සතර දළදාවහන්සේ

ජූලි 28, 2023

 

සීයේ,

ඇයි ජානක,

මම මේ සීයගෙන් අහන්නෙ සම්බුදු පරිනිර්වාණයෙන් පසුව ශ්‍රී දේහය ආදාහනය කළ අවස්ථාවේ දඹදිව රජදරුවන් සේනා සහිතව පැමිණ යුද්ධ කොට හෝ ධාතුන් වහන්සේලා ගැනීමට සූදානම් වුණේ ඇයි?

 

සීයා- ජානක පුතේ ඒක දිග කතාවක්. කුසිනාරා නුවර මල්ලරජ දරුවන්ගේ උපවත්තන සල් උයනට වැඩම කළ සම්මා සම්බුදුරජාණන් වහන්සේ වෙසක් පෝ දින අලුයම් කාලයේ දී පිරිනිවන් පෑවා. එහිදී මල්ලරජ දරුවන් විසින් ශ්‍රී දේහයට දින හතක් පුරා පුද පූජා පවත්වා මකුටබන්ධන චේතිය නම් ස්ථානයේ තැන්පත් කොට තැබීමෙන් පසු බුදුන් වහන්සේගේ අග්‍ර උපස්ථායක ආනන්ද හිමියන්ගේ උපදෙස් පරිදි ශ්‍රී දේහය රනින් කළ දෙනකින් වසා ආදාහනය කළා. එහිදී සතර දළදා වහන්සේද දෙඅකුධාතූන් වහන්සේද ලලාට ධාතූන් වහන්සේද දැවී අළු බවට පත් නොවී තැන්පත් වුණා.

ජානක - එතකොට සීයේ ආදාහනයේ රශ්මිධාරාවත් සමඟ කොහොමද ඒ ධාතුන් වහන්සේලා සොයා ගත්තෙ.

සීයා - ඔව් පුතේ, අනෙකුත් ධාතුන් වහන්සේලා ශේෂව දෙණෙහි රශ්මිධාරාව නිවී ගියේ ය. එකෙණෙහිම මල්ලරජ දරුවන් සුවඳ පැන් චිතකයට ඉස ධාතුන් වහන්සේලා ආරක්ෂා කරගැනීමට පියවර ගත්තා. බුදුන්වහන්සේ උපවත්තන සල්උයනේ දී පිරිනිවන් පා ඇති බව දැනගත් දඹදිව රජ දරුවෝ සේනා සංවිධානව පැමිණ ධාතුන් වහන්සේලා ලබාගැනීමට තම තමන්ට ඇති අයිතිය කියා සිටියා. මේ අවස්ථාවේ දී ද්‍රෝණ බ්‍රාහ්මණ පැවතිය හැකි තත්ත්වය සමථයකට පත්කිරීම සඳහා ඉදිරිපත් වී ධාතුන් වහන්සේලා බෙදන අටියෙන් දකුණු දළදා වහන්සේ ගෙන තම හිස් වැස්මෙහි සඟවා ගත්තා.

ජානක - ඉතින් සීයේ කවුරුවත් දැක්කෙ නැද්ද ඒ බව, මොකද නැත්තෙ? ඒ බව දුටු සක්දෙවිඳු බමුණාට නොදැනෙන සේ එම ධාතුන් වහන්සේ ගෙන දෙව් ලොවට වැඩමවා සිළුමිණ මහා සෑයේ තැන්පත් කළා. ඊළඟට පුතේ ශ්‍රී දළදා වහන්සේලාගෙන් එක් නමක් සිළුමිණ සෑයේද තවත් නමක් නා ලොවේද තවත් නමක් ගාන්ධාර පුරයේ ද තවත් නමක් ලක්දිවෙහිද තැන්පත් කොට පුද පූජා පවත්වන්නට වුණා.

සීයේ - ගාන්ධාර පුර නිගන්ඨයෝ ධාතුන් වහන්සේට අපහාස කළා නේද?

සීයා - ඔව් පුතේ, ධාතූන් වහන්සේලා බෙදන අවස්ථාවේ දී ලබාගත් දළදා වහන්සේලා තව්තිසා පුර සක්දෙව් රජු ළඟ ද නා ලොව නා රජු ළඟ ගාන්ධාරපුරයේ කාලිංග රජු වෙත ද ලැබුණා. කාලිංග දේශයේ ගුණසීව රජු වෙත ලැබුණු දළදා වහන්සේට පුද සත්කාර පවත්වමින් වන්දනා මාන කළා. එයට කිපුණු නිගන්ඨයෝ රජුට බොරු චෝදනා නගමින් රජු මිනී ඇටයකට පුද පූජා කරන බවට පඬිරජුට දැන්වූවා.

ජානක - ඊට පස්සේ මොකද වුණේ සීයේ?

