුපද්‍රිතව නිදහස්ව සිටින සෙනවියාය.
රණසිංහගේ සොහොයුරු කපු මහතා පිළිබඳව දැනගත් රජු වහාම ඔහු කැඳවීය. තම සොහොයුරා නිර්දෝෂී පුද්ගලයකු නිසා තමා දෙවියන් කන්නලව් කළ බව ඔහු පිළිගත්තේය. රණසිංහ මුදියන්සේ නිර්දෝෂි බව වටහා ගත් රජු දේව නියමය පිළිබඳ ඔහුට අභය දානය දුන් බව ජනප්‍රවාදයේ කියැවේ. අභයදානය ලැබූ රණසිංහ එතැන් සිට අභය රණසිංහ නම් විය. සොහොයුරන් දෙදෙනා පිළිබඳ පැහැදීමට පත් සීතාවක රාජසිංහ රජු කබුළුමුල්ල දේවාලය තනා රණසිංහ මුදියන්සේට භාර දුන්නේය. සිහිනයෙන් බිය වී කැඩී ගිය ඇඳ වියන හා බාපත රජු විසින් කබුළුමුල්ල දේවාලයට පූජා කරන ලදැයි කියැවේ. මැදගොඩ දේවාලය තනා මංගෙදරමුල්ලේ සිට රණසිංහ මුදියන්සේට භාර දී ඇත.
එතැන්පටන් කබුළුමුල්ල දේවාලයේ කපු මහත්වරු අභයරණසිංහ මුදියන්සේලා වූහ. වර්තමානයේ දේවාලයේ බාරකාරත්වය දරන්නේ 53 වෙනි අභයරණසිංහ මුදියන්සේලාගේ වරුණ රණසිංහ මහතාය.
කබුළුමුල්ල දේවාලයේ පත්තිනි මෑණියන් මෙන්ම ගණේගොඩ දෙවියන්ට ද පුදපූජා පැවැත්වේ. ගණේගොඩ නමින් දේවත්වයට පත්ව ඇත්තේ සීතාවක රාජසිංහ බව ගණේගොඩ දේව පත්තිනි කතා පුවතේ කියැවේ. සීතාවක රාජසිංහ රජු දේවාලය ප්‍රදානය කිරීමේදී එහි කටයුතු පංගු අටකට බෙදා පවරා ඇත. ඒ කපුරාළගේ පංගුව, ගම්වාසින්ගේ පංගුව, විතාරණලාගේ පංගුව, හාල්මාළු පංගුව, දැල්ලගේ මහල්ලගේ පංගුව, දංගම්පොළගේ පංගුව,රන්ගල්ලගේ පංගුව හා පුරප්පාඩු පංගුව වශයෙනි.කබුළුමුල්ල දේවාලයේ වාර්ෂික මංගල උත්සව රැසකි. අලුත් සහල් මංගල්‍යය, නානුමුර මංගල්‍යය, කාර්ති මංගල්‍යය, ගම්මඩු මංගල්‍ය, කෙම්මුර මංගල්‍යය හා පෙරහැර මංගල්‍යයයි. මේ අතුරින් පෙරහැර මංගල්‍යය උත්කර්ෂවත් ලෙස ඇසල මස ආරම්භ වේ. එම ඓතිහාසික සංස්කෘතිකාංගයේ වටිනාම නොනැසී රැක ගනිමින් වසර 440ක් පුරා මෙම පෙරහර අඛණ්ඩව මේ දක්වා පැවැත්වීම විශේෂ සිද්ධියකි. ඒ අනුව මෙවරත් මෙම ඓතිහාසික පෙරහර 441 වරටත් පැවැත්වීමට කබුළුමුල්ල දේවාලයේ පෙරහර සංවිධායක කමිටුව හා එහි ප්‍රධාන භාරකාර බස්නායක නිලමේ වරුණ රණසිංහ මහතා සහ භාරකාර ලේකම් මද්දුම බණ්ඩාර රණසිංහ මහතා ඇතුළු කණ්ඩායම කටයුතු යොදා තිබේ. තුන්කෝරළයේ ප්‍රධාන සංඝනායක, වැන්දල ශ්‍රී විසුද්ධාරාමාධිපති අතිපූජ්‍ය හරියාලේ හරියවංශාලංකාර නාහිමිපාණන්ගේ අනුශාසකත්වය හා මඟපෙන්වීම යටතේ සංවිධානය කරනු ලබන මෙම පෙරහර වීදි සංචාරය කිරීම අගෝස්තු 05 දා සිදු කෙරේ. කරවනැල්ල නගරය දක්වා ගමන් කරනු ලබන මේ පෙරහර පසුව වැන්දල ශ්‍රී විසුද්ධාරමා විහාරස්ථානය දක්වා ගමන් කර ආපසු දේවාලය වෙත පැමිණෙන අතර, ඒ සඳහා උඩරට, පහතරට, සබරගමු නැටම් ඇතුළුව විවිධ සංස්කෘතික අංග සහ අලි ඇතුන් රාශියකින් සමන්විතව ඉතාම අලංකාරවත්ව මෙය පවත්වනු ලබයි.
පෙරහර පැවැත්වීමට පෙර දේවාලයේ වත් පිළිවෙත් සිදු කරමින් කප් සිටුවීමේ මංගල්‍යය ජූලි 22 සිදු වූ අතර, කුඹල් පෙරහර ජූලි 29,30,31 දිනවලදී ද, උඩමළුව රන්දෝලි පෙරහර අගෝස්තු 02 දින ද පහත මළුවේ පෙරහර අගෝස්තු 3 සහ 04 දෙදිනයන්හි දී පවත්වනු ලබයි.
පෙරහර පවත්වා පසු දින අගෝස්තු 06 දා දියකැපීමේ පෙරහර සහ රටට ජාතියට ත්‍රිවිධ හමුදාවට හා රට පාලනය කරන නායකයන්ට සෙත් පැතීමේ ශාන්ති මංගල්‍යය දේවාලය හා කැලණි ගඟ කේන්ද්‍ර කර ගනිමින් ප්‍රදේශයේ විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වේ.