සීයා- හොඳ හරිය වුණේ ඊට පස්සෙ තමයි. පඬිරජුට දැන් වූ බොරු චෝදනා විශ්වාස කළ පඬිරජු එම දේශය ආක්‍රමණය කොට දළදාවට කළ පුද පූජා නතර කිරීමට නියෝග පැනවිය. එසේ කළ පඬිරජු පුද පූජා කළයි කියූ මිනී ඇටය ගෙන්වා ගත්තා. ඊට පස්සෙ මේ රජු නියෝග කළේ එය ගිනිවළක දමා අළු කරලීමටයි. ගිනියම් වී අළු නොවූ විට කිණිහිරයකින් පහර දී කුඩු කරලීමටයි. අනතුරුව මළ මුත්‍ර පිරුණු දියගල තලා විනාශ කිරීමට නියෝග කළා. පසුව ගින්නෙන් දවාලීමටද කටයුතු කළේ ය. එහිදී ගිනිගොඩ මැදින් රතු නෙළුම් මලක් හටගෙන දළදා වහන්සේ එහි වැඩ සිටියා.

කිණිහිරයෙන් තැලීමේ දී අහසට නැගි ධාතුන් වහන්සේ බුදුරැස් විහිදුවාලන්න වුණා. මෙපුවත් ඇසූ රජු මහත් පුදුමයටත් කම්පාවටත් පත්ව දළදා වහන්සේ වෙත ගොස් වැඳ වැටී සමාව ඇයද සිටියා. පසුව පුද පූජා පැවැත් වූ රජු වැඳ නමස්කාර කොට තම හිසමතට වඩින ලෙස දළදා වහන්සේගෙන් ඉල්ලා සිටියා. බුදුරැස් විහිදුවා පෙළහරපාමින් හිසමතට වැඩි ධාතුන් වහන්සේට පුදසත්කාර කොට මාළිගාවක් සාදා තැන්පත් කළා. මේ වන විට රටේ පැවැති යුද්ධත්ත්වයද අඩුවෙමින් පැවතුණා.

ජානක - ඉතින් සීයේ ඊට පස්සේ ධාතුන් වහන්සේට මොකද වුණේ.

සීයා- ඊට පස්සේ පඬිරජු සමඟ මිත්‍ර වූ ගුණසීව රජු පඬි රජු ළඟ තිබූ දළදා වහන්සේ ඉල්ලාගෙන නැවත පුද පූජා පැවැත්වූවා. මේ අතර පඬිරජුගේ බෑණනුවන් කෙනකු වන ක්ෂිරධාරා රජු දළදාව තමාට ලබා දෙන ලෙස ඉල්ලන ලදී. එසේ නුදුනහොත් යුද්ධ කරන බව කියා යුද්ධයට සූදානම් වුණා.

ජානක - දළදාව ඉල්ලා කරන දෙවන යුද්ධය නේද මේ? ඔව් පුතේ යැයි කී සීයා යුද්ධ කිරීමෙන් වන විපත් ගැන සිතූ ගුණසීහ රජු තම බෑණනුවන් වූ දන්ත කුමරු කැඳවා ඇතිවන යුද්ධයෙන් ජය අත්කර ගැනීම සැක සහිත බව පවසා හේමමාලී කුමරිය සමඟ දළදාව රැගෙන ලක්දිවට යන ලෙස දැනුම් දුන් අයුරු ජානකට කියා දුන්නා. දන්තකුමරු උදේනි රජුගේ පුත්‍රයා වූ අතර හේමමාලා කුමරිය කලිඟු දේශයේ ගුණසීහ රජුගේ දියණියයි. ගුණසීහ රජුගේ හිත මිත්‍ර ලක්දිව රජව සිටි මහසෙන් රජුට දළදාව භාරදී පුද පූජා පවත්වන ලෙසට ද දන්වන ලෙසට කීවා.

රජුදුන් උපදෙස් අනුව දන්තකුමරු බමුණු වෙස්ගෙන බමුණකුමෙන් සැරසී හේමමාලා කුමරියගේ කෙස් කළඹේ දළදා වහන්සේ සඟවාගෙන පළිගු දේශයෙන් පිටත්ව නැව් නැඟ ත්‍රිකුණාමලයට නුදුරුව ඉලංගෙයිකුරෙයි ස්ථානයට ගොඩබැස්සා. ඒ වන විට මහසෙන් රජු කාල ක්‍රියා කොට තිබූ අතර එතුමාගේ පුත් කීර්ති ශ්‍රී මේඝවර්ණ රජු රාජශි‍්‍රයට පත්ව සිටියා. දළදාවහන්සේ ලක්දිවට වැඩම කර ඇති බව හිමිවරුන්ගෙන් දැනගත් රජු මහත් සතුටට පත්ව මේඝගිරි විහාරයට ගොස් දළදා වහන්සේ හා සෙසු පිරිස් පිළිගෙන පළිගුමිනෙන් සාදන ලද කරඬුවක දළදාව තැන්පත් කොට පුද පූජා පවත්වා පෙළහරින් අනුරාධපුර රාජධානියට වැඩමවා රජ මාළිගාවේ තැන්පත්කොට පුද පූජා පැවැත්වූවා. පසුව දේවානම් පියතිස්ස රජතුමා විසින් කරවන ලද ධම්මචක්ක ගෘහයෙහි වැඩහිඳ වූවා. පුද පූජා පෙරහර පැවැත් වූ කීර්ති ශ්‍රී මේඝවර්ණ රජු දළදා වහන්සේට නොකඩවා පුද පූජා පැවැත්වීමට හා පෙරහර පැවැත්වීමටද නියෝග කළා.

ජානක - සීයේ දළදා වහන්සේ ප්‍රාතිහාර්ය පෑවේ කොයි කාලෙදි ද?

සීයා- ඒක සිද්ධ වුණේ මෙහෙමයි. බුදුන්වහන්සේගේ දන්තධාතූන් වහන්සේ ඉතා සුදු පැහැයක් වියයුතු යුතුයි ඒත් මේ ධාතුන් වහන්සේ අව පැහැ වූයේ කෙසේද යන්න කිත්සිරිමෙවන් රජුට සැකයක් ඇති වෙලා, එවේලේ දළදා වහන්සේ අහසෙහි දක්ෂිණාවෘතව ගමන්කොට සවනක් රැසින් පෙළහර පා රජු ඇතුළු පිරිසගේ සැකදුරු කළා. ඒ දළදා වහන්සේ ලක්දිව පළමු පෙළහරයි. අනතුරුව රජතුමා සිංහාසනය මත සුදු ඇතිරිල්ලක් දමා ඒ මත දළදා වහන්සේ වැඩමවා සමන්මල් රැසකින් වැසුවා. එවේලේ දළදා වහන්සේ සමන්මල් ගොඩ මුදුනෙහි පැන නැගී බුදුරැස් විහිදුවන්න වුණා. ඒ දෙවැනි දළදා පෙළහරයි. නැවතත් රජතුමා සිංහාසනය මත ඇතිරිල්ලක් එළා දළදා වහන්සේ ඒ මත වැඩ හිදුවා සිනිඳු සළු සියයකින් පමණ වැසුවා. එහිදී ද දළදා වහන්සේ මතුවී සිවුදිසාවට බුදුරැස් විහිදුවාලූවා. ඉන් පැහැදුණු රජතුමා පුද පූජා පවත්වමින් පෙරහර පැවැත්වීමටද ලේඛන ගත කළා.

ජානක- සීයේ අනෙක් දළදා වහන්සේලාට මොකද වුණේ,

සීයා - දකුණු උඩ දළදා වහන්සේ නාග ලෝකයේ නා රජු විසින් රැගෙන ගොස් තිබුණා. ජයසේන නමැති නා රජු සේනා සංවිධානය සමඟ කුසිනාරානුවරට ගොස් චිතකයට ගෞරව දක්වා සිය සෘද්ධිබලයෙන් දන්තධාතූන් වහන්සේ නාග පුරයට වැඩමවා ඇති බවත් කියනවා. එම ධාතුන් වහන්සේ නා ලොව ඉදිකළ රන් දාගැබක තැන්පත් කොට පුද පූජා පවත්වනවා. මේ අතර මාගම රජ පැමිණි කාවන්තිස්ස රජ කාලයේ මහා දේව තෙරුන් වහන්සේගේ ශිෂ්‍ය මිහිඳු නම් තෙරනමක් නා ලොවට වැඩ එහි තිබූ දන්ත ධාතූන් වහන්සේ වැඩමවා ගෙනවිත් තම්බපණ්ණියේ ගිරිඅභය රජු හා සෝමා දේවිය විසින් ඉදිකරන ලද ස්තූපයේ තැන්පත් කර ඇති බව ඓතිහාසික තොරතුරුවලින් අනාවරණය වන්නේ.

සතර දළදා වහන්සේලා අතරින් වම් යටි දළදාව වැඩ සිටින්නේ මහනුවර දළදා මාළිගාවේ. එම දළදා වහන්සේ වෙනුවෙන් දුරුතු පෝ දින අලුත් සහල් මංගල්‍යය, කිරිපිඬු පූජාව, බක් පුන් පොහොය දින පෙරහර මංගල්‍යය, කාර්තික මංගල්‍යය ආදී සතර මංගල්‍යයයන්ද දිනපතා පුද පූජා වගේම ඇසළ මහා පෙරහරද පවත්වනවා.

 

 

බත්තරමුල්ල පැලවත්ත

රාජපුර වෙද මැදුරේ ප්‍රධාන ආයුර්වේද වෛද්‍ය

සුමිත් රාජපුර

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
15 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.